ගැබිනි මවකට ව්‍යායාම සුදුසුද? (Exercise in Pregnancy)
දරු පිළිසිඳ ගැනීමත් සමග කාන්තාවකගේ මූලික අවධානය යොමු වෙන්නෙ කුස තුල වැඩෙන දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බවටයි. ඒ නිසා තම සෞඛ්‍ය තත්වය පිළිබඳ ව කටයුතු කිරීම අතපසු වෙන්න ඉඩ තිබෙනව. සමහර ගැබිනි කාන්තාවන් දරු ගැබට හානි වේ දැයි බියෙන් ව්‍යායාම වලින් බැහැරව සිටීමටත් පෙලඹෙනවා. ඇත්තටම ගැබිනි මවකට ව්‍යායාම සුදුසු ද? මේ ලිපියෙන් තොරතුරු ගෙන එන්නෙ ගැබිනි කාලයේ ශාරීරික ව්‍යායාම ගැනයි.
ඔබ කලින් සිටම ව්‍යායාම වල යෙදුණ ක්‍රියාශීලී කාන්තාවක් නම් ගැබිනි කාලයේ දීත් සුපුරුදු පරිදි ව්‍යායාම වල යෙදීම හානි කර නැහැ. ඒ වගේම අලුතින් ව්‍යායාම ආරම්භ කිරීමට අදහස් කරන කාන්තාවන්ට ගැබිනි බව ඊට බාධාවක් නොවෙයි. නමුත් කලින් නො කල ව්‍යායාමයක් ගර්භණී කාලයේ මුල් වරට පටන් ගන්නා විට එය සිරුරට හුරු වෙන තෙක් ටිකෙන් ටික සිදු කිරීම කල යුතු වෙනව. මුලදී විනාඩි කිහිපයක කාලයක් ව්‍යායාම ආරම්භ කර කාලයත් සමග කාලය වැඩි කිරීම සුදුසුයි.
ශාරීරික අභ්‍යාස මගින් ගැබිනි මවට වාසි රැසක් ලැබෙනව අතර ඉන් කිහිපයක් පහත දැක්වෙනවා.
- ගැබිනි කාලයේ අනවශ්‍ය ලෙස සිරුරේ බර වැඩි වීම වළක්වා ගැනීම.
- අධික රුධිර පීඩනය, ගැබිනි සමයේ ඇතිවෙන දියවැඩියාව වැනි සංකූලතාවවලට ඇති අවදානම අඩු වීම
- ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු වීම.
- සුව බර නින්දක් ලැබීම.
- මානසික සෞඛ්‍යය යහපත් වීම.
- දරු ප්‍රසූතියේ දී විඩාපත් වීමෙන් තොරව දරා ගැනීමට හැකියාව වැඩි වීම.
ගැබිනි කාලය තුල සතියට දින 5ක් පමණ විනාඩි 30 ක කාලයක් ව්‍යායාම වල යෙදීම නිර්දේශ කරනව. ඒ අනුව සතියකට විනාඩි 150ක පමණ කාලයක් අවම වශයෙන් ව්‍යායාම කිරීම සුදුසුයි. මෙය ඔබ කැමති පරිදි වරකට විනාඩි 10ක් හෝ ඊට වැඩි කාල සීමාවක් ලෙස වෙන් කර ගන්න පුළුවන්. උදරයේ මාංශ පේශී ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාමයක් සතියට දෙවරක් සිදු කිරීම සුදුසුයි. එමගින් උදරය ඉදිරියට එල්ලා වැටීම අවම කර ගන්න පුළුවන්. ව්‍යායාම වලින් දරු ගැබට කිසිම හානියක් වෙන බවට විද්‍යාත්මක ව සොයා ගෙන නැහැ.
නමුත් කුසට පහරක් වැදීමට හෝ බිම ඇද වැටීමට හැකි ක්‍රීඩා සහ ව්‍යායාම ගැබිනි මවකට සුදුසු නැහැ. ගර්භාෂය තුල සිටින දරුවාට සහ වැදෑමහට ඉන් බලපෑම් ඇතිවිය හැකි නිසා ගැබිනි කාලය තුල එවැනි ව්‍යායාම වලින් වැලකී සිටිය යුතුයි. ඒ වගේම උඩුබැලි අතට වැතිර ව්‍යායාම වල යෙදීම දරු ගැබට රුධිර සැපයුම අඩු වීමට හේතු විය හැකි නිසා එම ඉරියව්වේ වැඩි වේලාවක් සිටීම සුදුසු නැහැ.
මනා ශාරීරික යෝග්‍යත්වයක් ගැබිනි කාලය තුල පවත්වා ගන්නා මවකට ප්‍රසූතිය දරා ගැනීමේ හැකියාව වැඩියි. ඒ නිසා සාමාන්‍ය ප්‍රසූතියක දී ඇතිවිය හැකි අවදානම් තත්වයන් අවම වෙනව. සෞඛ්‍ය සම්පන්න දරුවෙකු සාමාන්‍ය ලෙස බිහි කර මවගේ සෞඛ්‍යයත් යහපත් ලෙස පවත්වා ගන්න ගැබිනි සමයේ ව්‍යායාම කිරීම මානා පිටිවහලක් වෙනව.