දුවෙක්ද? පුතෙක්ද? කොහොමද හරියටම දැන ගන්නේ?

දුවෙක්ද? පුතෙක්ද? කොහොමද හරියටම දැන ගන්නේ?

මවු කුසට පැමිණි බිලිඳා දුවෙක් වුවත් පුතෙක් වුවත් එක ලෙස ආදරයෙන් පිළිගන්න ඔබ සූදානම්. නමුත් දරු ප්‍රසූතියට පෙර දුවෙක්ද පුතෙක් ද දැන ගැනීමට හැකි නම් එය කොතරම් සතුටක් ද? මවු කුස තුල සිටින දරුවාගේ ලිංගය නීර්ණය කිරීමට වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් ම තිබෙනව. ගැහැණු දරුවන් ගබ්සා කිරීමට මෙවැනි පරීක්ෂණ යොදා ගන්නා නිසා දැන් ඉන්දියාව වැනි රටවල උපතට පෙර කලලයේ ලිංගය නීර්ණය කිරීම තහනම් කර තිබෙනව. නමුත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අනුව ඕනෑම දරුවෙකුට එක ලෙස සලකන නිසා මෙවැනි පරීක්ෂණ සඳහා අපේ රටේ මව්වරුන්ට අවස්ථාව තිබෙනව.

කොහොමද දරුවා ගැහැණු ද පිරිමි ද යන්න තීරණය වෙන්නේ?

දරුවෙකු පිළිසිඳ ගන්නේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වීමෙන්. ඩිම්බයේ X (ගැහැණු) වර්ණ දේහ 1ක් තිබෙන අතර ශුක්‍රාණුවේ X (ගැහැණු) වර්ණ දේහයක් හෝ Y (පිරිමි) වර්ණදේහයක් තිබිය හැකියි. ශුක්‍රාණුවේ තිබෙන වර්ණ දේහය අනුව ඇතිවෙන කලලය ගැහැණු ද පිරිමි ද යන්න තීරණය වෙනව. වරකට පිටවෙන ශුක්‍රාණු වලින් 50% පිරිමි වර්ණදේහ සහිත ශුක්‍රාණුත් 50% ගැහැණු වර්ණ දේහ සහිත ශුක්‍රාණුත් වෙන නිසා කලලයක් ගැහැණු හෝ පිරිමි වීමට 50%ක සම්භාවිතාවක් තිබෙන්නේ. මෙය සම්පූර්ණයෙන්ම අහඹු ක්‍රියාවලියක් වෙන නිසා ඖෂධ හෝ වෙනත් ක්‍රියා මාර්ග මගින් මෙය වෙනස් කිරීමට හැකියාවක් නැහැ.

sex

බබාගේ ලිංගය තීරණය වෙන්නෙ කවදාද?

දරු පිළිසිඳ ගැනීමත් සමගම ජානමය වශයෙන් දරුවා ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන්න තීරණය වී අවසානයි. නමුත් බාහිර ලිංගේන්ද්‍රියන් වර්ධනය වීමට කාලයක් ගත වෙනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකින් මෙය දැන ගන්න යම් කිසි කාලයක් සිටිය යුතුයි.

කොහොමද දරුවා දුවෙක්ද පුතෙක් ද කියල දැන ගන්නේ?

මේ සඳහා කල හැකි පරීක්ෂණ කිහිපයක් ම තිබෙනව. ඉන් පහසුම සහ බහුලවම භාවිතා වෙන ක්‍රමය තමයි ස්කෑන් පරීක්ෂණයක් කිරීම. සාමාන්‍යයෙන් සති 20දී කරන ස්කෑන් පරීක්ෂණයකදී දරුවාගේ ලිංගය පැවසීමට හැකියාව තිබෙනව. නවීන ස්කෑන් යන්ත්‍රයක් භාවිතා කර පළපුරුදු වෛද්‍ය වරයෙකුට සති 16දී පමණ පවා මෙය පැවසීමට හැකියාව දැන් තිබෙනව. මෙහිදී වෛද්‍ය වරයා දරුවාගේ බාහිර ලිංගේන්ද්‍රිය විකසනය සිදුවී ඇති ආකාරය ස්කෑන් යන්ත්‍රය ආධාරයෙන් පරීක්ෂා කර බලා ඔබට දරුවා දුවෙක්ද පුතෙක්ද යන්න පවසන්නෙ.

baby gender scan

දරුවාගේ ලිංගය බලා ගැනීම ස්කෑන් පරීක්ෂණයේ මූලික අරමුණ නොවෙයි. දරුවාගේ වර්ධනය, කිසියම් අසාමාන්‍ය තත්වයක් ඇතිද යන්න වැනි කරුණු වලට තමයි ස්කෑන් පරීක්ෂණයකදී වෛද්‍ය වරයා වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒ නිසා සමහර විට කාර්ය බහුල සායනයක කරන ස්කෑන් පරීක්ෂණයකදී මෙම තොරතුරු දැන ගැනීමට තරම් කාලයක් නැති වෙන්න ඉඩ තිබෙනව.

සති 11දී පමණ කරන රුධිර පරීක්ෂණයක් මගින් දරුවාගේ DNA පරීක්ෂා කිරීමේ හැකියාව දැන් තිබෙනව. මෙය ඉතාමත් මිල අධික පරීක්ෂණයක් වන අතර එමගින් දරුවාගේ ලිංගය මෙන් ම දරුවාට තිබිය හැකි ජානමය රෝග තත්වයන් පිළිබඳ වත් සති 11ක පමණ කාලයෙ දී ම දැන ගන්න පුළුවන්.

nifty


කලාතුරකින් ගර්භාෂයට සිහින් කටුවක් ඇතුල් කර සිදු කරන ඇම්නියොසෙන්ටෙසිස් නම් පරීක්ෂණය දරුවාගේ අසාමාන්‍ය තත්වයන් හඳුනා ගන්න සිදුකරනව. මෙම පරීක්ෂණයෙනුත් දරුවාගේ ලිංගය හඳුනා ගන්න හැකියාව තිබෙනව.

  Save Save
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON