Results for Tag: Pregnancy (43)
ගැබිනි මවක් වහාම රෝහල් ගත විය යුතු අවදානම් ලක්ෂණ 5ක්
දරු ප්‍රසූතියට ආසන්න වෙන විට ගැබිනි මවකට හදිසියේ රෝහල් ගත විය යුතු අවස්තා ඇති වෙනව. මොනවද මේ අවදානම් ලක්ෂණ කියල කලින් දැන ගෙන සිටියොත් මේ වගේ අවස්තාවකදී මවටත් දරු ගැබටත් සිදු විය හැකි හානිය වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා මේ ලිපියෙන් සලකා බලන්නේ ගැබිනි මවකට හදිසියේ ම රෝහල් ගත වෙන්න සිදු වෙන අවදානම් ලක්ෂණ 5ක් පිළිබඳ වයි. ප්‍රසූත වේදනාවන් ඇති වීම ගර්භණී කාලයේ වරින් වර උදරයේ සහ කොන්දේ වේදනාවන් ඇති වීම සුලබ ලක්ෂණයක්. නමුත් දරු ප්‍රසූතිය ආසන්න වෙන විට මව ප්‍රසූත වේදනා පිළිබඳ ව අවධානයෙන් සිටිය යුතු වෙනව. වරින් වර ඇති වෙන තද වේදනාවක් උදරයේ සහ පිට කොන්ද ආශ්‍රිතව මවට දැනෙයි නම් මෙය ප්‍රසූත වේදනාවල මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වෙන්නෙ වේදනාව එක දිගටම නො පැවතීමයි. වේදනාවක් ඇති වී එය පහව ගොස් නැවත වේදනාවක් ඇතිවෙන තෙක් මවට පහසුවෙන් සිටීමට හැකියාව තිබෙනව. මෙවැනි වේදනාවන් විනාඩි 5කට වරක් පමණ ඇති වේ නම් රෝහලට ඉක්මනින් ගොස් පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනව. ප්‍රසූත වේදනාවන් විනාඩි 2-3කට වරක් ඇති වෙන විට ඇය සූතිකාගාරයට ඇතුළු කිරීමට සිදු විය හැකියි. යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම දරු ප්‍රසූතිය ආසන්න වෙන විට ගැබ් ගෙල විවෘත වීමක් සිදු වෙනව. එවිට ගැබ් ගෙල වසා තිබෙන ශ්ලේෂ්මල රුධිරය සමග පිටවීමක් සිදුවෙනව. මෙය යෝනි මාර්ගය තුලින් රුධිරය මුසු ශ්ලේෂ්මල ස්‍රාවයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මෙයත් දරු ප්‍රසූතිය ආසන්න බව හඳුනා ගන්න තවත් ලක්ෂණයක්. එවැනි තත්වයක දී ඉක්මනින් රෝහල් ගතව පරීක්ෂා කරවා ගන්න. ගර්භ තරලය පිටතට පැමිණීම Water bag එක කැඩීම ලෙස හඳුන්වන්නේ මේ තත්වයයි. ගර්භාෂය තුල දරුවා සිටින්නේ ගර්භ තරලය තුල කිමිදී. මෙම තරලය පිටතට පැමිණීම වැළැක්වීමට කලලාවාරික පටල (water bag) තිබෙනව. මෙය බිඳී යාමක් සිදුවුව හොත් යෝනි මාර්ගයෙන් වතුර වැනි තරලයක් පිටවීම හඳුනා ගත හැකියි. මෙය ඉතා අවදානම් තත්වයක් විය හැකි වෙන්නේ ඒ සමග දරුවාගේ පෙකණි වැල පිටතට පැමිණිය හැකි නිසා. ඒ වගේම තරලය අඩු වීමට නිසා ගර්භාෂය තුල දරුවාට ආරක්ෂාව අඩු වීමත්, යෝනි මාර්ගය හරහා දරු ගැබට සහ ගර්භාෂයට විෂබීජ ඇතුළු වීමත් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මෙම ලක්ෂණ හඳුනා ගත් වහාම රෝහල් ගත වීම වැදගත් වෙනව. දරුවාගේ දැඟලීම අඩු වීම මවකට දරුවා කුස තුල නිරෝගී ව සිටී දැයි දැන ගැනීමට ඇති එකම ක්‍රමය දරුවාගේ දැඟලීම ගැන අවධානයෙන් සිටීමයි. බබා දැඟලීම එක් එක් මවට දැනෙන ආකාරය වෙනස්. ඒ වගේම එක් එක් දරුවා දඟලන වාර ගණන සහ රටාව එකිනෙකාට වෙනස්. නමුත් මවකට තමාගේ දරුවා දඟලන සුපුරුදු රටාව ගැන අවබෝධයක් තිබෙනව. මෙහි අඩු වීමක් ඇති වුව හොත් ඉක්මනින් රෝහල් ගතව පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනව. රුධිර වහනය ගැබ් ගෙල විවෘත වීම දී ශ්ලේෂ්මල සමග සුළු රුධිර වහනයක් වීම සාමාන්‍ය ප්‍රසූතිය ආසන්න වෙන විට දක්නට ලැබෙනව. නමුත් යෝනි මාර්ගයෙන් රුධිර වහනය වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. වැදෑමහ ගර්භාෂයෙන් වෙන් වීම හෝ වැදෑමහ අසාමාන්‍ය ලෙස පහතින් පිහිටීම නිසා මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් රෝහල් ගතව පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනව. ඉහත සඳහන් කලේ දරු ප්‍රසූතිය ආසන්න ව රෝහල් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ගැබිනි මවක් හදිසියේ ම රෝහලට ගෙන යාමට සිදු වෙන අවදානම් ලක්ෂණ කිහිපයක්. මීට අමතරව ඇයට ඇති වෙන වෙනත් ඕනෑම රෝග ලක්ෂණයක් සුළුවෙන් සැලකිය යුතු නැහැ. එවැනි අවස්තා වලදී රෝග ලක්ෂණ අනුව ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගැනීම හෝ රෝහල් ගතවීම සිදු කරන්න.    ..
නිවුන් දරු උපතකට සූදානම් වෙන මවකට උපදෙස්.
ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්. තම කුස තුල නිවුන් දරුවන් සිටින බව දැන ගැනීම මේ සතුට දෙගුණ තෙගුණ කරන අවස්ථාවක්. නමුත් ඒ සමගම ඇතිවිය හැකි සංකූලතා ගැන බියකුත් ගැබිනි මවට ඇති වෙන්න පුළුවන්. නිවුන් දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්නෙ කොහොමද? ඒ වගේ අවස්ථාවක ගැබිනි මවක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු මොනාවාද? මේ ගැන විස්තර මේ ලිපියේ දැක්වෙනව. සාමාන්‍යයෙන් එක් වරකට කාන්තාවක් පිට කරන්නෙ එක් ඩිම්බයක් පමණයි. එම ඩිම්බය ශුක්‍රාණුවක් සමග එක් වීමෙන් කලලයක් බිහිවෙනව. සමහර අවස්තා වලදී එක ඩිම්බයකට වඩා එක් වර පිටවෙන්න පුළුවන්. එවිට ඩිම්බ දෙකක් එකවර සංසේචනයට ලක් වී කලල දෙකක් ඇති වෙන්න හැකියාව තිබෙනව. නිවුන් දරුවන් ඇති වෙන්න ප්‍රධාන හේතුව වෙන්නෙ මෙයයි. නමුත් සමහර අවස්ථාවල දී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වී සෑදෙන කලලය මූලික අවස්ථාවේදීම දෙකට බෙදී කලල දෙකක් ලෙස වර්ධනය වෙන්න පටන් ගන්නව. ඒ නිසා ස්වරූපයෙන් එක සමාන නිවුන් දරුවන් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිවුන් දරුවන්ගෙන් 1/3ක් මෙවැනි එක සමාන ස්වරූපය තිබෙන නිවුන් දරුවන්. මෑත කාලයේ දී නිවුන් දරු උපත් ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනව. මදසරු බවට ලබා ගන්න ප්‍රතිකාර ඇතුළු විවිධ හේතු මෙයට බලපානව. කොහොමද ඔබට නිවුන් දරුවන් ලැබීමට සිටින බව දැන ගන්නෙ? නිවුන් දරුවන් සිටින විට උදරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙනව. පවුලේ නිවුන් දරුවන් සිටී නම් ඔබටත් නිවුන් දරුවන් ඇති වීමට හැකියාව තරමක් වැඩියි. ඒ වගේම ඔබ මදසරුබවට ප්‍රතිකාර ලබා ගත්තේ නම් නිවුන් දරුවන් ඇති වීමට හැකියාව වැඩියි. සති 8 -14 අතර කාලයේ දී සිදු කරන පලමු ස්කෑන් පරීක්ෂණයෙන් ම ඔබට නිවුන් දරුවන් සිටින බව හඳුනා ගන්න හැකියාව තිබෙනව. මෙම ස්කෑන් පරීක්ෂණයේ වැදෑමහ සහ පටල පිහිටා ඇති ආකාරය අනුව නිවුන් දරුවන් එක සමාන ස්වරූපයේ නිවුන් දරුවන් ද යන බව සැක කිරීමට හැකියාව තිබෙනව. නිවුන් දරුවන් සිටින මවක් සාමාන්‍ය ගර්භණී මවකට වඩා වැඩි වාර ගණනක් සායන වලට සහභාගි විය යුතු වෙනව. ගර්භණී කාලයේ ඇතිවිය හැකි දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතා සඳහා වැඩි අවදානමක් තිබෙන නිසා මෙලෙස පරීක්ෂාවට ලක් වීම වැදගත්. ඒ සමගම ඇයට වැඩි ස්කෑන් පරීක්ෂණ සංඛ්‍යාවකටත් භාජනය වීමට සිදු වෙනව. එහිදී දරුවන්ගේ වර්ධනය සාමාන්‍ය දැයි සොයා බලනව. නිවුන් දරුවන් බලාපොරොත්තු වෙන මවකට සාමාන්‍ය ගර්භණී ලක්ෂණ වැඩිපුර දැනෙන්න පුළුවන්. මුල් කාලයේ ඇති වෙන වමනය, ඕක්කාරය වගේම පසු කාලීන ව ඇතිවෙන වේදනාවන්, අපහසුතාවයන් මෙම මව්වරුන්ට වැඩිපුර ඇති වෙනව. නිවුන් දරුවන් නියමිත සති ගණනට කලින් බිහි වීමට ඇති අවදානම තරමක් වැඩියි. ඒ නිසා උදරයේ වේදනාවක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් ඇතිවුනොත් ඉක්මනින් රෝහල් ගත වීමට අවශ්‍යයි. නිවුන් දරු ප්‍රසූතිය සාමාන්‍ය ලෙස සිදු කරන්න හැකියාව තිබෙනව. නමුත් කලාතුරකින් නිවුන් දරුවන් සිටින ආකාරය අනුව සාමාන්‍ය දරු ප්‍රසූතිය සිදු කිරීමට අපහසු විය හැකියි. ඒ වගේ අවස්ථාවල දී සිසේරියන් සැත්කමකින් දරුවන් බිහි කිරීමට සිදු වෙනව. පසු ප්‍රසව රුධිර වහනය වැනි සංකූලතා සඳහා අවදානම තරමක් වැඩි නිසා දරු ප්‍රසූතියෙන් පසුවත් මවට විශේෂ රැකවරණයක් අවශ්‍ය වෙනව.    ..
ගර්භණී මවට සංකූලතා ඇති කරන ඉන්ෆ්ලුවෙන්සා රෝගය
වේගයෙන් පැතිර යන දරුණු සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය. මෙය ඇති කරන්නේ Influenza A H1N1 කියන වෛරසය මගින්. සාමාන්‍ය සෙම්ප්‍රතිශාවකට වඩා තදින් බොවෙන සුළු මේ රෝග තත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වේගයෙන් බොවෙනව. ගර්භණී මවකට මෙම රෝග තත්වය බෝවීමට ඇති අවදානම තරමක් වැඩියි. ඒ වගේම මෙම රෝගය නිසා ගර්භණී මව් වරුන්ට දරුණු සංකූලතා ඇති වෙන්නත් පුළුවන් නිසා ගර්භණී කාලය තුල සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් ඇති වුවහොත් එ් ගැන විශේෂ අවදානය යොමු කිරීම වැදගත්. H1N1 රෝගයේ ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශා උණ තත්වයකදී ඇති වෙන රෝග ලක්ෂණ වලට බෙහෙවින් සමානයි. මීට අමතරව කැස්ස, ඇඟපත රුදාව, උගුරේ ආසාදන, හිස රදය, මහන්සි ගතිය, තද උණ සමග සීතල ගතිය ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ගැබිණි මවකට ඇති වුවහොත් ඉකිමණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි. සමහරවිට මේ රෝගය නිසා නියුමෝනියාව වැනි සංකූලතා ඇති වෙනව. ගැබිණි කාලයේ මෙවැනි සංකූලතා ඇතිවීමට අවදානම තරමක් වැඩියි. පසුගිය වසර තුල මේ නිසා මාතෘ මරණ කිහිපයක්ම ලංකාවේ වාර්තා වුනා. එම නිසා දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නියම කර තිබෙන්නේ දිනකට වඩා උණ රෝගය තිබෙන සියළුම ගැබිණි මව් වරුන් අනිවාර්යයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගත යුතු බවයි. රෝහලකදී මෙම රෝග තත්වය පාලනය කර ගැනීමට ප්‍රති වෛරස ඖෂධ භාවිතා කරනව. එහිදී Oseltamvir නැමැති ඖෂධය බහුලව භාවිතා කරනව. මෙම ඖෂධ ඉක්මණින් ගැනීමෙන් රෝගය නිසා ඇති වෙන සංකූලතා අවම කර ගන්න හැකියාව තිබෙනව. මෙම රෝගය වලක්වා ගන්න දැනට එන්නතක් නිර්දේශ කරන්නේ නැහැ. ඒ නිසා සෑම ගැබිණි මවක්ම මෙම රෝගය බෝවීමට ඇති අවදානම අඩු කරගැනීමට උත්සාහ කල යුතුයි. මේ සඳහා පහත උපදෙස් වැදගත් වේවි. හැකි තරම් සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් වලකින්න. ආසාදිත පුද්ගලයින් ආශ්‍රය කිරීමෙන් වලකින්න. නාසය, මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වලකින්න. කහින විට කිවිසුම් යන විට නාසය සහ මුව ආවරණය වෙන ලෙස ටිෂූ එකක් භාවිතා කර එය ඉවත දමන්න. නිරතුරුව අත් සබන් යොදා සොදන්න. නැතිනම් ඇල්කොහොල් අඩංගු අත් පිරිසිදු කරන ද්‍රව්‍යයක් යොදා ගන්න. උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් ඇති වුව හොත් ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. එක් දිනකට වඩා උණ තත්වය පවතීනම් රෝහල් ගතවී පරීක්ෂා කරවා ගන්න. මෙම රෝග තත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍ය අංශය මගින් රෝගීන් දැනුවත් කිරීමට නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාව මෙතැනින් ලබා ගන්න‍..
දරු පිළිසිඳ ගැනීමකට ඔබ සූදානම්ද?
දරු පිළිසිඳ ගැනීමකට පෙර සූදානම් විය යුතු බව ඔබ දැන සිටියාද? ඔබ දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව දැන ගත යුතු කරුණු කිහිපයක් ගැන මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ. ගැබ් ගැනීමට සුදුසු වයස කුමක්ද? වයස අවුරුදු 18ට පෙර ගැබ් ගැනීම එතරම් සුදුසු නැහැ. වයස 18ක් පමණ වෙන තෙක් ගැහැණු දරුවෙක් ශාරීරිකව සහ මානසික වැඩීම සිදු වෙන නිසා ඊට පෙර ඇය ගැබ් ගැනීමට ශාරීරකව සහ මානසිකව සම්පූර්ණයෙන් සූදානම් නැහැ. ඒ වගේම වයස 18 අඩු මවකට ගර්භණී සමයේ සංකූලතා ඇතිවීමට ඇති අවදානමත් වැඩියි. වයස අවුරුදු 35ට වඩා වැඩි වෙන විට මවට රෝග තත්වයන් ඇතිවීමට ඇති අවදානම වැඩියි. ඒ නිසාම ගර්භණී සමයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි සංකූලතා බහුලව ඇති වෙනව. ඒ වගේම දරුවාගේ අසාමාන්‍ය තත්වයන් ඇතිවීමට ඇති අවදානමත් වයස වැඩිවීමත් සමග ටිකෙන් ටික වැඩි වෙනව. මවක් වීමට පෙර ඔබේ ශරීර සෞඛ්‍යය ගැන සිතිය යුතු ඇයි? මවට කිසියම් රෝග තත්වයක් ඇති නම් එය බිහිවෙන දරුවාට අවදානමක් වෙන්න පුළුවන්. එමෙන්ම ගර්භණී සමයේ මෙම රෝග තත්වයන් නිසා මවට සංකූලතා ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අපස්මාරය, හෝමෝන අසමතුලිත බව වැනි රෝග තත්වයක් පවතීනම් එය හොඳින් පාලනය කර ගැනීම වැදගත්. ඔබ ගැබ් ගැනීමට බලා පොරොත්තු වෙන බව ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍ය වරයාට දැනුම් දී සුදුසු පරිදි ඖෂධ වෙනස් කරවා ගන්න. උසට සරිලන බරක් තිබීම ගැබ් ගැනීමට වැදගත් බර අඩුවීම නිසා දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් බර අඩු කාන්තාවන්ට ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. ඒ නිසා ගැබ් ගැනීමට උත්සාහ කරන විට ඔබේ BMI අගය 18.5 ට වඩා වැඩියෙන් තබා ගැනීම වැදගත් වෙනව. මෙම අගය 25ට වඩා වැඩි නම් ඔබ තරබාරු ගනයට වැටෙන අතර බර වැඩිවීම නිසා ගර්භණී සමයේ මෙන්ම දරු ප්‍රසූතියේදීත් සංකූලතා ඇතිවීමට අවදානම වැඩි වෙනව. බර වැඩි කාන්තාවන්ට ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදු නොවෙන නිසා ගැබ් ගැනීමට ප්‍රමාද වෙන්නත් ඉඩ තිබෙනව. ඒ නිසා ඔබේ BMI අගය වැඩි නම් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් අවශ්‍ය ප්‍රමාණයට බර අඩු කරගෙන ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ඔබේ BMI අගය මෙතනින් ගණනය කර ගන්න පුළුවන්. මවගේ පෝෂණය දරු පිළිසිඳ ගැනීමට වැදගත් වෙනව. මව පෝෂණීය ආහාර වේලක් ගැනීම වැදගත්. ඒ වගේම අපේ ආහාර වල අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ලය අඩංගු නොවෙන නිසා ෆෝලික් අම්ලය පෙති ලෙස ගැබ් ගැනිමට බලාපොරොත්තු වෙන සෑම කාන්තාවක්ම ලබා ගත යුතු වෙනව. එමගින් දරුවාගේ මොලය සහ සුෂුම්නාව ආශ්‍රිතව ඇතිවිය හැකි දරුණු සංකූලතා පහසුවෙන් වලක්වා ගැනීමට හැකියාව ලැබෙනව. ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා කර ගනිමු. මවට ගර්භණී කාලයේ සමහර රෝග තත්වයන් වැළඳෙන විට එය දරුවාට හානිකර වෙන්න පුළුවන්. ඒ නිසා රෝග වලට මවට ප්‍රතිශක්තියක් තිබීම වැදගත්. රුබෙල්ලා රෝගය නිසා මවුකුස තුල දරුවන්ට දරුණු සංකූලතා ඇතිවෙනව. මෙය රුබෙල්ලා ප්‍රතිශක්ති කරන එන්නත ගැබ් ගැනීමට පෙර ලබා ගැනීමෙන් වලක්වා ගන්න පුළුවන්. ඒ වගේම පිටගැස්ම රෝගය උපතේදී දරුවාට වැළඳීමට ඇති අවදානම අඩු කරන්න ගර්භණී කාලයේ පිට ගැස්ම එන්නත ලබා ගැනීමට හැකියාව තිබෙනව. ගැබ් ගැනීමට සුදුසු කාලය. ඉහත කරුණු සැලකිල්ලට ගත් පසු මව නිරෝගීව සිටීනම් ගැබ් ගැනිමට උත්සාහ කල හැකියි. ඔසප් චක්‍රයේ දින ගණන අනුව ඩිම්බ පිටවෙන දිනය අනුමාන කරන්න පුළුවන්. ඊට ආසන්න ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩිම කාලය සරු කාලය ලෙස හඳුන්වනව. මෙතනින් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. මෙසේ උත්සාහ කලද ගැබ් ගැනීමක් සිදු නොවේනම් අපි එයට මදසරු බව ලෙස හඳුන්වනව. ඒ ගැන වැඩි විස්තර වෙනත් ලිපි කිහිපයක දැක් වෙනව...
දුවෙක්ද? පුතෙක්ද? කොහොමද හරියටම දැන ගන්නේ?
මවු කුසට පැමිණි බිලිඳා දුවෙක් වුවත් පුතෙක් වුවත් එක ලෙස ආදරයෙන් පිළිගන්න ඔබ සූදානම්. නමුත් දරු ප්‍රසූතියට පෙර දුවෙක්ද පුතෙක් ද දැන ගැනීමට හැකි නම් එය කොතරම් සතුටක් ද? මවු කුස තුල සිටින දරුවාගේ ලිංගය නීර්ණය කිරීමට වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් ම තිබෙනව. ගැහැණු දරුවන් ගබ්සා කිරීමට මෙවැනි පරීක්ෂණ යොදා ගන්නා නිසා දැන් ඉන්දියාව වැනි රටවල උපතට පෙර කලලයේ ලිංගය නීර්ණය කිරීම තහනම් කර තිබෙනව. නමුත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අනුව ඕනෑම දරුවෙකුට එක ලෙස සලකන නිසා මෙවැනි පරීක්ෂණ සඳහා අපේ රටේ මව්වරුන්ට අවස්ථාව තිබෙනව. කොහොමද දරුවා ගැහැණු ද පිරිමි ද යන්න තීරණය වෙන්නේ? දරුවෙකු පිළිසිඳ ගන්නේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වීමෙන්. ඩිම්බයේ X (ගැහැණු) වර්ණ දේහ 1ක් තිබෙන අතර ශුක්‍රාණුවේ X (ගැහැණු) වර්ණ දේහයක් හෝ Y (පිරිමි) වර්ණදේහයක් තිබිය හැකියි. ශුක්‍රාණුවේ තිබෙන වර්ණ දේහය අනුව ඇතිවෙන කලලය ගැහැණු ද පිරිමි ද යන්න තීරණය වෙනව. වරකට පිටවෙන ශුක්‍රාණු වලින් 50% පිරිමි වර්ණදේහ සහිත ශුක්‍රාණුත් 50% ගැහැණු වර්ණ දේහ සහිත ශුක්‍රාණුත් වෙන නිසා කලලයක් ගැහැණු හෝ පිරිමි වීමට 50%ක සම්භාවිතාවක් තිබෙන්නේ. මෙය සම්පූර්ණයෙන්ම අහඹු ක්‍රියාවලියක් වෙන නිසා ඖෂධ හෝ වෙනත් ක්‍රියා මාර්ග මගින් මෙය වෙනස් කිරීමට හැකියාවක් නැහැ. බබාගේ ලිංගය තීරණය වෙන්නෙ කවදාද? දරු පිළිසිඳ ගැනීමත් සමගම ජානමය වශයෙන් දරුවා ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන්න තීරණය වී අවසානයි. නමුත් බාහිර ලිංගේන්ද්‍රියන් වර්ධනය වීමට කාලයක් ගත වෙනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකින් මෙය දැන ගන්න යම් කිසි කාලයක් සිටිය යුතුයි. කොහොමද දරුවා දුවෙක්ද පුතෙක් ද කියල දැන ගන්නේ? මේ සඳහා කල හැකි පරීක්ෂණ කිහිපයක් ම තිබෙනව. ඉන් පහසුම සහ බහුලවම භාවිතා වෙන ක්‍රමය තමයි ස්කෑන් පරීක්ෂණයක් කිරීම. සාමාන්‍යයෙන් සති 20දී කරන ස්කෑන් පරීක්ෂණයකදී දරුවාගේ ලිංගය පැවසීමට හැකියාව තිබෙනව. නවීන ස්කෑන් යන්ත්‍රයක් භාවිතා කර පළපුරුදු වෛද්‍ය වරයෙකුට සති 16දී පමණ පවා මෙය පැවසීමට හැකියාව දැන් තිබෙනව. මෙහිදී වෛද්‍ය වරයා දරුවාගේ බාහිර ලිංගේන්ද්‍රිය විකසනය සිදුවී ඇති ආකාරය ස්කෑන් යන්ත්‍රය ආධාරයෙන් පරීක්ෂා කර බලා ඔබට දරුවා දුවෙක්ද පුතෙක්ද යන්න පවසන්නෙ. දරුවාගේ ලිංගය බලා ගැනීම ස්කෑන් පරීක්ෂණයේ මූලික අරමුණ නොවෙයි. දරුවාගේ වර්ධනය, කිසියම් අසාමාන්‍ය තත්වයක් ඇතිද යන්න වැනි කරුණු වලට තමයි ස්කෑන් පරීක්ෂණයකදී වෛද්‍ය වරයා වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒ නිසා සමහර විට කාර්ය බහුල සායනයක කරන ස්කෑන් පරීක්ෂණයකදී මෙම තොරතුරු දැන ගැනීමට තරම් කාලයක් නැති වෙන්න ඉඩ තිබෙනව. සති 11දී පමණ කරන රුධිර පරීක්ෂණයක් මගින් දරුවාගේ DNA පරීක්ෂා කිරීමේ හැකියාව දැන් තිබෙනව. මෙය ඉතාමත් මිල අධික පරීක්ෂණයක් වන අතර එමගින් දරුවාගේ ලිංගය මෙන් ම දරුවාට තිබිය හැකි ජානමය රෝග තත්වයන් පිළිබඳ වත් සති 11ක පමණ කාලයෙ දී ම දැන ගන්න පුළුවන්. කලාතුරකින් ගර්භාෂයට සිහින් කටුවක් ඇතුල් කර සිදු කරන ඇම්නියොසෙන්ටෙසිස් නම් පරීක්ෂණය දරුවාගේ අසාමාන්‍ය තත්වයන් හඳුනා ගන්න සිදුකරනව. මෙම පරීක්ෂණයෙනුත් දරුවාගේ ලිංගය හඳුනා ගන්න හැකියාව තිබෙනව.   Save Save..