Results for Tag: Pregnancy (42)
නිවුන් දරු උපතකට සූදානම් වෙන මවකට උපදෙස්.
ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්. තම කුස තුල නිවුන් දරුවන් සිටින බව දැන ගැනීම මේ සතුට දෙගුණ තෙගුණ කරන අවස්ථාවක්. නමුත් ඒ සමගම ඇතිවිය හැකි සංකූලතා ගැන බියකුත් ගැබිනි මවට ඇති වෙන්න පුළුවන්. නිවුන් දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්නෙ කොහොමද? ඒ වගේ අවස්ථාවක ගැබිනි මවක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු මොනාවාද? මේ ගැන විස්තර මේ ලිපියේ දැක්වෙනව. සාමාන්‍යයෙන් එක් වරකට කාන්තාවක් පිට කරන්නෙ එක් ඩිම්බයක් පමණයි. එම ඩිම්බය ශුක්‍රාණුවක් සමග එක් වීමෙන් කලලයක් බිහිවෙනව. සමහර අවස්තා වලදී එක ඩිම්බයකට වඩා එක් වර පිටවෙන්න පුළුවන්. එවිට ඩිම්බ දෙකක් එකවර සංසේචනයට ලක් වී කලල දෙකක් ඇති වෙන්න හැකියාව තිබෙනව. නිවුන් දරුවන් ඇති වෙන්න ප්‍රධාන හේතුව වෙන්නෙ මෙයයි. නමුත් සමහර අවස්ථාවල දී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වී සෑදෙන කලලය මූලික අවස්ථාවේදීම දෙකට බෙදී කලල දෙකක් ලෙස වර්ධනය වෙන්න පටන් ගන්නව. ඒ නිසා ස්වරූපයෙන් එක සමාන නිවුන් දරුවන් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිවුන් දරුවන්ගෙන් 1/3ක් මෙවැනි එක සමාන ස්වරූපය තිබෙන නිවුන් දරුවන්. මෑත කාලයේ දී නිවුන් දරු උපත් ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනව. මදසරු බවට ලබා ගන්න ප්‍රතිකාර ඇතුළු විවිධ හේතු මෙයට බලපානව. කොහොමද ඔබට නිවුන් දරුවන් ලැබීමට සිටින බව දැන ගන්නෙ? නිවුන් දරුවන් සිටින විට උදරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙනව. පවුලේ නිවුන් දරුවන් සිටී නම් ඔබටත් නිවුන් දරුවන් ඇති වීමට හැකියාව තරමක් වැඩියි. ඒ වගේම ඔබ මදසරුබවට ප්‍රතිකාර ලබා ගත්තේ නම් නිවුන් දරුවන් ඇති වීමට හැකියාව වැඩියි. සති 8 -14 අතර කාලයේ දී සිදු කරන පලමු ස්කෑන් පරීක්ෂණයෙන් ම ඔබට නිවුන් දරුවන් සිටින බව හඳුනා ගන්න හැකියාව තිබෙනව. මෙම ස්කෑන් පරීක්ෂණයේ වැදෑමහ සහ පටල පිහිටා ඇති ආකාරය අනුව නිවුන් දරුවන් එක සමාන ස්වරූපයේ නිවුන් දරුවන් ද යන බව සැක කිරීමට හැකියාව තිබෙනව. නිවුන් දරුවන් සිටින මවක් සාමාන්‍ය ගර්භණී මවකට වඩා වැඩි වාර ගණනක් සායන වලට සහභාගි විය යුතු වෙනව. ගර්භණී කාලයේ ඇතිවිය හැකි දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතා සඳහා වැඩි අවදානමක් තිබෙන නිසා මෙලෙස පරීක්ෂාවට ලක් වීම වැදගත්. ඒ සමගම ඇයට වැඩි ස්කෑන් පරීක්ෂණ සංඛ්‍යාවකටත් භාජනය වීමට සිදු වෙනව. එහිදී දරුවන්ගේ වර්ධනය සාමාන්‍ය දැයි සොයා බලනව. නිවුන් දරුවන් බලාපොරොත්තු වෙන මවකට සාමාන්‍ය ගර්භණී ලක්ෂණ වැඩිපුර දැනෙන්න පුළුවන්. මුල් කාලයේ ඇති වෙන වමනය, ඕක්කාරය වගේම පසු කාලීන ව ඇතිවෙන වේදනාවන්, අපහසුතාවයන් මෙම මව්වරුන්ට වැඩිපුර ඇති වෙනව. නිවුන් දරුවන් නියමිත සති ගණනට කලින් බිහි වීමට ඇති අවදානම තරමක් වැඩියි. ඒ නිසා උදරයේ වේදනාවක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් ඇතිවුනොත් ඉක්මනින් රෝහල් ගත වීමට අවශ්‍යයි. නිවුන් දරු ප්‍රසූතිය සාමාන්‍ය ලෙස සිදු කරන්න හැකියාව තිබෙනව. නමුත් කලාතුරකින් නිවුන් දරුවන් සිටින ආකාරය අනුව සාමාන්‍ය දරු ප්‍රසූතිය සිදු කිරීමට අපහසු විය හැකියි. ඒ වගේ අවස්ථාවල දී සිසේරියන් සැත්කමකින් දරුවන් බිහි කිරීමට සිදු වෙනව. පසු ප්‍රසව රුධිර වහනය වැනි සංකූලතා සඳහා අවදානම තරමක් වැඩි නිසා දරු ප්‍රසූතියෙන් පසුවත් මවට විශේෂ රැකවරණයක් අවශ්‍ය වෙනව.    ..
ගර්භණී මවට සංකූලතා ඇති කරන ඉන්ෆ්ලුවෙන්සා රෝගය
වේගයෙන් පැතිර යන දරුණු සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය. මෙය ඇති කරන්නේ Influenza A H1N1 කියන වෛරසය මගින්. සාමාන්‍ය සෙම්ප්‍රතිශාවකට වඩා තදින් බොවෙන සුළු මේ රෝග තත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වේගයෙන් බොවෙනව. ගර්භණී මවකට මෙම රෝග තත්වය බෝවීමට ඇති අවදානම තරමක් වැඩියි. ඒ වගේම මෙම රෝගය නිසා ගර්භණී මව් වරුන්ට දරුණු සංකූලතා ඇති වෙන්නත් පුළුවන් නිසා ගර්භණී කාලය තුල සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් ඇති වුවහොත් එ් ගැන විශේෂ අවදානය යොමු කිරීම වැදගත්. H1N1 රෝගයේ ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශා උණ තත්වයකදී ඇති වෙන රෝග ලක්ෂණ වලට බෙහෙවින් සමානයි. මීට අමතරව කැස්ස, ඇඟපත රුදාව, උගුරේ ආසාදන, හිස රදය, මහන්සි ගතිය, තද උණ සමග සීතල ගතිය ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ගැබිණි මවකට ඇති වුවහොත් ඉකිමණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි. සමහරවිට මේ රෝගය නිසා නියුමෝනියාව වැනි සංකූලතා ඇති වෙනව. ගැබිණි කාලයේ මෙවැනි සංකූලතා ඇතිවීමට අවදානම තරමක් වැඩියි. පසුගිය වසර තුල මේ නිසා මාතෘ මරණ කිහිපයක්ම ලංකාවේ වාර්තා වුනා. එම නිසා දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නියම කර තිබෙන්නේ දිනකට වඩා උණ රෝගය තිබෙන සියළුම ගැබිණි මව් වරුන් අනිවාර්යයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගත යුතු බවයි. රෝහලකදී මෙම රෝග තත්වය පාලනය කර ගැනීමට ප්‍රති වෛරස ඖෂධ භාවිතා කරනව. එහිදී Oseltamvir නැමැති ඖෂධය බහුලව භාවිතා කරනව. මෙම ඖෂධ ඉක්මණින් ගැනීමෙන් රෝගය නිසා ඇති වෙන සංකූලතා අවම කර ගන්න හැකියාව තිබෙනව. මෙම රෝගය වලක්වා ගන්න දැනට එන්නතක් නිර්දේශ කරන්නේ නැහැ. ඒ නිසා සෑම ගැබිණි මවක්ම මෙම රෝගය බෝවීමට ඇති අවදානම අඩු කරගැනීමට උත්සාහ කල යුතුයි. මේ සඳහා පහත උපදෙස් වැදගත් වේවි. හැකි තරම් සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් වලකින්න. ආසාදිත පුද්ගලයින් ආශ්‍රය කිරීමෙන් වලකින්න. නාසය, මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වලකින්න. කහින විට කිවිසුම් යන විට නාසය සහ මුව ආවරණය වෙන ලෙස ටිෂූ එකක් භාවිතා කර එය ඉවත දමන්න. නිරතුරුව අත් සබන් යොදා සොදන්න. නැතිනම් ඇල්කොහොල් අඩංගු අත් පිරිසිදු කරන ද්‍රව්‍යයක් යොදා ගන්න. උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් ඇති වුව හොත් ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. එක් දිනකට වඩා උණ තත්වය පවතීනම් රෝහල් ගතවී පරීක්ෂා කරවා ගන්න. මෙම රෝග තත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍ය අංශය මගින් රෝගීන් දැනුවත් කිරීමට නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාව මෙතැනින් ලබා ගන්න‍..
දරු පිළිසිඳ ගැනීමකට ඔබ සූදානම්ද?
දරු පිළිසිඳ ගැනීමකට පෙර සූදානම් විය යුතු බව ඔබ දැන සිටියාද? ඔබ දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව දැන ගත යුතු කරුණු කිහිපයක් ගැන මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ. ගැබ් ගැනීමට සුදුසු වයස කුමක්ද? වයස අවුරුදු 18ට පෙර ගැබ් ගැනීම එතරම් සුදුසු නැහැ. වයස 18ක් පමණ වෙන තෙක් ගැහැණු දරුවෙක් ශාරීරිකව සහ මානසික වැඩීම සිදු වෙන නිසා ඊට පෙර ඇය ගැබ් ගැනීමට ශාරීරකව සහ මානසිකව සම්පූර්ණයෙන් සූදානම් නැහැ. ඒ වගේම වයස 18 අඩු මවකට ගර්භණී සමයේ සංකූලතා ඇතිවීමට ඇති අවදානමත් වැඩියි. වයස අවුරුදු 35ට වඩා වැඩි වෙන විට මවට රෝග තත්වයන් ඇතිවීමට ඇති අවදානම වැඩියි. ඒ නිසාම ගර්භණී සමයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි සංකූලතා බහුලව ඇති වෙනව. ඒ වගේම දරුවාගේ අසාමාන්‍ය තත්වයන් ඇතිවීමට ඇති අවදානමත් වයස වැඩිවීමත් සමග ටිකෙන් ටික වැඩි වෙනව. මවක් වීමට පෙර ඔබේ ශරීර සෞඛ්‍යය ගැන සිතිය යුතු ඇයි? මවට කිසියම් රෝග තත්වයක් ඇති නම් එය බිහිවෙන දරුවාට අවදානමක් වෙන්න පුළුවන්. එමෙන්ම ගර්භණී සමයේ මෙම රෝග තත්වයන් නිසා මවට සංකූලතා ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අපස්මාරය, හෝමෝන අසමතුලිත බව වැනි රෝග තත්වයක් පවතීනම් එය හොඳින් පාලනය කර ගැනීම වැදගත්. ඔබ ගැබ් ගැනීමට බලා පොරොත්තු වෙන බව ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍ය වරයාට දැනුම් දී සුදුසු පරිදි ඖෂධ වෙනස් කරවා ගන්න. උසට සරිලන බරක් තිබීම ගැබ් ගැනීමට වැදගත් බර අඩුවීම නිසා දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් බර අඩු කාන්තාවන්ට ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. ඒ නිසා ගැබ් ගැනීමට උත්සාහ කරන විට ඔබේ BMI අගය 18.5 ට වඩා වැඩියෙන් තබා ගැනීම වැදගත් වෙනව. මෙම අගය 25ට වඩා වැඩි නම් ඔබ තරබාරු ගනයට වැටෙන අතර බර වැඩිවීම නිසා ගර්භණී සමයේ මෙන්ම දරු ප්‍රසූතියේදීත් සංකූලතා ඇතිවීමට අවදානම වැඩි වෙනව. බර වැඩි කාන්තාවන්ට ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදු නොවෙන නිසා ගැබ් ගැනීමට ප්‍රමාද වෙන්නත් ඉඩ තිබෙනව. ඒ නිසා ඔබේ BMI අගය වැඩි නම් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් අවශ්‍ය ප්‍රමාණයට බර අඩු කරගෙන ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ඔබේ BMI අගය මෙතනින් ගණනය කර ගන්න පුළුවන්. මවගේ පෝෂණය දරු පිළිසිඳ ගැනීමට වැදගත් වෙනව. මව පෝෂණීය ආහාර වේලක් ගැනීම වැදගත්. ඒ වගේම අපේ ආහාර වල අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ලය අඩංගු නොවෙන නිසා ෆෝලික් අම්ලය පෙති ලෙස ගැබ් ගැනිමට බලාපොරොත්තු වෙන සෑම කාන්තාවක්ම ලබා ගත යුතු වෙනව. එමගින් දරුවාගේ මොලය සහ සුෂුම්නාව ආශ්‍රිතව ඇතිවිය හැකි දරුණු සංකූලතා පහසුවෙන් වලක්වා ගැනීමට හැකියාව ලැබෙනව. ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා කර ගනිමු. මවට ගර්භණී කාලයේ සමහර රෝග තත්වයන් වැළඳෙන විට එය දරුවාට හානිකර වෙන්න පුළුවන්. ඒ නිසා රෝග වලට මවට ප්‍රතිශක්තියක් තිබීම වැදගත්. රුබෙල්ලා රෝගය නිසා මවුකුස තුල දරුවන්ට දරුණු සංකූලතා ඇතිවෙනව. මෙය රුබෙල්ලා ප්‍රතිශක්ති කරන එන්නත ගැබ් ගැනීමට පෙර ලබා ගැනීමෙන් වලක්වා ගන්න පුළුවන්. ඒ වගේම පිටගැස්ම රෝගය උපතේදී දරුවාට වැළඳීමට ඇති අවදානම අඩු කරන්න ගර්භණී කාලයේ පිට ගැස්ම එන්නත ලබා ගැනීමට හැකියාව තිබෙනව. ගැබ් ගැනීමට සුදුසු කාලය. ඉහත කරුණු සැලකිල්ලට ගත් පසු මව නිරෝගීව සිටීනම් ගැබ් ගැනිමට උත්සාහ කල හැකියි. ඔසප් චක්‍රයේ දින ගණන අනුව ඩිම්බ පිටවෙන දිනය අනුමාන කරන්න පුළුවන්. ඊට ආසන්න ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩිම කාලය සරු කාලය ලෙස හඳුන්වනව. මෙතනින් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. මෙසේ උත්සාහ කලද ගැබ් ගැනීමක් සිදු නොවේනම් අපි එයට මදසරු බව ලෙස හඳුන්වනව. ඒ ගැන වැඩි විස්තර වෙනත් ලිපි කිහිපයක දැක් වෙනව...
දුවෙක්ද? පුතෙක්ද? කොහොමද හරියටම දැන ගන්නේ?
මවු කුසට පැමිණි බිලිඳා දුවෙක් වුවත් පුතෙක් වුවත් එක ලෙස ආදරයෙන් පිළිගන්න ඔබ සූදානම්. නමුත් දරු ප්‍රසූතියට පෙර දුවෙක්ද පුතෙක් ද දැන ගැනීමට හැකි නම් එය කොතරම් සතුටක් ද? මවු කුස තුල සිටින දරුවාගේ ලිංගය නීර්ණය කිරීමට වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් ම තිබෙනව. ගැහැණු දරුවන් ගබ්සා කිරීමට මෙවැනි පරීක්ෂණ යොදා ගන්නා නිසා දැන් ඉන්දියාව වැනි රටවල උපතට පෙර කලලයේ ලිංගය නීර්ණය කිරීම තහනම් කර තිබෙනව. නමුත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අනුව ඕනෑම දරුවෙකුට එක ලෙස සලකන නිසා මෙවැනි පරීක්ෂණ සඳහා අපේ රටේ මව්වරුන්ට අවස්ථාව තිබෙනව. කොහොමද දරුවා ගැහැණු ද පිරිමි ද යන්න තීරණය වෙන්නේ? දරුවෙකු පිළිසිඳ ගන්නේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වීමෙන්. ඩිම්බයේ X (ගැහැණු) වර්ණ දේහ 1ක් තිබෙන අතර ශුක්‍රාණුවේ X (ගැහැණු) වර්ණ දේහයක් හෝ Y (පිරිමි) වර්ණදේහයක් තිබිය හැකියි. ශුක්‍රාණුවේ තිබෙන වර්ණ දේහය අනුව ඇතිවෙන කලලය ගැහැණු ද පිරිමි ද යන්න තීරණය වෙනව. වරකට පිටවෙන ශුක්‍රාණු වලින් 50% පිරිමි වර්ණදේහ සහිත ශුක්‍රාණුත් 50% ගැහැණු වර්ණ දේහ සහිත ශුක්‍රාණුත් වෙන නිසා කලලයක් ගැහැණු හෝ පිරිමි වීමට 50%ක සම්භාවිතාවක් තිබෙන්නේ. මෙය සම්පූර්ණයෙන්ම අහඹු ක්‍රියාවලියක් වෙන නිසා ඖෂධ හෝ වෙනත් ක්‍රියා මාර්ග මගින් මෙය වෙනස් කිරීමට හැකියාවක් නැහැ. බබාගේ ලිංගය තීරණය වෙන්නෙ කවදාද? දරු පිළිසිඳ ගැනීමත් සමගම ජානමය වශයෙන් දරුවා ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන්න තීරණය වී අවසානයි. නමුත් බාහිර ලිංගේන්ද්‍රියන් වර්ධනය වීමට කාලයක් ගත වෙනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකින් මෙය දැන ගන්න යම් කිසි කාලයක් සිටිය යුතුයි. කොහොමද දරුවා දුවෙක්ද පුතෙක් ද කියල දැන ගන්නේ? මේ සඳහා කල හැකි පරීක්ෂණ කිහිපයක් ම තිබෙනව. ඉන් පහසුම සහ බහුලවම භාවිතා වෙන ක්‍රමය තමයි ස්කෑන් පරීක්ෂණයක් කිරීම. සාමාන්‍යයෙන් සති 20දී කරන ස්කෑන් පරීක්ෂණයකදී දරුවාගේ ලිංගය පැවසීමට හැකියාව තිබෙනව. නවීන ස්කෑන් යන්ත්‍රයක් භාවිතා කර පළපුරුදු වෛද්‍ය වරයෙකුට සති 16දී පමණ පවා මෙය පැවසීමට හැකියාව දැන් තිබෙනව. මෙහිදී වෛද්‍ය වරයා දරුවාගේ බාහිර ලිංගේන්ද්‍රිය විකසනය සිදුවී ඇති ආකාරය ස්කෑන් යන්ත්‍රය ආධාරයෙන් පරීක්ෂා කර බලා ඔබට දරුවා දුවෙක්ද පුතෙක්ද යන්න පවසන්නෙ. දරුවාගේ ලිංගය බලා ගැනීම ස්කෑන් පරීක්ෂණයේ මූලික අරමුණ නොවෙයි. දරුවාගේ වර්ධනය, කිසියම් අසාමාන්‍ය තත්වයක් ඇතිද යන්න වැනි කරුණු වලට තමයි ස්කෑන් පරීක්ෂණයකදී වෛද්‍ය වරයා වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒ නිසා සමහර විට කාර්ය බහුල සායනයක කරන ස්කෑන් පරීක්ෂණයකදී මෙම තොරතුරු දැන ගැනීමට තරම් කාලයක් නැති වෙන්න ඉඩ තිබෙනව. සති 11දී පමණ කරන රුධිර පරීක්ෂණයක් මගින් දරුවාගේ DNA පරීක්ෂා කිරීමේ හැකියාව දැන් තිබෙනව. මෙය ඉතාමත් මිල අධික පරීක්ෂණයක් වන අතර එමගින් දරුවාගේ ලිංගය මෙන් ම දරුවාට තිබිය හැකි ජානමය රෝග තත්වයන් පිළිබඳ වත් සති 11ක පමණ කාලයෙ දී ම දැන ගන්න පුළුවන්. කලාතුරකින් ගර්භාෂයට සිහින් කටුවක් ඇතුල් කර සිදු කරන ඇම්නියොසෙන්ටෙසිස් නම් පරීක්ෂණය දරුවාගේ අසාමාන්‍ය තත්වයන් හඳුනා ගන්න සිදුකරනව. මෙම පරීක්ෂණයෙනුත් දරුවාගේ ලිංගය හඳුනා ගන්න හැකියාව තිබෙනව.   Save Save..
ගර්භණී ඔබ සාමාන්‍ය දරු උපතකට සූදානම් වන විට අවශ්‍ය උපදෙස්
මව් කුස තුල සිටින බිලිඳා බිහි වන දිනය තෙක් ඔබ නොඉවසිලිමත්ව බලා සිටිනව. ඒ වගේම මෙම ක්‍රියාවලිය ගැන බියකුත් දැනෙනව ඇති. මෙම ලිපියෙන් අපි සාමාන්‍ය දරු ප්‍රසූතියක් වෙන හැටි ගැනයි තොරතුරු ගෙන එන්නේ. ගර්භාෂය තුල වැඩෙන දරුවා මෙලොව එලිය දකින්නට ඇති ස්වභාවික ක්‍රමය සාමාන්‍ය දරු ප්‍රසූතියයි. එමෙන්ම ලෝකයේ දියුණු රටවල නවතම ප්‍රවණතාවය වෙන්නේ වැඩි වැඩියෙන් ස්වභාවික දරු උපත් සඳහා යොමු වීමයි. දරුවා ස්වභාවයෙන් ම මෙම ක්‍රියාවලියට සූදානම්. එයට අවශ්‍ය ඔබේ සහයෝගය නිසි ලෙස ලබා දීමෙන් නිරෝගී දරුවෙකු බිහි කිරීමේ හැකියාව ලැබෙනව. සාමාන්‍ය දරු ප්‍රසූතියක ඇති විශාලතම වාසිය වෙන්නේ මවට සැත්කමක් අවශ්‍ය නොවීම. එම නිසා ප්‍රසූතියෙන් පසුව ඇයට ඉතා ඉක්මනින් සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදීමටත් දරුවා බලා ගැනීමටත් හැකියාව ලැබෙනව සැත්කමකින් පසුව ඇතිවෙන අධික වේදනාව, තුවාල පැසවීම, කැලැල් ඇතිවීම වැනි සංකූලතා මේ නිසා ඇති වෙන්නෙ නැහැ. දරුවා ප්‍රසූතිය සඳහා සූදානම් වීමේ දී පෙනහළු වල ඇති තරල ඉවත් වී ඉපදුණු වහාම හොඳින් හුස්ම ගැනීමේ හැකියාව ලැබෙනව. එම නිසා දරුවාට මවු කිරි ඉරීමටත් පහසු වෙනව. මෙය මව සහ දරුවා අතර ආරම්භයේ දීම හොඳ බැඳීමක් ඇති කිරීමට හේතු වෙනව. දරු ගැබට මාස 7ක් පමණ වෙන විට ඔබ දරු ප්‍රසූතියට කල් තියා සූදානම් වෙන්න. දරු ප්‍රසූතියට රෝහල් ගත වීමට අවශ්‍ය සියළුම බඩු බාහිරාදිය එක බෑගයක දමා කලින් සූදානම් කර තැබීම ඉතා වැදගත්. එවිට හදිසි අවස්තාවකදී කිසිවක් අමතක වෙන්නේ නැහැ. ගර්භණී මවක් ප්‍රසූතියට ආසන්න වන විට දරුවාගේ හිස පහලට හැරී සිටින්නේ. අවසාන සතිය පමණ වන විට දරුවාගේ හිස ශ්‍රෝණි කුහරය තුලට ගමන් කරන අතර බොහෝ විට මුහුණ පිටුපසට හැරී පිහිටන්නේ. මේ කාලයේ ගර්භාෂය සංකෝචනය වීමට පෙර හුරුවක් වගේ වරින් වර උදරයේ සහ කොන්දේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්. මෙම වේදනාවන් ඇතිවෙන වාර ගණන වැඩි වන විට ඔබට දැන ගන්න පුළුවන් දරු ප්‍රසූතිය ආසන්න වී ඇති බව. ඒ සමග යෝනි මාර්ගයෙන් සුළු රුධිර වහනයක් සහ ස්‍රාව පිටවීමක් සිදු වෙන්න පුළුවන්. එවිට ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා වෙත යොමු වීම සුදුසුයි. ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ පසු වෛද්‍ය වරයා ඔබව පරීක්ෂා කර බලනව. මෙම පරීක්ෂාවෙන් අනතුරුව දරුවාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීමට කියන පරීක්ෂණය සිදු කරනව. එය සාමාන්‍ය නම් වේදනාව වැඩි වී සාමාන්‍ය ලෙස ප්‍රසූතියට සූදානම් වෙන තෙක් යම් කිසි කාලයක් රෝහලේ ගත කිරීමට සිදු වෙනව. වේදනාව වැඩි වෙන විට වෛද්‍ය වරයා යෝනි පරීක්ෂාවක් කර ගැබ් ගෙල විවෘත වීම ආරම්භ වී ඇති දැයි පරීක්ෂා කර බලනව. එසේ නම් සූතිකාගාරය වෙත යොමු කිරීමක් සිදු වෙනව. මේ අවස්තාවේදී සුදුසු පරිදි ඔබට වේදනා නාශක ඖෂධ ලබා දීම සිදු කරනව. වේදනා නාශක ලබා ගත හැකි ආකාර කිහිපයක් තිබෙනව. ඔබේ රෝහලේ ඇති පහසුකම් අනුව, වේදනා නාශක පෙති ලෙස, නික්ෂේපණයක් ලෙස, එපිඩියුරල් ක්‍රමයට කොන්දට විදින ඖෂධ ලෙස හෝ ආශ්වාස කරන වායුවක් ලෙස ලබා ගැනීමට හැකියි. ප්‍රසූත වේදනා ඇති වෙන විට හුස්ම ගැනීම පාලනය කිරීමේ වේදනාවේ ත්‍රීවතාවය අඩු කර ගන්න පුළුවන්. මෙය Breathing exercises ලෙස හඳුන්වන අතර කලින් එම ව්‍යායාම පුහුණු කිරීම දරු ප්‍රසූතිය පහසු කර ගැනීම උපකාරී වෙනව. සූතිකාගාරය තුල දී දරුවාගේ හෘද ස්පන්දය නිරීක්ෂණයට ලක් කරන අතර ගැබ් ගෙල විවෘත වී දරුවා පහලට එන ආකාර පැය 4කට වරක් සිදු කරන යෝනි පරීක්ෂණ මගින් නිරීක්ෂණය කරනව. ඊට අමතර ඔබේ සෞඛ්‍ය තත්වය, නාඩි, රුධිර පීඩනය වේදනාව ඇති වෙන වාර ගණන ආදියත් නිරීක්ෂණය කරනව. එහිදී ඔබට අවශ්‍ය පරිදි නැවත වේදනා නාශක ලබා දීමත් සිදු කරනව. දරු ප්‍රසූතිය ආසන්න වෙන විට දරුවාගේ හිස යෝනි මාර්ගයේ පහලටම පැමිණෙනවා. මේ අවස්ථාවේ දී පුහුණු පවල් සෞඛ්‍ය සේවිකාවක් හෝ වෛද්‍ය වරයා ඔබට දරු ප්‍රසූතිය සඳහා උදව් කරනව. දරුවා බිහි වීමට අවශ්‍ය පරිදි ඔබට තැටමීමට ඔවුන් උපදෙස් දේවි. ඒ වගේම දරුවාගේ හිස එලියට ඒමට ආසන්න වන විට තැටමීම පාලනය කිරීමටත් අවශ්‍යයි. එවිට වෛද්‍ය වරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් මෙම ක්‍රියාවලිය ඔබටත් දරුවාටත් ආරක්ෂාකාරී ලෙස සිදු කර ගන්න හැකියාව ලැබෙනව. සමහර අවස්ථාවල දරුවා එළියට පැමිණීම ප්‍රමාද වෙන විට විටිපිය කැපුමක් යෙදීමට සිදු වෙනව. මෙය හිරිවැටීමට ඖෂධ ලබා දී සිදු කල යුතු වෙන්නේ. එවිට දරු ප්‍රසූතිය පහසු වෙනව. දරුවා එළියට පැමිණි විට ඔබට ගර්භාෂයෙන් රුධිර වහනය වළක්වා ගන්න නික්ෂේපණ ඖෂධයක් ලබා දෙනව. සමහර විට මෙම ඖෂධය නිසා ඕක්කාරය වමනය වැනි අතුරු ආබාධ ඇතිවිය හැකියි. එසේ වුව හොත් ඒ සඳහා සුදුසු පරිදි ප්‍රතිකාර ගත හැකියි. දරුවා බිහි වූ පසු දරුවා වැදෑමහට සම්බන්ධ වී ඇති පෙකණි වැල කපා දරුවා ඉක්මනින් පිරිසිදු කර ඔබට මවුකිරි දීම ආරම්භ කිරීමට ලබා දෙනව. ඒ අවස්ථාවේදීම මවුකිරි දීම ආරම්භ කිරීම ඉතා ම වැදගත්. ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඉවත් කිරීම සිදු කරන අතර ඉන් පසු යෝනි මාර්ගය අවට ඉරීමක් සිදු වී ඇති දැයි පරීක්ෂා කරනව. එසේ ඉරීමක් ඇති නම් හෝ කැපුමක් යොදා ඇති නම් එය දිය වන මැහුම් යොදා ගෙන හිරි වැටීම යටතේ මැසීම වෛද්‍ය වරයෙකු විසින් සිදු කරනව. ඉන් පසු ඔබට දරුවා සමග දිගටම කාලය ගත කිරීමට හැකි අතර මුල් පැය දෙක තුල වරින් වර පරීක්ෂා කර බැලීම සිදු කරනව. පැය දෙකකින් පසුව සූතිකාගාරයෙන් පිටතට පැමිණිය හැකි අතර දවසක් පමණ දරුවා සමග රෝහලේ ගත කිරීමට සිදු වෙනව. ඒ කාලය තුල දරුවාගේ සහ ඔබේ සෞඛ්‍ය තත්වය යහපත් නම් පසු දින රෝහලෙන් බැහැරව යාමට ඔබට හැකියි. සාමාන්‍ය දරු ප්‍රසූතිය අපහසු වෙන සමහර අවස්ථාවල දී ඔබට සිසේරියන් සැත්කමක් අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කරන්න පුළුවන්. මේ ගැන විස්තර වෙනම ලිපියක සඳහන් වෙනව.    ..