Results for Tag: Pregnancy (43)
ගබ්සාවීමට හේතු (Causes for abortion)
මුත්‍රා පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත් සෑම ගැබ්ගැනීම් 8 කටම එකක් ගබ්සාවීමට ලක් වෙනව. මෙවැනි අත්දැකීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් අසන ගැට‍ළුවක් තමයි ඊට හේතුවෙන කාරණා මොනවාද යන්න. ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයක් සිදු වෙන්නෙ ගර්භණී සමයේ මුල් මාස තුන තුලයි. එවැනි ගබ්සාවන් ගැන වැඩි විස්තර වෙනත් ලිපියක් දැක්වෙනව. මුල් මාස තුනෙන් පසු සිදුවෙන ගබ්සාවන් එතරම් සුලබ නැහැ. ඒවා ගැනත් මීට පෙර අපි ලිපියක් පල කර තිබෙනව. අපි මේ ලිපිය වෙන් කරන්නෙ ගබ්සාවීම් වලට හේතුවෙන කරුණු ගැනයි.ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වීමෙන් ඇති වෙන යුක්තාණුව ගර්භාෂය තුල තැන්පත් වීමෙන් පසු කලලයක් ලෙස වර්ධනය වෙනව. මෙම ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වෙන බොහෝ දේ තිබෙනව. ඉන් කිසියම් හෝ සාධකයක අඩුපාඩුවක් නිසා ගබ්සාවීමක් සිදු වෙන්න පුළුවන්. නිරෝගී දරුවෙකු වර්ධනය වීමට අවශ්‍ය වෙන ප්‍රධානතම කරුණක් තමයි දරුවාගේ ජාන සංයුතිය නිවැරදිව පිහිටා තිබීම. අපේ සිරුරේ සෑම සෛලයකම වර්ණදේහ 46 ක් තිබෙනව. මේවායින් 23 ක් පියාගෙනුත්  23 ක් මවගෙනුත් උරුම වෙන්නේ. මෙම වර්ණදේහ සංයුතියේ කිසියම් වෙනසක් ඇතිවුවොත් එම කලලයට සාමාන්‍ය නිරෝගී දරුවෙකු ලෙස වර්ධනය වීමට හැකියාවක් නැහැ. මෙවැනි අසාමාන්‍ය තත්වයන් තිබෙනව බොහෝ කලලයන් මුල් මාසය තුලදීම ඔබ ගැබ් ගැනීමක් සිදුවී ඇති බව දැන ගන්නටත් පෙර ගබ්සා වෙනව. ඉතිරිවෙන අසාමාන්‍ය කලලයන් තමයි මුල් මාස තුන තුල සිදුවෙන ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයකට හේතු වෙන්නෙ. ඊට අමතරව වෙනත් ජානමය සහ ශාරීරික අසාමාන්‍ය තත්වයන් ඇති කලලයනුත් මෙලෙස ගබ්සාවීමට ලක් වෙනව. එවැනි ගබ්සාවන් සිදුවන්නේ ස්වභාවිකව අසාමාන්‍ය දරුවන් ඇතිවීම වළක්වන ස්වභාවික වරණය ක්‍රියාවලිය ලෙසයි. වෛද්‍ය ප්‍රතිකාර වලින් හෝ වෙනත් කිසිම ක්‍රමයකින් මෙවැනි ගබ්සාවන් වළක්වා ගන්න හැකියාවක් නැහැ. දරුවාට කිසිම අසාමාන්‍ය තත්වයක් නොමැති විටත් ගබ්සාවෙන අවස්තා තිබෙනව. එ්වාට හේතු වෙන කරුණු නම්             1.      මවට ඇතිවෙන ආසාදන තත්වයන්. මවට වෛරස රෝග තත්වයක් ඇතිවීම සමහර විට ගබ්සාවීමට හේතු වෙනව. තද උණ, දරු ගැබට වෛරස ආසාදන වීම වැනි කරුණු මෙයට හේතු වෙන්න පුළුවන්. ගැබ් ගෙල හරහා ගර්භාෂයට විෂබීජ ඇතුල් වීම නිසා ගබ්සාවෙන අවස්ථා කලාතුරකින් දක්නට ලැබෙන අතර බොහෝ විට මෙවැනි ගබ්සාවීම සිදු වෙන්නෙ මුල් මාස තුනට පසුයි.             2.      මවගේ රෝග තත්වයන්. දියවැඩියාව, තයිරොයිඩ් හෝමෝන අසාමාන්‍ය තත්වයන් වැනි රෝග නිසි ලෙස පාලනය කර නොගත හොත් ඒ නිසා ගබ්සා වීමට අවදානමක් තිබෙනව.              3.      ගර්භණී සමයේ මවගේ සිරුරේ හෝමෝන මට්ටම් නිසි පරිදි නොපැවතීම ගර්භාෂය ගර්භණී තත්වයෙන් පවත්වා ගැනීමට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය දායක වේ. ගර්භණී සමයේ මෙම හෝමෝනය නියමිත ප්‍රමාණයට නිපදවෙන්නෙ නැතිනම් ඒ නිසා ගබ්සා වීමට ඉඩ තිබෙනව. එය වළක්වා ගන්න සමහර විට වෛද්‍යවරු ප්‍රොජෙස්ටරෝන් පෙති හෝ නික්ෂේපණ නිර්දේශ කරන අවස්තා තිබෙනව. මුල් සති කිහිපය තුල වැදෑමහෙන් නිපදවෙන HCG හෝමෝනය දරු ගැබ ආරක්ෂිතව තබා ගන්න අවශ්‍යයි. ඒ නිසා මෙම හෝමෝන ප්‍රමාණය අඩු වීමත් ගබ්සා වීමට බලපාන්න පුළුවන්.                4.      මවගේ රුධිර කැටි ගැසීම වැඩි වෙන රෝග තත්වයන්. දරු ගැබට පෝෂණය ලැබෙන්නේ, වැදෑමහ තුලට ගමන් කරන මවගේ රුධිරයෙන්. එම රුධිරය ඝනකම් වැඩිනම් වැදෑමහේ සියුම් රුධිර නාල අවහිර වී ඊට සපයන රුධිර ප්‍රමාණය අඩු වෙනව. එවිට ගබ්සා වීමට ඉඩ කඩ වැඩියි. එවැනි රෝග තත්වයක් ඇති විට රුධිර කැටි ගැසීම අඩු කරන්න ඇස්පිරින්, හෙපරින් වැනි ඖෂධ ලබා දීමෙන් ගබ්සා වීමේ අවදානම අඩු කර ගන්න හැකියාව තිබෙනව.                 5.      මවගේ ගර්භාෂයේ අසාමාන්‍යතා. ගර්භාෂයේ ඇතුළත බිත්තියට නෙරා තිබෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි, ගර්භාෂය මැදින් දෙකට බෙදෙන පරිදි බිත්තියක් (uterine septum) පැවතීම වැනි කරුණු නිසා ගබ්සාවන් ඇති වෙන්න පුළුවන්. මෙවැනි රෝග තත්වයන් හිස්ටරොස්කොපි (hysteroscopy) සැත්කමක් මගින් නිවැරදි කිරීමෙන් නැවත එවැනි ගබ්සාවක් සිදුවීම වළක්වා ගන්න පුළුවන්.                  6.      යෝනි මාර්ගය තුල ඇති ආසාදන තත්වයන් Bacterial vaginosis වැනි ආසාදන තත්වයන් සඳහා නිසි ප්‍රතිකාර සිදු නොකල හොත් එමගිනුත් ගැබ් ගෙල හරහා විෂබීජ ඇතුළු වීමට අවදානම වැඩි වෙනව.       ඉහත හේතු වලින් බොහොමයක්ම නැවත නැවත ගබ්සාවීමට බලපාන්නෙ නැහැ. ඒ නිසා එක් ගබ්සාවීමක් සිදුවූ පමණින් නැවත වරක් එසේ වේයැයි බිය වීමට හේතුවක් නැහැ. මුල් මාස කිහිපයෙන් පසු සිදුවෙන ගබ්සාවන් පිළිබඳ වැඩි විස්තර තවත් ලිපියක සඳහන් වෙනව.       ..
ගර්භණී සමයේ ගුවන් ගමන් සුදුසුද? Air travel in pregnancy
ගර්භණී මවක් ගුවන් ගමනක යෙදීම අවදානම්ද? ගුවන් ගමන් නිසා මවට සහ කුසතුල සිටින දරුවාට ඇතිවිය හැකි සංකූලතා මොනාවාද? මෙවැනි ගැටළු බොහෝ දෙනෙක් විමසා සිටින නිසා ඒ ගැන පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් සිදු කරන්නෙ. සාමාන්‍යයෙන් සති 36ට පෙර කලින් දරු ප්‍රසූතිය වැනි සංකූලතා ඇතිවීමට අවදානම ඉතා අඩු නිසා ගුවන් ගමනක යෙදී ආරක්ෂාකාරී ලෙස සලකනව. නමුත් ඔබ ගර්භණී කාලයේ ගුවන් ගමනක් සැලසුම් කිරීමට පෙර ඔබේ වෛද්‍ය වරයා හමුවී දරුවාගේත් ඔබෙත් සෞඛ්‍ය තත්වය මේ සඳහා සුදුසු මට්ටමක පවතීදැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. සමහර අවදානම් තත්වයන් නිසා ගුවන් ගමන් වල යෙදීම නිර්දේශ නොකර අවස්තා තිබෙනව. එවැනි තත්වයන් නම්, පාද වල ලේ කැටි ඇති වෙන (Deep Vein Thrombosis) රෝග තත්වය. කලින් දරු පසූතියට අවදානමක් තිබීම. වෝටර් බෑග් එක කැඩීම තිබීම. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන ශ්වසන හෝ හෘද රෝග තත්වයක් තිබීම.ගුවන් ගමනක යෙදෙන අතරතුර ඇති විය හැකි සංකූලතා වලක්වා ගැනීමට පහත උපදෙස් පිළිපැදීම වැදගත් වෙනව.1. ගුවන් සේවයට ඔබ ගර්භණී බව කලින් දැනුම් දී උපදෙස් ලබා ගන්න. සමහර විට ඔබට ගුවන් ගමන ආරක්ෂිත දැයි වෛද්‍ය වාර්තාවක් ලබා දීමට සිදු වෙනව. 2. සැම විටම ආසන පටි භාවිතා කරන්න. ඉන් දරු ගැබට හානියක් සිදු වෙන්නෙ නැහැ. 3. හැකි පමණ දියර වර්ග පානය කරන්න. විජලනය වීම වලක්වා ගැනීමට ඉතා වැදගත් 4. පාද වල රුධිර කැටි ගැසීමට අවදානමක් ඇති නිසා එය වලක්වා ගන්න compression stockings පැලඳීම, පාදවලට ව්‍යායාම කිරීම සහ ආරක්ෂිතව කෙටි දුරක් ඇවිදීම සිදුකරන්න. ගමනාන්තයේදී හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් දරු ප්‍රසූතියට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසු රොහලක් කලින් සැලසුම් කර තබා ගන්න. සෑම විටම ඔබේ ගර්භණී සටහන් පත සහ වෛද්‍ය වාර්තා ලඟ තබා ගන්න...
ගැබිනි මවකට ව්‍යායාම සුදුසුද? (Exercise in Pregnancy)
දරු පිළිසිඳ ගැනීමත් සමග කාන්තාවකගේ මූලික අවධානය යොමු වෙන්නෙ කුස තුල වැඩෙන දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බවටයි. ඒ නිසා තම සෞඛ්‍ය තත්වය පිළිබඳ ව කටයුතු කිරීම අතපසු වෙන්න ඉඩ තිබෙනව. සමහර ගැබිනි කාන්තාවන් දරු ගැබට හානි වේ දැයි බියෙන් ව්‍යායාම වලින් බැහැරව සිටීමටත් පෙලඹෙනවා.  ඇත්තටම ගැබිනි මවකට ව්‍යායාම සුදුසු ද? මේ ලිපියෙන් තොරතුරු ගෙන එන්නෙ ගැබිනි කාලයේ ශාරීරික ව්‍යායාම ගැනයි. ඔබ කලින් සිටම ව්‍යායාම වල යෙදුණ ක්‍රියාශීලී කාන්තාවක් නම් ගැබිනි කාලයේ දීත් සුපුරුදු පරිදි ව්‍යායාම වල යෙදීම හානි කර නැහැ. ඒ වගේම අලුතින් ව්‍යායාම ආරම්භ කිරීමට අදහස් කරන කාන්තාවන්ට ගැබිනි බව ඊට බාධාවක් නොවෙයි. නමුත් කලින් නො කල ව්‍යායාමයක් ගර්භණී කාලයේ මුල් වරට පටන් ගන්නා විට එය සිරුරට හුරු වෙන තෙක් ටිකෙන් ටික සිදු කිරීම කල යුතු වෙනව. මුලදී විනාඩි කිහිපයක කාලයක් ව්‍යායාම ආරම්භ කර කාලයත් සමග කාලය වැඩි කිරීම සුදුසුයි. ශාරීරික අභ්‍යාස මගින් ගැබිනි මවට වාසි රැසක් ලැබෙනව අතර ඉන් කිහිපයක් පහත දැක්වෙනවා. ගැබිනි කාලයේ අනවශ්‍ය ලෙස සිරුරේ බර වැඩි වීම වළක්වා ගැනීම‍.  අධික රුධිර පීඩනය, ගැබිනි සමයේ ඇතිවෙන දියවැඩියාව වැනි සංකූලතාවවලට ඇති අවදානම අඩු වීම ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු වීම. සුව බර නින්දක් ලැබීම. මානසික සෞඛ්‍යය යහපත් වීම. දරු ප්‍රසූතියේ දී විඩාපත් වීමෙන් තොරව දරා ගැනීමට හැකියාව වැඩි වීම. ගැබිනි කාලය තුල සතියට දින 5ක් පමණ විනාඩි 30 ක කාලයක් ව්‍යායාම වල යෙදීම නිර්දේශ කරනව. ඒ අනුව සතියකට විනාඩි 150ක පමණ කාලයක් අවම වශයෙන් ව්‍යායාම කිරීම සුදුසුයි. මෙය ඔබ කැමති පරිදි වරකට විනාඩි 10ක් හෝ ඊට වැඩි කාල සීමාවක් ලෙස වෙන් කර ගන්න පුළුවන්.  උදරයේ මාංශ පේශී ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාමයක් සතියට දෙවරක් සිදු කිරීම සුදුසුයි. එමගින් උදරය ඉදිරියට එල්ලා වැටීම අවම කර ගන්න පුළුවන්. ව්‍යායාම වලින් දරු ගැබට කිසිම හානියක් වෙන බවට විද්‍යාත්මක ව සොයා ගෙන නැහැ. නමුත් කුසට පහරක් වැදීමට හෝ බිම ඇද වැටීමට හැකි ක්‍රීඩා සහ ව්‍යායාම ගැබිනි මවකට සුදුසු නැහැ. ගර්භාෂය තුල සිටින දරුවාට සහ වැදෑමහට ඉන් බලපෑම් ඇතිවිය හැකි නිසා ගැබිනි කාලය තුල එවැනි ව්‍යායාම වලින් වැලකී සිටිය යුතුයි. ඒ වගේම උඩුබැලි අතට වැතිර ව්‍යායාම වල යෙදීම දරු ගැබට රුධිර සැපයුම අඩු වීමට හේතු විය හැකි නිසා එම ඉරියව්වේ වැඩි වේලාවක් සිටීම සුදුසු නැහැ. මනා ශාරීරික යෝග්‍යත්වයක් ගැබිනි කාලය තුල පවත්වා ගන්නා මවකට ප්‍රසූතිය දරා ගැනීමේ හැකියාව වැඩියි. ඒ නිසා සාමාන්‍ය ප්‍රසූතියක දී ඇතිවිය හැකි අවදානම් තත්වයන් අවම වෙනව. සෞඛ්‍ය සම්පන්න දරුවෙකු සාමාන්‍ය ලෙස බිහි කර මවගේ සෞඛ්‍යයත් යහපත් ලෙස පවත්වා ගන්න ගැබිනි සමයේ ව්‍යායාම කිරීම මානා පිටිවහලක් වෙනව...
නූපන් දරුවාට හානි කරන රුබෙල්ලා වෛරස ආසාදනය
රුබෙල්ලා කියන්නෙ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. ජර්මන් සරම්ප කියල කියන්නෙත් මේ රෝග තත්වයට මයි. රුබෙල්ලා ආසාදනය වෙනත් වෛරස ආසාදන වගේ ගැබිනි මවගේ සෞඛ්‍යයට එතරම් හානිකර වෙන්නෙ නැහැ.  සාමාන්‍ය සෙම්ප්‍රතිශාව උණ තත්වයක් ලෙස මෙය වැලඳෙන්න පුළුවන්. ඉන් පසු සමේ සරම්ප වැනි ලප මතු වීමට ඉඩ තිබෙනව. බොහෝ විට මෙය ඉබේම දින 7 - 10 අතර කාලයක් තුල සුව වෙන අතර උණ සහ අනිකුත් රෝග ලක්ෂණ පාලනය කර ගැනීමට පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම ප්‍රමාණවත් වෙනව. නමුත්  මෙම වෛරසය වැදෑමහ හරහා දරු ගැබ ආසාදනය කිරීමට හැකියි. ඒ  සමග දරුවාට ඇති වෙන බලපෑම වෛරසය ශරීර ගතවන කාල සීමාව අනුව වෙනස් වෙනව. ගර්භණී මවකට මුල් මාස කිහිපය තුල රුබෙල්ලා ආසාදනය ඇති වුව හොත් Congenital Rubella Syndrome නම් දරුණු රෝග තත්වය දරු ගැබට ඇති වෙන්න පුළුවන්. එවැනි දරුවන් හෘදය සහ ස්නායු පද්ධතියේ දරුණු ආබාධ, ඇස් පෙනීම සහ කන් ඇසීම ඉතා දුර්වල වීම, මන්ද බුද්ධික බව වැනි උපත් ආබාධ සහිතව උපදින්නෙ. ඊට අමතරව මල දරු උපත්, ගබ්සා වීම, බර අඩු වීම සහ නො මේරූ දරු උපත් වැනි තත්වයන් රුබෙල්ලා ආසාදනය නිසා ඇති වෙනව. මුල් මාස තුනෙන් පසුව රෝගය වැළදෙන විට එතරම් දරුණු සංකූලතා ඇති වීමට හැකියාව තරමක් අඩුයි. නමුත් කන් ඇසීම දුර්වල වීම වැනි තත්වයන් දරුවාට ඇති වෙන්න මේ නිසා ඉඩ තිබෙනව. රුබෙල්ලා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබෙනව. එමගින් රෝගය වැළඳීම සහ ඉන් දරු ගැබට හානි වීම වළක්වා ගන්න පුළුවන්.  කලින් මෙම එන්නත ලබා ගැනීම මගින් හෝ රුබෙල්ලා රෝගය වැළඳීමෙන් ශරීරය තුළ මෙම රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය ඇති වෙනව. එලෙස ප්‍රතිශක්තිය තිබෙන කාන්තාවන්ට ගර්භණී සමයේ දී රුබෙල්ලා රෝගය වැළඳීමට ඇති හැකියාව ඉතා අඩුයි. කලකට පෙර කාන්තාවන් සඳහා පමණක් රුබෙල්ලා එන්නත ලබා දුන් නමුත් දැන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින් සෑම දරුවෙකුට ම MMR එන්නත ලබා දෙනව. එමගින් සරම්ප කම්මුල් ගාය සහ රුබෙල්ලා කියන රෝග තුනට ම ප්‍රතිශක්තිය ලැබෙනව. ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු කාන්තාවක් නම් අනිවාර්යයෙන් ම රුබෙල්ලා රෝගයෙන් ආරක්ෂිත දැයි සොයා බලන්න. කලින් එන්නත ලබා ගත් බව ඔබට අමතක නම් නැවත වෛද්‍ය වරයෙකු හමුවී එන්නත ලබා ගන්න පුළුවන්. මාස තුනක් ඇතුළත ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන්ට සහ ගර්භණී කාන්තාවන්ට මෙම එන්නත ලබා ගැනීම නිර්දේශ කරන්නෙ නැහැ. එවිට රුධිර පරීක්ෂාවක් (Rubella antibody test) මගින් දැනට රුබෙල්ලා රෝගයට එරෙහි ප්‍රතිශක්තිය ඇති දැයි සොයා බලන්න පුළුවන්. එම පරීක්ෂණයෙන් රුබෙල්ලා ප්‍රතිදේහ ඇති බව තහවුරු වුව හොත් ඇයට ගැබිනි කාලයේ රුබෙල්ලා රෝගය වැළඳීමේ අවදානම ඉතා අඩුයි...
සාමාන්‍ය ප්‍රසූතිය ඉක්මන් කරන ක්‍රම. (Induction of labour)
සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා ගැබිනි මවකට ප්‍රසූත වේදනා ඇතිවෙන තෙක් සිටීමට අවශ්‍ය වෙනව. නමුත් සමහර අවස්තා වලදී ප්‍රසූත වේදනා ඇති වීම ප්‍රමාද වෙන්න පුළුවන්. තවත් සමහර මව් වරුන්ට කලින් දරුවා බිහි කිරීම අවශ්‍ය වෙන හේතු තිබෙන්න පුළුවන්. එවැනි අවස්තාවකදී දී ප්‍රසූත වේදනාව කලින් ඇති කිරීම (Induction of labour) සඳහා වෛද්‍ය වරු උපදෙස් ලබා දෙනව. Induction කියන්නෙ මොකක්ද? එ් ගැන මේ ලිපියෙන් ඔබට විස්තර කරන්නම්. සාමාන්‍ය ලෙස දරුවෙකු බිහි වීමට ගර්භාෂයේ පහලින් යෝනි මාර්ගයට නෙරා ඇති ගැබ් ගෙල කොටස විවෘත වීම අවශ්‍ය වෙනව. මෙහි දී ගැබ් ගෙල ප්‍රමාණයෙන් කෙටි වීම සහ විවෘත වීම ස්වභාවිකව සිදු වෙන ක්‍රියා වලියක්. මේ සඳහා සිරුරේ නිපදවෙන ප්‍රොස්ටගැන්ඩින් නම් රසායනික අවශ්‍ය වෙනව. ඒ වගේම ගර්භාෂය වරින් වර සංකෝචනය වී දරුවා උපත් මාර්ගය තුලින් පහලට තල්ලු කිරීම සාමාන්‍ය ප්‍රසූතියේ දී සිදු වෙනව. මෙලෙස සිදු වෙන ගර්භාෂයේ මාංශ පේෂි සංකෝචනය වීමත් ගැබ් ගෙල විවෘත වීමත් යන කරුණු දෙකම මත සාමාන්‍ය ප්‍රසූතියක් සිදු වෙන දිනය තීරණය වෙනව. ගැබ් ගෙල විවෘත වීම සිදු නොවන විට එය උත්තේජනය කිරීම සඳහා ඖෂධ හෝ වෙනත් ක්‍රම භාවිතා කිරීම අවශ්‍ය වෙනව. මේ සඳහා භාවිතා කරන ප්‍රධාන ඖෂධ වර්ග කිහිපයක් තිබෙනව. 1. ප්‍රොස්ටගැන්ඩින් වර්ගයේ ඖෂධ යෝනි මාර්ගය තුලින් ඇතුළු කරන පෙත්තක් ලෙස හෝ ජෙල් වර්ගයක් ලෙස මෙම ඖෂධය භාවිතා කරනව. එමගින් ගැබ් ගෙල විවෘත වීම වගේම ගර්භාෂය සංකෝචනය වීමත් උත්තේජනය කරන නිසා ප්‍රසූතිය ඉක්මන් කරන්න පුළුවන්. 2. ඔක්සිටොසින් හෝමෝනය (Syntocin) මෙම ඖෂධය සේලයන් සමග නික්ෂේපණයක් ලෙස ලබා දෙන්නෙ. සාමාන්‍යයෙන් ගැබ් ගෙල විවෘතව ඇති විට ගර්භාෂය සංකෝචනය වීම සහ ප්‍රසව වේදනා ඇති වීම උත්තේජනය කිරීම සඳහා මෙය බහුලව භාවිතා කරනව. 3. කලලාවාරික පටලය සිදුරු කිරීම (Water bag එක කැඩීම) ගැබ් ගෙල විවෘතව පවතින විට වෛද්‍ය වරු විසින් සියුම් උපකරණයක් යොදා ගෙන water bag එකේ කුඩා විවරයක් ඇති කිරීම මෙහි දී සිදු කරනව. ඉන් පසු ගර්භ තරලය පිටතට ගලා ඒමක් සිදු වෙන අතර ඒ සමග ප්‍රසූත වේදනා ඇති වීම ඉක්මන් වෙනව. බොහෝ විට ඉන් පසු syntocinon  ඖෂධය ලබා දීමත් සිදු කරනව. 4. ගැබ් ගෙල හරහා කුඩා catheter එකක් ඇතුළු කිරීම. ගැබ් ගෙල විවෘත වීම උත්තේජනය කිරීමට මෙම ක්‍රමය භාවිතා කරනව. මෙලෙස ඇතුළු කරන බටය ගර්භාෂය තුල පැය 12ක පමණ කාලයක් තිබෙන විට ගැබ් ගෙල ඉබේම විවෘත වී එය පිටතට පැමිණෙනවා. මෙය තරමක් මවට අපහසු නමුත් ඒ නිසා ප්‍රොස්ටග්ලැන්ඩින් ඖෂධ භාවිතයේ දී මෙන් අතුරු ආබාධ ඇති වෙන්නෙ නැති නිසා මෙය බබාට වඩාත් හිතකරයි මෙම ක්‍රම භාවිතා කර ප්‍රසූතිය ඉක්මන් කිරීම සෑම මවකට අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් වෛද්‍ය වරු මෙවැනි ක්‍රමයක් අවශ්‍ය යැයි නිර්දේශ කරන විශේෂ අවස්තා තිබෙනව. උදා නියමිත කාල සීමාව පසු වන තෙක් ප්‍රසූතිය සිදු නොවීම. මවු කුස තුල දරුවා නියමිත ප්‍රමාණයට වර්ධනය සහ විකසනය වී අවසන් වූ පසු දරු ගැබ මවු කුස තුල රඳවා තබා ගැනීම තරමක් අවදානම් විය හැකියි. එයට හේතු වෙන්නේ මව් කුස තුල සිටින දරුවන්ගෙන් සුළු ප්‍රතිශතයක් කිසිම හේතුවක් නොමැතිවත් මිය යන්න පුළුවන් නිසා. මෙවැනි තත්වයන් වළක්වා ගන්න කලින් ප්‍රසූත වේදනා ඇති කිරීම යොදා ගත හැකියි. මවට කිසියම් රෝග තත්වයක් පැවතීම අධික රුධිර පීඩනය, දියවැඩියාව, අක්මාවේ ආබාධ වැනි රෝග තත්වයන් මවට තිබෙන විට ඊට ප්‍රතිකාරයක් ලෙස දරුවා කලින් බිහි කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල දීත් ඉහත ක්‍රම දරුවා බිහි කිරීම ඉක්මන් කරන්න යොදා ගන්නවා. දරුවාට කිසියම් අවදානම් තත්වයක් පැවතීම. දරුවා මව් කුස තුල තවදුරටත් තබා ගැනීම අවදානම් යැයි වෛද්‍ය වරු නිර්දේශ කරන අවස්තා වලදී කලින් ප්‍රසූත වේදනා ඇති කිරීම අවශ්‍ය වෙනව. ඒ වගේම දරුවාගේ අසාමාන්‍ය තාවයන් සහ මල දරු උපත් වැනි තත්වයන් වල දීත් මෙම කලින් ප්‍රසූතිය සිදු කිරීම අවශ්‍ය වෙනව. ප්‍රසූත වේදනා ඇතිවීම සහ ගැබ් ගෙල විවෘත කිරීම උත්තේජනය කිරීම සඳහා මෙම ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම බහුලව භාවිතා කරනව. ඒ නිසා අවශ්‍ය අවස්ථාවක සාමාන්‍ය ප්‍රසූතියක් සිදු කර ගැනීමට හැකියාව ලැබෙන නමුත් ඒ නිසා අතුරු ආබාධ ඇති වෙන්නත් ඉඩ තිබෙනව. ප්‍රසූත වේදනා ඇති කිරීමට දෙන ඖෂධ නිසා සමහර විට ගර්භාෂය අවශ්‍ය ප්‍රමාණයට වඩා සංකෝචනය වීමෙන් දරුවාට රුධිර සැපයුම අඩු වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයන් කලින් හඳුනා ගැනීමට දරුවාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණයට ලක් කරන අතර එවැනි අවදානමක් ඇති අවස්තාවල සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කිරීමට සිදු වෙනව.    ..