Results for Tag: Pregnancy (43)
ගර්භණී ඔබ සාමාන්‍ය දරු උපතකට සූදානම් වන විට අවශ්‍ය උපදෙස්
මව් කුස තුල සිටින බිලිඳා බිහි වන දිනය තෙක් ඔබ නොඉවසිලිමත්ව බලා සිටිනව. ඒ වගේම මෙම ක්‍රියාවලිය ගැන බියකුත් දැනෙනව ඇති. මෙම ලිපියෙන් අපි සාමාන්‍ය දරු ප්‍රසූතියක් වෙන හැටි ගැනයි තොරතුරු ගෙන එන්නේ. ගර්භාෂය තුල වැඩෙන දරුවා මෙලොව එලිය දකින්නට ඇති ස්වභාවික ක්‍රමය සාමාන්‍ය දරු ප්‍රසූතියයි. එමෙන්ම ලෝකයේ දියුණු රටවල නවතම ප්‍රවණතාවය වෙන්නේ වැඩි වැඩියෙන් ස්වභාවික දරු උපත් සඳහා යොමු වීමයි. දරුවා ස්වභාවයෙන් ම මෙම ක්‍රියාවලියට සූදානම්. එයට අවශ්‍ය ඔබේ සහයෝගය නිසි ලෙස ලබා දීමෙන් නිරෝගී දරුවෙකු බිහි කිරීමේ හැකියාව ලැබෙනව. සාමාන්‍ය දරු ප්‍රසූතියක ඇති විශාලතම වාසිය වෙන්නේ මවට සැත්කමක් අවශ්‍ය නොවීම. එම නිසා ප්‍රසූතියෙන් පසුව ඇයට ඉතා ඉක්මනින් සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදීමටත් දරුවා බලා ගැනීමටත් හැකියාව ලැබෙනව සැත්කමකින් පසුව ඇතිවෙන අධික වේදනාව, තුවාල පැසවීම, කැලැල් ඇතිවීම වැනි සංකූලතා මේ නිසා ඇති වෙන්නෙ නැහැ. දරුවා ප්‍රසූතිය සඳහා සූදානම් වීමේ දී පෙනහළු වල ඇති තරල ඉවත් වී ඉපදුණු වහාම හොඳින් හුස්ම ගැනීමේ හැකියාව ලැබෙනව. එම නිසා දරුවාට මවු කිරි ඉරීමටත් පහසු වෙනව. මෙය මව සහ දරුවා අතර ආරම්භයේ දීම හොඳ බැඳීමක් ඇති කිරීමට හේතු වෙනව. දරු ගැබට මාස 7ක් පමණ වෙන විට ඔබ දරු ප්‍රසූතියට කල් තියා සූදානම් වෙන්න. දරු ප්‍රසූතියට රෝහල් ගත වීමට අවශ්‍ය සියළුම බඩු බාහිරාදිය එක බෑගයක දමා කලින් සූදානම් කර තැබීම ඉතා වැදගත්. එවිට හදිසි අවස්තාවකදී කිසිවක් අමතක වෙන්නේ නැහැ. ගර්භණී මවක් ප්‍රසූතියට ආසන්න වන විට දරුවාගේ හිස පහලට හැරී සිටින්නේ. අවසාන සතිය පමණ වන විට දරුවාගේ හිස ශ්‍රෝණි කුහරය තුලට ගමන් කරන අතර බොහෝ විට මුහුණ පිටුපසට හැරී පිහිටන්නේ. මේ කාලයේ ගර්භාෂය සංකෝචනය වීමට පෙර හුරුවක් වගේ වරින් වර උදරයේ සහ කොන්දේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්. මෙම වේදනාවන් ඇතිවෙන වාර ගණන වැඩි වන විට ඔබට දැන ගන්න පුළුවන් දරු ප්‍රසූතිය ආසන්න වී ඇති බව. ඒ සමග යෝනි මාර්ගයෙන් සුළු රුධිර වහනයක් සහ ස්‍රාව පිටවීමක් සිදු වෙන්න පුළුවන්. එවිට ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා වෙත යොමු වීම සුදුසුයි. ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ පසු වෛද්‍ය වරයා ඔබව පරීක්ෂා කර බලනව. මෙම පරීක්ෂාවෙන් අනතුරුව දරුවාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීමට කියන පරීක්ෂණය සිදු කරනව. එය සාමාන්‍ය නම් වේදනාව වැඩි වී සාමාන්‍ය ලෙස ප්‍රසූතියට සූදානම් වෙන තෙක් යම් කිසි කාලයක් රෝහලේ ගත කිරීමට සිදු වෙනව. වේදනාව වැඩි වෙන විට වෛද්‍ය වරයා යෝනි පරීක්ෂාවක් කර ගැබ් ගෙල විවෘත වීම ආරම්භ වී ඇති දැයි පරීක්ෂා කර බලනව. එසේ නම් සූතිකාගාරය වෙත යොමු කිරීමක් සිදු වෙනව. මේ අවස්තාවේදී සුදුසු පරිදි ඔබට වේදනා නාශක ඖෂධ ලබා දීම සිදු කරනව. වේදනා නාශක ලබා ගත හැකි ආකාර කිහිපයක් තිබෙනව. ඔබේ රෝහලේ ඇති පහසුකම් අනුව, වේදනා නාශක පෙති ලෙස, නික්ෂේපණයක් ලෙස, එපිඩියුරල් ක්‍රමයට කොන්දට විදින ඖෂධ ලෙස හෝ ආශ්වාස කරන වායුවක් ලෙස ලබා ගැනීමට හැකියි. ප්‍රසූත වේදනා ඇති වෙන විට හුස්ම ගැනීම පාලනය කිරීමේ වේදනාවේ ත්‍රීවතාවය අඩු කර ගන්න පුළුවන්. මෙය Breathing exercises ලෙස හඳුන්වන අතර කලින් එම ව්‍යායාම පුහුණු කිරීම දරු ප්‍රසූතිය පහසු කර ගැනීම උපකාරී වෙනව. සූතිකාගාරය තුල දී දරුවාගේ හෘද ස්පන්දය නිරීක්ෂණයට ලක් කරන අතර ගැබ් ගෙල විවෘත වී දරුවා පහලට එන ආකාර පැය 4කට වරක් සිදු කරන යෝනි පරීක්ෂණ මගින් නිරීක්ෂණය කරනව. ඊට අමතර ඔබේ සෞඛ්‍ය තත්වය, නාඩි, රුධිර පීඩනය වේදනාව ඇති වෙන වාර ගණන ආදියත් නිරීක්ෂණය කරනව. එහිදී ඔබට අවශ්‍ය පරිදි නැවත වේදනා නාශක ලබා දීමත් සිදු කරනව. දරු ප්‍රසූතිය ආසන්න වෙන විට දරුවාගේ හිස යෝනි මාර්ගයේ පහලටම පැමිණෙනවා. මේ අවස්ථාවේ දී පුහුණු පවල් සෞඛ්‍ය සේවිකාවක් හෝ වෛද්‍ය වරයා ඔබට දරු ප්‍රසූතිය සඳහා උදව් කරනව. දරුවා බිහි වීමට අවශ්‍ය පරිදි ඔබට තැටමීමට ඔවුන් උපදෙස් දේවි. ඒ වගේම දරුවාගේ හිස එලියට ඒමට ආසන්න වන විට තැටමීම පාලනය කිරීමටත් අවශ්‍යයි. එවිට වෛද්‍ය වරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් මෙම ක්‍රියාවලිය ඔබටත් දරුවාටත් ආරක්ෂාකාරී ලෙස සිදු කර ගන්න හැකියාව ලැබෙනව. සමහර අවස්ථාවල දරුවා එළියට පැමිණීම ප්‍රමාද වෙන විට විටිපිය කැපුමක් යෙදීමට සිදු වෙනව. මෙය හිරිවැටීමට ඖෂධ ලබා දී සිදු කල යුතු වෙන්නේ. එවිට දරු ප්‍රසූතිය පහසු වෙනව. දරුවා එළියට පැමිණි විට ඔබට ගර්භාෂයෙන් රුධිර වහනය වළක්වා ගන්න නික්ෂේපණ ඖෂධයක් ලබා දෙනව. සමහර විට මෙම ඖෂධය නිසා ඕක්කාරය වමනය වැනි අතුරු ආබාධ ඇතිවිය හැකියි. එසේ වුව හොත් ඒ සඳහා සුදුසු පරිදි ප්‍රතිකාර ගත හැකියි. දරුවා බිහි වූ පසු දරුවා වැදෑමහට සම්බන්ධ වී ඇති පෙකණි වැල කපා දරුවා ඉක්මනින් පිරිසිදු කර ඔබට මවුකිරි දීම ආරම්භ කිරීමට ලබා දෙනව. ඒ අවස්ථාවේදීම මවුකිරි දීම ආරම්භ කිරීම ඉතා ම වැදගත්. ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඉවත් කිරීම සිදු කරන අතර ඉන් පසු යෝනි මාර්ගය අවට ඉරීමක් සිදු වී ඇති දැයි පරීක්ෂා කරනව. එසේ ඉරීමක් ඇති නම් හෝ කැපුමක් යොදා ඇති නම් එය දිය වන මැහුම් යොදා ගෙන හිරි වැටීම යටතේ මැසීම වෛද්‍ය වරයෙකු විසින් සිදු කරනව. ඉන් පසු ඔබට දරුවා සමග දිගටම කාලය ගත කිරීමට හැකි අතර මුල් පැය දෙක තුල වරින් වර පරීක්ෂා කර බැලීම සිදු කරනව. පැය දෙකකින් පසුව සූතිකාගාරයෙන් පිටතට පැමිණිය හැකි අතර දවසක් පමණ දරුවා සමග රෝහලේ ගත කිරීමට සිදු වෙනව. ඒ කාලය තුල දරුවාගේ සහ ඔබේ සෞඛ්‍ය තත්වය යහපත් නම් පසු දින රෝහලෙන් බැහැරව යාමට ඔබට හැකියි. සාමාන්‍ය දරු ප්‍රසූතිය අපහසු වෙන සමහර අවස්ථාවල දී ඔබට සිසේරියන් සැත්කමක් අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කරන්න පුළුවන්. මේ ගැන විස්තර වෙනම ලිපියක සඳහන් වෙනව.    ..
ඩෙංගු වගේ මදුරුවන්ගෙන් බෝවෙන සිකා වෛරස රෝගය මවු කුස තුල සිටින දරුවන්ට හානිකරන හැටි.
මේ දවස්වල ලෝකයේ රටවල් ගණනාවක වසංගතයක් ලෙස පැතිර තිබෙන සිකා වෛරස ආසාදනය ගැන ඔබ අසා ඇති. ඇත්තටම මෙය දරුණු රෝග තත්වයක් ද? ගැබිනි මවකට හෝ ගර්භණී වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට මේ රෝගය වැලඳුනොත් මොකද වෙන්නේ? මේ ගැන දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ. සිකා වෛරසය ආසාදනය කියන්නේ ඩෙංගු උණ වගේ වෛරසයක් මගින් බෝ වෙන උණ රෝගයක්. මෙම වෛරසය ශරීර ගතවී දින කිහිපයක් ගත වෙනව රෝග ලක්ෂණ ඇතිවෙන්න. ඒ වගේම සමහර විට මින් කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. උණ, හන්දිපත් වේදනාව වැනි ඩෙංගු උණ රෝගයේ ඇතිවෙන රෝග ලක්ෂණ තමයි මෙයිනුත් ඇති වෙන්නේ. ඒ වගේම මේ රෝගය බෝ වෙන්නේ ඊඩිස් ගණයේ මදුරුවෙකු මගින්. ඊට අමතරව රෝගය ඇති පිරිමි කෙනෙක් සමග ලිංගික සංසර්ගයේ යෙදීමෙන් කාන්තාවකට මෙම රෝගය බෝවිය හැකියි. ගර්භණී මීයන්ට මෙම වෛරසය ආසාදනය කර කරන ලද පරීක්ෂණයක දී කුස තුල සිටින පැටවුන්ට ඉන් දරුණු සංකූලතා ඇති කරන බව සොයා ගෙන තිබෙනව. ඒ නිසා ඔබ ගර්භණී වීමට අපේක්ෂා වෙන් සිටී නම් මේ රෝගය ඇති රටවලට ගමන් කිරීමෙන් වැළකීම වැදගත්. බ්‍රසීලය, කොලොම්බියාව, දකුණු සහ මධ්‍යම ඇමරිකානු රටවල්, කැරිබියන් දූපත් පිලිපීනය, තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් මේ රෝගය සඳහා අවදානම් රටවල් ලෙස සලකනව. දැනට මෙම රෝගය ලංකාවෙන් වාර්තාවී නැහැ. නමුත් මෙය පැතිරවිය හැකි මදුරුවන් ලංකාවේ සිටින නිසා රෝගය ලංකාවට පැතිරුනොත් එය පාලනය කිරීම තරමක් අපහසු වෙනව. රෝගයෙන් බේරී සිටීමට නම් දැනට රෝගය ඇති රටවලට යෑමෙන් වැළකීම සහ මදුරුවන් බෝවීම අවම කිරීම වැදගත් වෙනව. ඒ වගේම මදුරු දෂ්ට වළක්වා ගන්න ක්‍රියා කිරීමත් සුදුසුයි. ගර්භණී මවකට මේ රෝගය ඇති වුන හොත් ඉන් ඇයට දරුණු සංකූලතා ඇති වෙන්නේ නැහැ. නමුත් වැදෑමහ හරහා කුස තුල සිටින දරුවාට මේ රෝගය පැතිරීමට අවදානමක් තිබෙනව. ඒ වගේ අවස්ථාවක දරුවාට දරුණු සංකූලතා ඇතිවෙනව. ගබ්සා වීම, දරුවාගේ මොළය වැඩීම අඩපනවී හිස කුඩා වීම (Microcephaly) වැනි තත්ව මේ රෝගය නිසා වාර්තාවී තිබෙනව. Microcephaly කියන තත්වය ඇති වන දරුවන්ගේ මොළයේ වර්ධනය අඩු නිසා සාමාන්‍ය දරුවෙකු වගේ මානසික වර්ධනයක් සිදු වෙන්නෙ නැහැ. ඒ වගේම ඔවුන්ට අපස්මාරය වැනි ස්නායු ආබාධ ඇතිවීමටත් ඉඩකඩ වැඩියි. මේ තත්වය ගර්භණී කාලයේ ස්කෑන් පරීක්ෂණ මගින් සොයා ගැනීමට හැකියාව තිබෙනව. මෙම රෝගයට බෙහෙතක් හෝ එන්නතක් දැනට සොයා ගෙන නැහැ. රෝගය ඇති වුව හොත් පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම, අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කිරීම සහ විවේක ගැනීම තමයි කල යුතු ප්‍රතිකාර වෙන්නේ. ගර්භණී මවක් අවදානම් රටක සිට ලංකාවට පැමිණිය හොත් පැමිණ දින 5ක් ඇතුලත රජයේ රෝහලකට ගොස් මේ තත්වයට අවදානමක් ඇතිදැයි පරීක්ෂා කරවා ගන්න පුළුවන්. මේ සඳහා පරීක්ෂණ පහසුකම් දැනට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තිබෙනව. Save..
බබා දැඟලීම අඩු වුනොත් මොකද කරන්නේ?
මවු කුස තුල සිටින දරුවා නිරෝගී දැයි මවකට දැන ගැනීමට තිබෙන එකම ක්‍රමය තමයි බබා දඟලන එක. බොහෝ මව්වරු මේ ගැන අවධානයෙන් ඉන්නේ. හදිසියේ බබා දඟලන එක නැවතුනොත්, එහෙම නැති නම් බබා දඟලන වාර ගණන අඩු වුනොත් මොකද කරන්නෙ? ඒ ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. මවු කුස තුල දරුවා දැඟලීම ඉතාමත් කුඩා කාලයේ සිට පටන් ගන්නව. මුල්ම ස්කෑන් පරීක්ෂණය කරන අවස්ථාවේ පවා මෙය වෛද්‍ය වරයෙකුට දැක ගන්න පුළුවන්. නමුත් දරුවා ඉතා කුඩා නිසා මෙම චලන ගර්භාෂයේ බිත්තිය සහ උදර බිත්තිය හරහා මවට දැනෙන්නේ නැහැ. ක්‍රම ක්‍රමයෙන් දරුවා වැඩෙන විට මවට චලන දැනෙන්නට පටන් ගන්නව. මුලින්ම බබා දඟලන බව මවට දැනෙන්න පටන් ගනිද්දි දරු ගැබට සති 20ක් පමණ වෙනව. නමුත් දෙවන තුන් වන දරුවා බලාපොරොත්තු වෙන මවු වරුන්ට මීට වඩා කලින් වුවත් චලන දැනෙන්න පටන් ගන්නව. මෙයට හේතුව මුලින්ම දරුවාගේ චලනය කුමක් වගේ ද යන අවබෝධය ලැබෙන්න කාලයක් ගත වෙන නිසා. සෑම දරුවෙක් ම එක වගේ නැහැ. ඒ නිසාම එක එක දරුවා චලනය වෙන ආකාරයත් වෙනස්. නමුත් කාලයත් සමග මවට ඇගේ දරුවා චලනය වෙන සාමාන්‍ය රටාව හඳුනා ගන්න පුළුවන්. දරුවා නිරෝගී ව සිටී නම් මෙම රටාව දිගටම පවතිනව. යම් අවස්ථාවක දරුවා පුරුදු පරිදි චලනය වෙන්නේ නැහැ කියල දැනුනොත් මොකද කරන්නේ? මෙයට හේතු මොනවාද? බොහෝ විට බබා දැඟලීම අඩුවෙන්නේ දරුවා මව්කුස තුල නිදා සිටින විට. සමහර දරුවන් වැඩි වෙලාවක් නිදා ගන්න අවස්ථා තිබෙනව. නමුත් කලාතුරකින් දරුවාගේ යම් කිසි අසනීප තත්වයක් නිසාත් දැඟලීම අඩු වෙන්න පුළුවන්. මවු කුස තුල දරුවා මිය යන අවස්ථාවක මුලින්ම ඇතිවෙන ලක්ෂණය තමයි මවට චලන නො දැනීම. මේ නිසා තමයි ගර්භණී මවු වරුන්ට බබා දඟලන එක ගැන අවධානයෙන් සිටින ලෙස අවවාද කරන්නේ. සමහර විට මෙය ගණන් කර වගුවක සටහන් කරන ලෙසත් ඔබේ වෛද්‍ය වරයා අවවාද කරාවි. මෙලෙස සටහන් කිරීමේදී හෝ ඔබේ අත්දැකීමට අනුව බබාගේ දැඟලීම අඩු නම් ඉක්මනින් රෝහලකට ගොස් වෛද්‍ය වරයෙකු හමු විය යුතුයි. මෙහි දී දරුවාගේ හෘද ස්පන්දනය CTG පරීක්ෂණයක් මගින් පරීක්ෂා කර බැලීම සිදුකරනව. එම පරීක්ෂණය සාමාන්‍ය නම් බොහෝ දුරට දරුවා නිරෝගී යැයි කියන්න පුළුවන්. ඒ නිසා නැවත ඔබට බබාගේ දැඟලීම දැනෙන විට රෝහලෙන් බැහැර යාමට හැකියාව තිබෙනව. සමහර අවස්ථාවල ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය වෙනව. එමගින් දරුවා චලනය වෙන ආකාරය වෛද්‍ය වරයාට දැක ගන්න පුළුවන්. ඊට අමතරව දරුවාගේ වර්ධනය සහ පෙකණිවැල තුලින් සිදු වන රුධිර ගමනාගමනය පිළිබඳ වත් මෙහි දී පරීක්ෂා කර බලන්න පුළුවන්. මෙම පරීක්ෂණ වල යම් අසාමාන්‍යතාවක් හඳුනා ගත හොත් කලින් දරුවා බිහි කිරීමට නිර්දේශ කරන්න පුළුවන්. දරු ප්‍රසූතියට ආසන්න වෙන විට ගර්භාෂය වරින් වර තද වීමට ලක් වෙනව. මෙය සිදු වෙන්නේ ගර්භාෂයේ මාංශ පේශී සංකෝචනය වීම නිසා. ඒ වගේ අවස්ථාවක බබා දැඟලුවත් එය මවට නො දැනෙන්න ඉඩ තිබෙනව. ඒ වගේම දරුවා වැඩි වේලාවක් නිදා සිටී නම් ඒ කාලයේ චලනයන් මවට දැනෙන්නේ ඉතා අඩුවෙන්. මේ වගේ බොහෝ අවස්ථාවල දරුවාගේ චලන අඩුවෙන් දැනෙන්නේ රෝග තත්වයක් නිසා නොවෙයි. ඒ නිසා පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබට යම් සැකයක් ඇති නම් ඉක්මනින් නාරිවේද වෛද්‍ය වරයා හමු වෙන්න එසේ නැතිනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. ..
බබා හැරිල නැති නම් මොකද වෙන්නේ? Breech presentation in late pregnancy
ගැබිනි මවක් සැම විටම තම දරුවා ගැන සැලකිලිමත් වෙනව. සායනයක දී බබා හැරිල නැහැ කියල කිව්වොත් බොහෝ දෙනා කලබල වෙනව. මොකක්ද මේකෙ තේරුම? කොහොමද බබා හැරිල ඉන්න ඕන කියන කරුණු ගැන අපි මේ ලිපියෙන් සලකා බලමු.සාමාන්‍ය දරු ප්‍රසූතියට ස්වභාවිකවම මවගේ ශ්‍රෝණි කුහරය, ප්‍රජනක පද්ධතිය සහ දරුවාගේ හිස හැඩගැසී තිබෙන්නේ. මේ නිසා ප්‍රසූතිය සඳහා පහසුම පිහිටීම වෙන්නේ දරුවාගේ හිස පහලට හැරී මුහුණ පිටුපසට හෝ පැත්තට හැරෙන ලෙස සිටීමයි. මුල් කාලයේ මවු කුස තුල දරුවා ඉතාමත් ක්‍රියාශීලීයි. ඒ වගේම ගර්භාෂය තුල විශාල ඉඩක් දරුවාට තිබෙනව. ඒ නිසා දරුවාගේ පිහිටීම චලන සමග වරින් වර වෙනස් වෙන්න පුළුවන්. නමුත් දරු ගැබට සති 34ක් පමණ වෙන විට දරුවා වර්ධනය වී ඇති නිසා නිදහසේ චලනය වෙන්න ඉඩ මදි වෙනව. බොහෝ විට මේ කාලයේ දරුවා සිටින්නේ හිස පහලට සිටින ආකාරයට. එසේ නොමැති නම් අපි බබා හැරිල නැහැ කියල කියනව.එහෙම වුනා ම මොකද කරන්න ඕන? මෙය මුලින් ම ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගත යුතුයි. සාමාන්‍යයෙන් සති 28 -34 අතර ස්කෑන් පරීක්ෂණයකින් බබා හැරිල නැහැ කිව්වොත් ඒ ගැන එතරම් කලබල වෙන්න අවශ්‍ය නැහැ. තව විනාඩි කිහිපයක් තුල වුවත් දරුවා නැවත හැරෙන්න ඉඩකඩ තිබෙනව. නමුත් ඊට පසුව දරුවා වර්ධනය වී ඇති නිසා නිදහසේ හැරෙන්න ගර්භාෂය තුල ඉඩ කඩ ප්‍රමාණවත් නැහැ. සති 34ට පසුව ස්කෑන් පරීක්ෂණයකින් බබා හැරිල නැති බව පැවසුවහොත් සති 36 - 37 අතර කාලයේ නැවත ස්කෑන් පරීක්ෂාවක් කිරීම අවශ්‍යයි. මේ වන විට 96%ක් පමණ දරුවන් නිසි පරිදි හිස පහලට සිටින ලෙස හැරී සිටින්නේ.එසේ නැතිනම් නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු සමග මෙම දරුවා බිහි කල හැකි ආකාරය සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්න පුළුවන්. මේ සඳහා ක්‍රම 3ක් තිබෙනව.1. ගර්භාෂය තුල දී දරුවා හැරවීම (External cephalic version)පළපුරුදු වෛද්‍ය වරයෙකුට විනාඩි කිහිපයක දී දරුවාගේ පිහිටීම හිස පහලට සිටින ලෙස හැරවීමට හැකියාව තිබෙනව. නමුත් මෙය සිදු කල යුත්තේ රෝහල් ගතවයි. ඉන් පසු දරුවාගේ හෘද ස්පන්දනය සහ පිහිටීම පරීක්ෂා කර බැලිය යුතුයි.2. තට්ටම පහලට සිටින ලෙස දරුවා බිහි කිරීම (Vaginal breech delivery)සාමාන්‍ය ලෙස ප්‍රසව වේදනා ඇතිවී ප්‍රසූතියට සූදානම් නම් සිටින ඉරියව්වේ ම දරුවාට පිටතට පැමිණීමට හැකියාව සැලසිය හැකියි. මේ සඳහා පුහුණු අත්දැකීම ඇති වෛද්‍ය වරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සෑම රෝහලකම සිටිනව.3. සිසේරියන් සැත්කමසමහර අවස්තා තිබෙනව දරුවා හැරවීම හෝ තට්ටම පහලට සිටින ලෙස බිහි කිරීම අවදානම් වෙන. එවිට ඔබේ වෛද්‍ය වරයා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීම නිර්දේශ කරාවි. මෙය සති 38-39 අතර කාලයේ කලින් තීරණය කල සැත්කමක් ලෙස සිදු කල හැකියි.සාමාන්‍ය දරු ප්‍රසූතියක දී හිස පහලට සිටින සේ දරුවා බිහි වීමට වඩා තට්ටම් පහලට සිටින සේ බිහිවීමේදී සංකූලතා ඇතිවෙන්න තිබෙන ඉඩකඩ ටිකක් වැඩියි. ඒ නිසා හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂය තුල දරුවා හරවන අවස්ථාවක හෘද ස්පන්දනයේ වෙනස් කම් ඇති වුව හොත් හදිසි සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඉඩක් තිබෙනව. ..
ගර්භාෂයනේ පිටත දරු ගැබ පිහිටන අවදානම් තත්වය ගැන (Ectopic pregnancy)
ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග එකතු වීමෙන් තමයි දරු ගැබක් හට ගන්නේ. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිදු වෙන්නේ කාන්තාවගේ පැලෝපීය නාලය තුල. එමගින් ඇතිවෙන කලලය පැලොපීය නාලය දිගේ ගමන් කර ගර්භාෂය තුල තැන්පත් වෙනව. මෙලෙස දරුවෙකු පිළිසිඳ ගත් පසු ප්‍රසූතිය දක්වා මාස 10ක් වර්ධනය වෙන්නේ ගර්භාෂය තුලයි. ගර්භාෂයට මෙම කලලයේ වර්ධනයට සහ ආරක්ෂාවට අවශ්‍ය සියලු ම පහසුකම් සැපයීමේ හැකියාව තිබෙනව. නමුත් දරු ගැබ ගර්භාෂයෙන් පිටත තැන්පත් වෙන අවස්ථා තිබෙනව. සෑම ගැබ් ගැනීම් 100කට එකක් පමණ මෙවැනි ගර්භාෂයෙන් පිටත පිහිටන අතර ඒවා Ectopic pregnancy ලෙස හඳුන්වනව. මෙවැනි ගර්භාෂයෙන් පිට පිහිටන දරු ගැබක් බොහෝ විට පැලෝපීය නාලයන් තුලයි තැන්පත් වෙන්නේ. නමුත් ඩිම්බ කෝෂ මතුපිට, උදර කුහරයේ බිත්ති මත හෝ වෙනත් අවයවයක් මත මෙවැනි දරු ගැබක් තැන්පත් වෙන අවස්ථා දක්නට ලැබෙනව. මෙම දරු ගැබකට සාමාන්‍ය දරුවෙකු ලෙස වැඩීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම ප්‍රතිකාර ක්‍රම හෝ ශල්‍යකර්ම මගින් මෙය නැවත ගර්භාෂය තුල තැන්පත් කිරීමට හැකියාවක් නැහැ. මෙම කලලය වර්ධනය වීමට උත්සාහ ගන්නා විට එයට පැලෝපීය නාලය තුල ප්‍රමාණවත් ඉඩක් නොමැති නිසා පැලෝපීය නාලය පුපුරා එමගින් රුධිර වහනයක් ඇතිවිය හැකියි. මෙම රුධිරය උදර කුහරය ඇතුළතට එකතු වෙන නිසා පිටතට පෙනෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් මේ තත්වය හඳුනා ගෙන ශල්‍යකර්මයකට නොවුන හොත් අභ්‍යන්තර රුධිර වහනය නිසා මව මියයාමට පවා හැකියාවක් තිබෙනව. මෙවැනි ගැබ් ගැනීමක් හඳුනා ගන්න තිබෙන ප්‍රධාන රෝග ලක්ෂණය තමයි මව ගර්භණී බව දැන ගෙන මුල් සති කිහිපය තුල හෝ සමහර විට ගර්භණී බව දැන ගැනීමට පෙරදීම ඇති වන අධික වේදනාව. උදර කුහරය තුල රුධිර වහනයක් වන විට මවට අධික වේදනාවක් දැනෙනව. මෙම වේදනාව යටි බඩේ මෙන්ම සමහර විට දකුණු උරහිස මතද දැනෙන්නට පුළුවන්. ඒ සමග සමහර විට යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් ඇතිවෙන්න පුළුවන්. අභ්‍යන්තර රුධිර වහනයක් නිසා හදිසියේ ක්ලාන්ත වී ඇද වැටීම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි. මෙවැනි රෝග ලක්ෂණ ඇති නම් ඉතා ඉක්මනින් පහසුකම් සහිත රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගත යුතුයි. එහි දී ගර්භණී බව කලින් තහවුරු කර නැතිනම් ඒ සඳහා මුත්‍රා පරීක්ෂාවක් සිදු කරනව. ඉන් පසු ස්කෑන් පරීක්ෂණයකින් දරු ගැබ පිහිටි ස්ථානය සොයා බලනව. මෙහි දී ගර්භාෂය තුල කලලයක් නැති බව, අභ්‍යන්තර රුධිර වහනය, පැලෝපීය නාල තුල හෝ වෙනත් ස්ථානයක පිහිටන කලලය වැනි ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් වෙනව. මෙවැනි දරු ගැබක් මවගේ ජීවිතයට පවා හානි කර වෙන නිසා මේ සඳහා ඉක්මනින් ප්‍රතිකාර කල යුතු වෙනව. රුධිරයේ හෝමෝන මට්ටම, ස්කෑන් පරීක්ෂණ වාර්තා ආදිය සලකා බලා විශේෂඥ වෛද්‍ය වරයා මෙයට ප්‍රතිකාර කල හැකි සුදුසු ම ආකාරය පිලිබඳව ඔබට උපදෙස් ලබා දේවි. සමහර විට කලලය ගබ්සාවී ඇති නම් එය ඉබේම කුඩා වන නිසා ශල්‍යකර්මයකින් තොරව ප්‍රතිකාර කල හැකියි. සමහර විට කලලය ඉතා කුඩා නම් එය හැකිළීමට දිය හැකි ප්‍රබල පිළිකා නාශක ඖෂධයක් තිබෙනව. මේ සමග වරින් වර රුධිර හෝමෝන මට්ටම් පරීක්ෂා කර බැලිය යුතුයි. කෙසේ වෙතත් මෙම ප්‍රතිකාර ක්‍රමයන් 100%ක්ම සාර්ථක නොවන අවස්තා තිබෙනව. එවිට හදිසි ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ශල්‍යකර්මයක් මගින් ගර්භාෂයෙන් පිටත පිහිටි දරු ගැබ ඉවත් කිරීම තමයි අනික ප්‍රතිකාර ක්‍රමය. බොහෝ විට මෙය සිදු කරනු ලැබුවේ සිසේරියන් සැත්කමක් කරන ආකාරයේ කැපුමක් යොදා ගනිමින්. නමුත් දැන් ලැපරොස්කොපි ශල්‍යකර්ම ක්‍රමය මගින් ඉතා කුඩා කැපුම් තුනක් පමණක් යොදා විශාල කැළලක් ඇති නො වෙන ආකාරයට මෙම ශල්‍යකර්මය සිදු කිරීමට හැකියාව තිබෙනව. ඔබට මෙවැනි තත්වයක් ඇති බව හඳුනා ගතහොත් ඉක්මනින් ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් ඇතිවිය හැකි හානිය අවම කර ගැනීමට හැකි වෙනව. Save..