Results for Tag: Infections (2)
නූපන් දරුවාට හානි කරන රුබෙල්ලා වෛරස ආසාදනය
රුබෙල්ලා කියන්නෙ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. ජර්මන් සරම්ප කියල කියන්නෙත් මේ රෝග තත්වයට මයි. රුබෙල්ලා ආසාදනය වෙනත් වෛරස ආසාදන වගේ ගැබිනි මවගේ සෞඛ්‍යයට එතරම් හානිකර වෙන්නෙ නැහැ.  සාමාන්‍ය සෙම්ප්‍රතිශාව උණ තත්වයක් ලෙස මෙය වැලඳෙන්න පුළුවන්. ඉන් පසු සමේ සරම්ප වැනි ලප මතු වීමට ඉඩ තිබෙනව. බොහෝ විට මෙය ඉබේම දින 7 - 10 අතර කාලයක් තුල සුව වෙන අතර උණ සහ අනිකුත් රෝග ලක්ෂණ පාලනය කර ගැනීමට පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම ප්‍රමාණවත් වෙනව. නමුත්  මෙම වෛරසය වැදෑමහ හරහා දරු ගැබ ආසාදනය කිරීමට හැකියි. ඒ  සමග දරුවාට ඇති වෙන බලපෑම වෛරසය ශරීර ගතවන කාල සීමාව අනුව වෙනස් වෙනව. ගර්භණී මවකට මුල් මාස කිහිපය තුල රුබෙල්ලා ආසාදනය ඇති වුව හොත් Congenital Rubella Syndrome නම් දරුණු රෝග තත්වය දරු ගැබට ඇති වෙන්න පුළුවන්. එවැනි දරුවන් හෘදය සහ ස්නායු පද්ධතියේ දරුණු ආබාධ, ඇස් පෙනීම සහ කන් ඇසීම ඉතා දුර්වල වීම, මන්ද බුද්ධික බව වැනි උපත් ආබාධ සහිතව උපදින්නෙ. ඊට අමතරව මල දරු උපත්, ගබ්සා වීම, බර අඩු වීම සහ නො මේරූ දරු උපත් වැනි තත්වයන් රුබෙල්ලා ආසාදනය නිසා ඇති වෙනව. මුල් මාස තුනෙන් පසුව රෝගය වැළදෙන විට එතරම් දරුණු සංකූලතා ඇති වීමට හැකියාව තරමක් අඩුයි. නමුත් කන් ඇසීම දුර්වල වීම වැනි තත්වයන් දරුවාට ඇති වෙන්න මේ නිසා ඉඩ තිබෙනව. රුබෙල්ලා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබෙනව. එමගින් රෝගය වැළඳීම සහ ඉන් දරු ගැබට හානි වීම වළක්වා ගන්න පුළුවන්.  කලින් මෙම එන්නත ලබා ගැනීම මගින් හෝ රුබෙල්ලා රෝගය වැළඳීමෙන් ශරීරය තුළ මෙම රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය ඇති වෙනව. එලෙස ප්‍රතිශක්තිය තිබෙන කාන්තාවන්ට ගර්භණී සමයේ දී රුබෙල්ලා රෝගය වැළඳීමට ඇති හැකියාව ඉතා අඩුයි. කලකට පෙර කාන්තාවන් සඳහා පමණක් රුබෙල්ලා එන්නත ලබා දුන් නමුත් දැන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින් සෑම දරුවෙකුට ම MMR එන්නත ලබා දෙනව. එමගින් සරම්ප කම්මුල් ගාය සහ රුබෙල්ලා කියන රෝග තුනට ම ප්‍රතිශක්තිය ලැබෙනව. ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු කාන්තාවක් නම් අනිවාර්යයෙන් ම රුබෙල්ලා රෝගයෙන් ආරක්ෂිත දැයි සොයා බලන්න. කලින් එන්නත ලබා ගත් බව ඔබට අමතක නම් නැවත වෛද්‍ය වරයෙකු හමුවී එන්නත ලබා ගන්න පුළුවන්. මාස තුනක් ඇතුළත ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන්ට සහ ගර්භණී කාන්තාවන්ට මෙම එන්නත ලබා ගැනීම නිර්දේශ කරන්නෙ නැහැ. එවිට රුධිර පරීක්ෂාවක් (Rubella antibody test) මගින් දැනට රුබෙල්ලා රෝගයට එරෙහි ප්‍රතිශක්තිය ඇති දැයි සොයා බලන්න පුළුවන්. එම පරීක්ෂණයෙන් රුබෙල්ලා ප්‍රතිදේහ ඇති බව තහවුරු වුව හොත් ඇයට ගැබිනි කාලයේ රුබෙල්ලා රෝගය වැළඳීමේ අවදානම ඉතා අඩුයි...
ගර්භණී මවට සංකූලතා ඇති කරන ඉන්ෆ්ලුවෙන්සා රෝගය
වේගයෙන් පැතිර යන දරුණු සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය. මෙය ඇති කරන්නේ Influenza A H1N1 කියන වෛරසය මගින්. සාමාන්‍ය සෙම්ප්‍රතිශාවකට වඩා තදින් බොවෙන සුළු මේ රෝග තත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වේගයෙන් බොවෙනව. ගර්භණී මවකට මෙම රෝග තත්වය බෝවීමට ඇති අවදානම තරමක් වැඩියි. ඒ වගේම මෙම රෝගය නිසා ගර්භණී මව් වරුන්ට දරුණු සංකූලතා ඇති වෙන්නත් පුළුවන් නිසා ගර්භණී කාලය තුල සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් ඇති වුවහොත් එ් ගැන විශේෂ අවදානය යොමු කිරීම වැදගත්. H1N1 රෝගයේ ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශා උණ තත්වයකදී ඇති වෙන රෝග ලක්ෂණ වලට බෙහෙවින් සමානයි. මීට අමතරව කැස්ස, ඇඟපත රුදාව, උගුරේ ආසාදන, හිස රදය, මහන්සි ගතිය, තද උණ සමග සීතල ගතිය ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ගැබිණි මවකට ඇති වුවහොත් ඉකිමණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි. සමහරවිට මේ රෝගය නිසා නියුමෝනියාව වැනි සංකූලතා ඇති වෙනව. ගැබිණි කාලයේ මෙවැනි සංකූලතා ඇතිවීමට අවදානම තරමක් වැඩියි. පසුගිය වසර තුල මේ නිසා මාතෘ මරණ කිහිපයක්ම ලංකාවේ වාර්තා වුනා. එම නිසා දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නියම කර තිබෙන්නේ දිනකට වඩා උණ රෝගය තිබෙන සියළුම ගැබිණි මව් වරුන් අනිවාර්යයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගත යුතු බවයි. රෝහලකදී මෙම රෝග තත්වය පාලනය කර ගැනීමට ප්‍රති වෛරස ඖෂධ භාවිතා කරනව. එහිදී Oseltamvir නැමැති ඖෂධය බහුලව භාවිතා කරනව. මෙම ඖෂධ ඉක්මණින් ගැනීමෙන් රෝගය නිසා ඇති වෙන සංකූලතා අවම කර ගන්න හැකියාව තිබෙනව. මෙම රෝගය වලක්වා ගන්න දැනට එන්නතක් නිර්දේශ කරන්නේ නැහැ. ඒ නිසා සෑම ගැබිණි මවක්ම මෙම රෝගය බෝවීමට ඇති අවදානම අඩු කරගැනීමට උත්සාහ කල යුතුයි. මේ සඳහා පහත උපදෙස් වැදගත් වේවි. හැකි තරම් සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් වලකින්න. ආසාදිත පුද්ගලයින් ආශ්‍රය කිරීමෙන් වලකින්න. නාසය, මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වලකින්න. කහින විට කිවිසුම් යන විට නාසය සහ මුව ආවරණය වෙන ලෙස ටිෂූ එකක් භාවිතා කර එය ඉවත දමන්න. නිරතුරුව අත් සබන් යොදා සොදන්න. නැතිනම් ඇල්කොහොල් අඩංගු අත් පිරිසිදු කරන ද්‍රව්‍යයක් යොදා ගන්න. උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් ඇති වුව හොත් ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. එක් දිනකට වඩා උණ තත්වය පවතීනම් රෝහල් ගතවී පරීක්ෂා කරවා ගන්න. මෙම රෝග තත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍ය අංශය මගින් රෝගීන් දැනුවත් කිරීමට නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාව මෙතැනින් ලබා ගන්න‍..