Results for Tag: Pregnancy (42)
ගර්භණී සමයේ උදරයේ ඉරිතැලීම් ඇති වෙලාද? Stretch marks in Pregnancy
ගර්භණී කාලයේ දී උදරයේ ඇති වෙන stretch marks සමහර විට බොහෝ කාලයක් නො මැකී තිබෙන්න පුළුවන් නිසා මේවා කාන්තාවකගේ රූපලාවණ්‍යයට ගැට‍ළුවක් විය හැකියි. මෙම කැලැල් ඇතිවීම ගැන සහ ඊට විසඳුම් ගැනයි මේ ලිපියෙන් තොරතුරු ගෙන එන්නෙ. ගර්භණී කාලයේ බබා ටිකෙන් ටික වර්ධනය වීමත් සමග ගර්භාෂය ප්‍රමාණයෙන් විශාල වන විට උදර බිත්තිය ඇදීමට ලක් වෙනවා. මේ නිසා සම මතුපිටට පහලින් ඇති ස්තරයේ ඉරි තැලීමක් මෙසේ stretch mark ලෙස පිටතට පෙනෙනවා. මේ අවස්තාවේදී සමේ කැසීමක් ඇතිවෙන්නත් පුළුවන්. මෙලෙස ඇති වෙන කැලැල් සමහර විට අවපැහැ ගැන්වීමත් දක්නට ලැබෙනව. මෙම කැලැල් වෛද්‍ය විද්‍යාවේ Striae gravidarum ලෙස හඳුන්වන අතර ඒවා ඇතිවීමට අවදානම් ලක්ෂණ ලෙස පහත හේතු හඳුනා ගෙන තිබෙනවා.   මවගේ වයස අඩු වීම තරබාරු බව ගර්භණී සමයේ අධික ලෙස බර වැඩි වීම නිවුන් දරුවන් හෝ බබා ගේ බර වැඩි වීම ගර්භ තරලය වැඩි වීම මෙම හේතු නොමැති වත්, ඕනෑම කාන්තාවකට ගර්භණී කාලයේ stretch marks ඇති වෙන්න පුළුවන්. සමේ ඇතිවෙන  මෙවැනි කැලැල් කාලයත් සමග සෙමින් මැකී යන නමුත් බොහෝ කාන්තාවන් මේ ගැන පසු තැවිලි වෙන නිසා ඒවා ඇති වීමට පෙර වළක්වා ගන්නා ආකාරය ගැන වෛද්‍ය වරුන් ගෙන් විමසනවා. වෛද්‍ය පර්යේෂණ මගින් ස්ථිරව ම stretch marks වළක්වන බවට තහවුරු කර ඇති ඖෂධ තවමත් නොමැති වුවත් මේ සඳහා භාවිතා කල හැකි ආලේපන වර්ග රැසක් දැනට වෙළඳපොළේ තිබෙනවා. Bio oil නම් ආලේපනය සහ cocoa butter අඩංගු ක්‍රීම් වර්ග විවිධ වෙළඳ නාම වලින් ඖෂධ හල් වලින් මිල දී ගැනීමට පුළුවන්. ඔබට සුදුසු ආලේපනයක් ගැන ඔබේ වෛද්‍ය වරයාගෙන් විමසා දැන ගත හැකියි. ගර්භයට සති 20ක් පමණ වන කාලයේ සිට මෙම ආලේපනයක් දිනපතා උදරයේ ආලේප කර සෙමින් සම්බාහනය කිරීම මගින් සම මතුපිට රුධිර වහනය සහ පටක වල ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා stretch marks ඇතිවීම බොහෝ දුරට වළක්වා ගන්න හැකියාව තිබෙනව. Stretch marks ඇති වීමෙන් පසු ඒවා මැකී යාම සඳහාත් මෙම ආලේපන වර්ග භාවිතා කල හැකියි. ඊට අමතරව සමබල ආහාර වේලක් ලබා ගැනීම, දිනපතා ව්‍යායාම වල යෙදීම, සහ ගැබ් ගැනීමට පෙර සිරුරේ බර නිසි මට්ටමට පවත්වා ගැනීමත් stretch marks ඇතිවීම අවම කර ගන්න උපකාරී වෙනවා.      ..
ගර්භණී මවකට වමනය සහ ඕක්කාරය ඇතිවීම
ගර්භණී මව්වරුන්ගෙන් සියයට 70 කට පමණ මුල් මාස කිහිපය තුල වමනය සහ ඕක්කාරය ඇතිවීම සාමාන්‍යයෙන් සිදු වෙනව. ඒ නිසා අතීතයේ දී මෙය ගර්භණී බව හඳුනා ගන්න රෝග ලක්ෂණයක් ලෙස සලකනු ලැබුව. මේ නිසා මවට අපහසුතාවයක් ඇති වෙන නමුත් බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. වමනය ඕක්කාරය ඇතිවීම නිරෝගී ගර්භණී භාවයක ලක්ෂණයක් ලෙස පවතින මතය තරමක් දුරට සත්‍යයක්. මෙම රෝග ලක්ෂණ ඇති මවකට ගබ්සාවක් සිදු වීමට ඇති අවදානම තරමක් අඩු බව පරීක්ෂණ මගින් සොයා ගෙන තිබෙනව. ඕක්කාරය සහ වමනය ඇතිවෙන ආකාරය හරියටම පැහැදිලි නැහැ. නමුත් වැදෑමහ මගින් නිපදවන Human Chorionic Gonadotropin (hCG) නම් හෝමෝනය මෙයට හේතුව ලෙස සලකනව. මෙම හෝමෝන මට්ටම වැඩි වෙන නිවුන් දරුවන්, Molar pregnancy වැනි තත්වයන් අති විට වමනය සහ ඕක්කාරය සාමාන්‍ය ගර්භණී මවකට වඩා වැඩියෙන් දක්නට ලැබෙනව. ගර්භණී මවකට මුල්වරට සති 8දී පමණ වමනය ඕක්කාරය ඇති වෙන්න පුළුවන්.  සාමාන්‍යයෙන් දරු ගැබට සති 16 -18 පමණ කාලය වන විට මෙම රෝග ලක්ෂණ නැතිව යනව. කෙසේ වෙතත් සති 12කට පසු පලමු වරට මෙවැනි රෝග ලක්ෂණයක් ඇති වීම සාමාන්‍ය නැහැ. එසේ වුවහොත් එය වෙනත් රෝගයක ලක්ෂණයක් දැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. මේ තත්වය නිසා බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. නමුත් වමනය ඉතා දරුණු ලෙස පවතින Hyperemesis Gravidarum නම් රෝග තත්වය නිසි ලෙස පාලනය නොකල හොත් ඉන් දරු ගැබට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා වමනය නතර නොවන අවස්තා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. මෙවැනි අවස්තාවක මවට සාමාන්‍ය ආහාර ගැනීම අපහසු වෙන අතර අධික වමනය සමග පහත රෝග ලක්ෂණ ඇතිවේනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. මුත්‍රා වල වර්ණය තද පැහැ වීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතා අඩු වීම. වමනය සමග ලේ පිටවීම උදරයේ අධික වේදනාවක් ඇති වීම. උණ. නැවත නැවත නතර නොවී වමනය කිරීම. ක්ලාන්ත ගතිය. ගර්භණී කාලයේ ඕක්කාරය දැනීම සහ ඉඳ හිට වමනය අති වීම ඉතාමත් බහුල තත්වයක්. ඒ සඳහා කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් ඔබේ එදිනෙදා කටයුතු වලට බාධා වෙන පරිදි රෝග ලක්ෂණ පවතී නම් මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. දරු ගැබට කිසිම හානියක් නොවන පරිදි මෙම රෝග ලක්ෂණ වලින් සහනය ලබන්න පුළුවන් ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ප්‍රතිකාර වලට අමතරව මෙම රෝග ලක්ෂණ ඇති වීමට හේතු වෙන සාධක (උදා. සමහර ආහාර වල සුවඳ) වලින් ඈත්ව සිටීම, මානසික ආතතියෙන් මිදීම වැනි දේ  රෝග ලක්ෂණ පාලනය සඳහා වැදගත් වෙනව. මෙම කාලය තුල ඔබට සාමාන්‍ය ලෙස ආහාර ගැනීම අපහසු වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ඉන් ඔබට හෝ දරුවාට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඔබට පුළුවන් පරිදි සැහැල්ලු ආහාරයක් ගෙන රෝග ලක්ෂණ පහව යන තෙක් සිටීම සුදුසුයි...
ගර්භණී සමයේ ලිංගික එක්වීම අවදානම්ද?
ගර්භණී මවක් තම කුස තුල සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැම විටම සැලකිලිමත් වෙන නිසා දරු ගැබට අහිතකර විය හැකි සියළුම දේ වලින් වැලකී සිටීමට උත්සාහ කරනව. ඒ නිසා මේ කාලය තුල ලිංගික එක්වීම අහිතකර ද යන ගැට‍ළුව නිතරම ‍වෛද්‍ය වරුන්  වෙත යොමු වෙනව. මේ කාලය තුල මව සහ පියා ලඟින් ඇසුරු කිරීම මවගේ මානසික තත්වයට මෙන්ම දරුවාගේ වර්ධනය සහ විකසනයටත් වැදගත් වෙනව. ගර්භණී වීමත් සමග කාන්තාවකට ඇතිවෙන ඕක්කාරය, පියයුරුවල තද ගතිය, මානසික වෙනස්කම් වැනි රෝග ලක්ෂණත් සමග මුල් මාස කිහිපය තුල ලිංගික ආශාවන් අඩු වීම සාමාන්‍ය තත්වයක්. ඉන් පසු යම් යම් අවස්තා වලදී ලිංගික ආශාවන් අඩු හෝ සාමාන්‍ය වෙන්න පුළුවන්. ගර්භාෂය තුල දරුවා සිටින්නෙ තරල පිරුණු අවකාශයක් වන water bag එක ඇතුළත නිසා පිටත ඇතිවෙන කම්පනයන් සහ ගැස්සීම් වැනි දේ දරුවාට දැනෙන්නෙ ඉතා සුළු වශයෙන්. ඒ වගේම ගැබ් ගෙල සම්පූර්ණයෙන් වැසී ඇති විට water bag එක සහ ගැබ් ගෙල අතර සෙන්ටි මීටර් 2 1/2කට වැඩි දුරක් තිබෙනව. වෙනත් කිසිම සංකූලතාවයක් නිසා වෛද්‍ය වරු ලිංගික එක්වීමෙන් වැළකී සිටීමට ඔබට උපදෙස් ලබා දී නොමැති නම්, ගර්භණී කාලයේ ලිංගික එක්වීම හෝ සුරාන්තයට පත් වීම නිසා දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. නමුත් ලිංගික එක්වීම දරු ගැබට මෙන්ම මවටත් අවදානම් විය හැකි සංකූලතා තත්වයන් තිබෙනව. පහත සඳහන් තත්වයන් ඔබට ඇති බව වෛද්‍ය වරු දැනුම්දී ඇති නම් ලිංගික එක්වීමෙන් වැළකී සිටිය යුතු වෙනව. වැදෑමහ පහතින් පිහිටීම ගර්භණී කාලයේ රුධිර වහනයට අවදානමක් තිබෙන Placenta previa (වැදෑමහ පහතින් පිහිටීම) තත්වය ඇති විට ලිංගික එක් වීම අවදානම්. මේ තත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනා ගන්න පුළුවන්. බොහෝ විට මාස 7ක් පමණ වෙන විට ගර්භාෂය විශාල වීමත් සමග වැදෑමහ ඉහලට ගමන් කරන නිසා මෙම ගැට‍ළුව දිගටම පවතින්නෙ නැහැ. ඒ බව නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගන්නා තෙක් ලිංගික එක්වීමෙන් සම්පූර්ණයෙන් වැලකීම අවශ්‍ය වෙනව. කළලාවාරික පටලය (වෝටර් බෑගය) බිඳී යාම කළලාවාරික පටලය (වෝටර් බෑගය) බිඳී යාමක් සිදුවූ විට ගැබ් ගෙල හරහා දරු ගැබට විෂබීජ ඇතුළු වීමට අවදානමක් තිබෙනව. ඒ නිසා ලිංගික එක්වීම සුදුසු නැහැ. ගබ්සා වීමට හෝ කලින් දරුවා බිහි වීමට අවදානම් තත්වයක් ඇති විට රුධිර වහනය, ගැබ් ගෙල විවෘත වීම, විටින් විට ඇති වෙන වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති විට වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වෙනව. එවැනි අවස්ථාවක ලිංගික එක්වීමෙන් වැලකී සිටීම සුදුසුයි. ගර්භණී කාලය තුල ලිංගික සංසර්ගයේ යෙදීම නිසා සාමාන්‍ය දරු ප්‍රසූතිය පහසු වෙන බවට මතයක් තිබුනත් එහි විද්‍යාත්මක පදනමක් නැහැ. ගර්භණී කාලයේ මව සහ පියා දෙදෙනා ම සහයෝගයෙන් මවගේ මානසික තත්වය ඉතා හොඳින් පවත්වා ගැනීම කුස තුල සිටින දරුවාගේ නිසි වර්ධනයට සහ විකසනයට අත්‍යවශ්‍ය කරුණක්. ගර්භාෂය විශාල වීමත් සමග මව උඩුබැලි අතට සිටීම සුදුසු නැති නිසා ලිංගික එක්වීමේදී වෙනත් පහසු ඉරියව්වක් යොදා ගැනීම අවශ්‍ය වෙන අතර ලිංගික  එක්වීම අහිතකර බවට ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර නොමැති නම් ඉන් දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ...
ගබ්සාවකට පසු නැවත ගැබ් ගැනීමට උපදෙස්.
ගබ්සාවක් කියන්නෙ දරු ඵල අපේක්ෂාවෙන් සිටින සමහර කාන්තාවන් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්. මුත්‍රා පරීක්ෂාව මගින් තහවුරු කර ගන්න සෑම ගැබ් ගැනීම 8කට එක ගබ්සාවක් සිදු වෙනව. ඊට පෙර සිදු වන ගබ්සාවන් කොපමණ දැයි ගණනය කරන්න අපහසුයි. ගබ්සා වීම ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක සඳහන් කලා. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ගබ්සාවකින් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන ඔබට ඒ ගැන අවබෝධයක් ලබා දීමයි. බොහෝ විට ගබ්සාවන් සිදු වෙන්නෙ මුල් මාස තුන ඇතුළතයි. මෙය ස්වභාවික වරනය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. ජීවත් වීමට සුදුසු ජානමය සංයුතියකින් තොරව පිළිසිඳ ගන්නා කලලයන් ස්වභාවිකවම මිය යන අතර එය ඉවත් වීම ගබ්සාවක් ලෙස සිදු වෙනව. එවැනි ගබ්සාවන් වැළැක්වීමට ක්‍රමයක් නැහැ. එකවරක් එලෙස ගබ්සා වීම නැවත නැවත ගබ්සා වීමට හේතු වෙන්නෙ නැහැ. ඒ නිසා ඔබට නැවත පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. නමුත් ගබ්සාවක් වැනි අමිහිරි අත් දැකීමකට පසු ඔබ ඉක්මණින්ම නැවත පිළිසිඳ ගැනීමකට මානසික ව සූදානම් නොමැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ මානසික තත්වය පිළිබඳ අවධානය යොමු කරන්න. ගර්භාෂයේ ඇතුළත ස්තරය සෑම ඔසප් චක්‍රයක දීම අලුතින් ගැබ් ගැනීමට සුදුසු පරිදි සකස් වෙන නිසා ගබ්සාවෙන් පසු නැවත ගැබ් ගැනීමට ශාරීරිකව බාධාවක් නැහැ. ඔබේ මාසික ඔසප් චක්‍රය නැවත ආරම්භ වූ වහාම නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. නැවත පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් පමණක් කෙටි කාලයකට උපත් පාලන ක්‍රමයක් භාවිතා කල හැකියි. ඉක්මනින් නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන විට ෆෝලික් අම්ලය දිගටම ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඒ වගේම ගබ්සාව අවස්ථාවේ අධික රුධිර වහනයක් සිදු වුනි නම් ඒ ගැන සොයා බලා නවත ගැබ් ගැනීමට පෙර රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම සාමාන්‍ය කර ගැනීමට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. මෙහි දී ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව යකඩ පෙති ලබා ගැනීම වැනි ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ගැබ් ගැනීමට පෙර ඔබේ සෞඛ්‍ය තත්වය ප්‍රශස්ත මට්ටම පවත්වා ගැනීම වැදගත්. ගබ්සා වීමෙන් පසු උණ, උදරයේ වේදනාව, දිගින් දිගට රුධිර වහනය සිදු වීම වැනි ලක්ෂණ තිබුනි නම් වෛද්‍ය වරයා ඒ පිළිබඳ දැනුවත් කර විෂබීජ ආසාදන තත්වයක් ඇති දැයි පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. විෂබීජ ආසාදන තත්වයක දී එය සම්පූර්ණයෙන් සුව වෙන තෙක් ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශය අනුව ලබා ගැනීමට සිදු වෙනව. කලාතුරකින් ගබ්සාවකින් පසු දිගින් දිගටම රුධිර වහනය පවතින්න පුළුවන්. එවැනි අවස්ථාවක වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. වෛද්‍ය පරීක්ෂාවන් පසු ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එලෙස ප්‍රතිකාර අවශ්‍ය වූ විටෙක වෛද්‍ය වරයා උපදෙස් ලබා දෙන තෙක් නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීම සුදුසු නැහැ. කලාතුරකින් ගබ්සාවට හේතුව මවගේ රෝග තත්වයක් වෙන්න පුළුවන්. එවැනි තත්වයන් සොයා ගැනීමට පරීක්ෂණ අවශ්‍ය දැයි ඔබේ වෛද්‍ය වරයා තීරණය කරනව. පරීක්ෂණ වලදී කිසියම් ගැට‍ළුවක් හඳුනා ගතහොත් එය නිවැරදි කිරීම සඳහා නැවත ගැබ් ගත් පසු ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. රුධිර කැටි ගැසීමේ අසාමාන්‍යතා ඇති කාන්තාවන්ට නැවත ගැබ් ගත් පසු රුධිර කැටි ගැසීම අඩු කරන ඖෂධ ලබා දීම, ගැබ් ගෙල දුර්වලතාවයක් ඇති කාන්තාවන්ට එය ශක්තිමත් කිරීමට මැහුමක් යෙදීම වැනි ප්‍රතිකාර ක්‍රම නැවත ගබ්සා වීම වළක්වා ගන්න සමහර විට භාවිතා කරනව. නමුත් බොහෝ විට නැවත වරක් ගබ්සාවක් වෙන්නෙ නැති නිසා එක් ගබ්සාවකට පසු බහුතරයකට වැඩිදුර පරීක්ෂණ හෝ ප්‍රතිකාර කිරීම අවශ්‍ය නැහැ. ඔබට කැමති කාල සීමාවක දී නැවත ගැබ් ගන්න උත්සාහ කරන්න පුළුවන්. පහත ලිපි වලින් වැඩිදුර විස්තර දැන ගන්න පුළුවන්. ගබ්සාවන් ගැන වැඩි විස්තර දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන් වැදගත් උපදෙස්.    ..
බබා ලැබෙන දිනය දැන ගන්නෙ කොහොමද?
කාන්තාවක් ගැබ් ගත් වහාම සොයා බලන දෙයක් තමයි දරුවා බිහි වීමට නියමිත දිනය. කොහොමද මේ දිනය ගණනය කරන්නෙ? අවසන් වරට කාන්තාවට ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට සති 40කින් නැති නම් දින 280කින් දරුවා බිහි වීමට නියමිත දිනය ලෙස සාමාන්‍යයෙන් සලකනව. නමුත් මෙය 100%ක් නිවැරදි නැහැ. දරුවෙක් මවු කුස තුල සිටින කාල සීමාව එක් එක් ගර්භණී කාලයට වෙනස් වෙනව. සාමාන්‍යයෙන් මෙය සති 37ත් 42ත් (දින 259 – 294) අතර කාලයක් වෙනව. ඒ නිසා ගණනය කිරීම මගින් ලබා ගන්න පුළුවන් වෙන්නෙ දරු ගැබට දින 280ක් නැතිනම් සති 40ක් වෙන දිනය පමණයි. නමුත් එම දිනයට පෙර හෝ පසු දරුවා බිහි වීමට ඉඩකඩ තිබෙනව. සාමාන්‍ය ලෙස දින 28කට වරක් පිළිවෙලට ඔසප් වීම සිදු වෙන මවකට අවසන් වරට ඔසප් වූ දිනයේ සිට සති 40ක් වෙන දිනය ගණනය කරන්න සරල ක්‍රමයක් ජර්මානු ජාතික මහාචාර්ය වරයෙකු වූ Franz Karl Naegele (1778–1851) වසර 1830දී හඳුන්වා දී තිබෙනව. ඒ අනුව අවසන් වරට ඔසප් වූ දිනයට මාස 9ක් සහ දින 7ක් එකතු කිරීමෙන් දරුවා බිහි වීමට නියමිත දිනය ඔබට ම ගණනය කර ගන්න පුළුවන්. උදා: අවසන් වරට ඔසප් වූ දිනය = 2017 අප්‍රේල් 1 +1 year = 2018 අප්‍රේල් 1 −3 months = 2018 ජනවාරි 1 +7 days = 2018 ජනවාරි 8 එසේ නැති නම් + 9 months and 7 days = 2018 ජනවාරි 8   වෛද්‍ය වරු මෙම ගණනය කර ගැනීම පහසු වීම සඳහා pregnancy wheel ලෙස හඳුන්වන රෝදයක් වැනි උපකරණයක් භාවිතා කරනව ඔබ දැක ඇති. ඊට අමතරව මෙම ගණනය කර ගැනීම පහසු කර ගන්න පරිගණක මෘදුකාංග සහ mobile apps දැන් තිබෙනව. VOG.LK වෙබ් අඩවිය මගිනුත් පහත පිටුවට ගොස් බබා ලැබීමට නියමිත දිනය ගණනය කර ගන්න පුළුවන්. VOG.LK DUE DATE CALCULATOR ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවා ලැබෙන දිනය ගණනය කිරීම මීට වඩා නිරවද්‍යයි. ඒ නිසා මුලින් ම කරන ස්කෑන් පරීක්ෂණයේ දී ඔසප් වීමට අනුව ලැබෙන දිනයට වඩා වෙනස් දිනයක් දරුවා ලැබෙන දිනය ලෙස අනුමාන කල හොත් එම දිනය නිවැරදි දිනය ලෙස ඉදිරියට සලකනව. ස්කෑන් පරීක්ෂණ පිළිබඳ වැඩි විස්තර වෙනත් ලිපියක දැක්වෙනව.   Save..