Results for Tag: Pregnancy (43)
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)
ගැබිනි මවක් සැම විටම තම කුස තුල සිටින දරුවා නිරෝගී ව තබා ගැනීමට උත්සාහ කරනව. නමුත් සමහර විට දරුවාගේ වර්ධනය අඩු බව ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව පැවසුව හොත් එවැනි අවස්ථාවක කුමක් කල යුතුද? දරුවාගේ වර්ධනය අඩු වෙන්නේ ඇයි? මෙම ලිපියෙන් ඔබට කරුණු ගෙන එන්නෙ ගර්භාෂය තුල වැඩෙන දරුවෙකුගේ වර්ධනය අඩාල වෙන අවස්ථා ගැන. දරුවෙකුගේ වර්ධනය බලන්න ක්‍රම කිහිපයක් තිබෙනව. බොහෝ කාලයක් තිස්සේ මෙය සිදු කලේ මවගේ කුසේ ප්‍රමාණය මැන බැලීම මගින්. ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා ටේප් පටියක් ආධාරයෙන් මවු කුසේ වර්ධනය ප්‍රමාණවත් දැයි මැන බලනව. මෙම දළ මිනුම් ක්‍රමයක්. මෙමගින් නිවැරදිව ප්‍රමාණයෙන් කුඩා දරුවන් හඳුනා ගන්න අපහසුයි. නමුත් ස්කෑන් පරීක්ෂණ සඳහා පහසුකම් නොමැති අවස්ථාවක මෙම ක්‍රමය විකල්පයක් ලෙස භාවිතා කරනව. දැන් ඇති ස්කෑන් යන්ත්‍ර ආධාරයෙන් ඉතාමත් ආසන්න මට්ටමකට වැඩෙන දරුවාගේ බර අනුමාන කල හැකියි. එම බර ගර්භණී සමයේ අදාළ සති ගණනට ගැලපෙනවාදැයි විශේෂිත වගුවක් හෝ ප්‍රස්තාරයක් මගින් සොයා ගත හැකියි. මෙලෙස දරුවාගේ වර්ධනය ප්‍රමානවත්දැයි කියා ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා ගැනීමට පහසුකම් දැන් සෑම මූලික රෝහලකම පාහේ තිබෙනව. ස්කෑන් පරීක්ෂණයේ දී දරුවා ගර්භයේ වයසට වඩා කුඩා යැයි සොයා ගත හොත් එයට හේතුව කුමක් විය හැකිද? මේ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් පවතිනව.  දරුවා ලැබීමට අනුමාන කර ඇති දින නිවැරදි නොවීම. ගර්භණී මවකට දරුවා ලැබෙන අනුමාන දිනය ලබා දෙන්නේ අවසාන වරට ඔසප් වීම සිදු වූ දිනයේ සිට සති 40ක ගණනය කිරීමෙන්. ඔසප්වූ දිනය නිවැරදි නැති නම් හෝ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් මෙම දිනය වැරදි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මුල් මාස 3 ඇතුළත කරන ස්කෑන් පරීක්ෂණයකින් තමයි දරුවා ලැබෙන දිනය ගණනය කල හැකි වෙන්නේ.  සහජයෙන් ම කුඩා දරුවෙක් වීම. සෑම දරුවා ම එකම ප්‍රමාණයට වර්ධනය වෙන්නෙ නැහැ. වැඩිහිටියන් ගේ උස/ බර එකිනෙකාට වෙනස් වගේම මව්කුස තුල වැඩෙන දරුවනුත් එකිනෙකාට වෙනස්. සමහර දරුවන් ප්‍රමාණයෙන් කුඩා නමුත් නිරෝගීයි. එවැනි දරුවන්ට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැහැ. දරුවාට නිසි පෝෂණයක් නො ලැබීම නිසා කුඩා වීම‍. මවගෙන් දරුවාට ආහාර සහ ඔක්සිජන් ලැබෙන්නේ වැදෑමහ හරහා. වැදෑමහ නිසි ලෙස වර්ධනය නොවන අවස්ථාවක දරුවාට නිසි පෝෂණයක් ලැබෙන්නෙ නැහැ. එවැනි දරුවන්ගේ බර අඩු වෙනව. දරුවාට රෝගී තත්වයක් තිබීම. මෙය එතරම් සුලබ නැහැ. රෝගී තත්වයකින් පෙලෙන දරුවන් සාමාන්‍ය දරුවෙකුට වඩා කුඩා වෙනව. ජානමය රෝග තත්ව, මවට ඇතිවූ දරුණු ආසාදන වැනි හේතු නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක අදාළ තත්වය අනුව ප්‍රතිකාර අවශ්‍ය වෙනව කුඩා දරුවෙකු ඇති වීම සඳහා අවදානම් සාධකයන් වන්නේ  මවගේ වයස අවුරුදු 40ට වැඩි වීම. මවට අධික රුධිර පීඩනය වැනි රෝගී තත්වයක් ඇතිවීම. දුම් පානය (මව දුම් පානය කිරීම හෝ අක්‍රිය දුම් පානයට ගොදුරු වීම). මවගේ බර අඩු වීම (මන්ද පෝෂණය). මව අධික ලෙස ව්‍යායාම වල යෙදීම. කලින් ගර්භණී වූ අවස්ථාවක අධික රුධිර පීඩනය තිබීම/ දරුවාගේ බර අඩු වීම. සෑම සායන වාරයක දීම මවගේ උදරය පරීක්ෂා කර බලනව. එවැනි අවස්ථාවක දරුවා කුඩා යැයි හැඟී ගිය හොත් එවැනි මවුවරුන් විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කරනු ලබනව. එහි දී ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ වර්ධනය ප්‍රමාණවත් දැයි සොය බැලිය හැකියි. ඉන් පසුව සුදුසු පරිදි විශේෂඥ වෛද්‍ය සායනයේ වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කරනව. සාමාන්‍යයෙන් මෙවැනි දරුවන්ගේ වර්ධනය සති දෙකකට වරක් ස්කෑන් පරීක්ෂණයක් මගින් මැන බැලීම සිදු කරනව. එහි දී අවදානම් තත්වයන් හඳුනා ගතහොත් කලින් දරුවා බිහි කිරීමට නිර්දේශ කරනව. නැතිනම් විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ දරුවාගේ වර්ධනය නිසි ප්‍රමාණයකට පැමිණෙන තෙක් සිටිය හැකියි. සමහර දරුවන් සඳහා වරින් වර Doppler සහ CTG පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි. ඉතාමත් කුඩා අවදානම් සහිත දරුවන් බිහි කිරීමට සිසේරියන් සැත්කමක් අවශ්‍ය නමුත් බොහෝ කුඩා දරුවන්ට සාමාන්‍ය ආකාරයට බිහි වීමේ හැකියාව තිබෙනව. මව් කුස තුල පෝෂණය අඩු කම නිසා කුඩා වන දරුවන් ඉපදීමෙන් පසුව නියමිත බර ලඟා කර ගන්නව. එම දරුවන්ට නිසි ලෙස මවු කිරි දීම වැදගත්. උපත් බර අඩු දරුවන්ට මුල් මාස කිහිපය තුල සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි නිසා ඔවුන් හොඳින් රැක බලා ගත යුතුයි. වැඩිහිටි කාලයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ වැනි සංකූලතා ඇති වීමේ හැකියාව මෙම දරුවන්ට සාමාන්‍ය බර ඇති දරුවන්ට වඩා වැඩියි...
යහපත් දරුවෙකු බිහිකිරීමට ගැබිනි මාතාවන් දිනපතා වැඩිය යුතු මෛත්‍රී භාවනාව
බුදුගුණ අනන්තයි!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවා නිදූක් වේවා!!!!!! නීරෝගි වේවා!!!!!! සුවපත් වේවා!!!!!! ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා!!!!!! ශ්‍රද්ධාවෙන් ශීලයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ඉවසීමෙන් වැඩේවා!!!!!! ගුණ නුවනින් පිනෙන් තේජසින් වැඩේවා!!!!!! බෝසත් ගුණයෙන් පිරිපුන් ලෝක සත්වයාට හිත සුව සලසන ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයෙක් ම වේවා!!!!!! දෙමව්පියන්ට වැඩිහිටියන්ට පැවිදි උතුමන්ට සලකන උවටැන් කරන කෘතවේදී අයෙක් ම වේවා!!!!!! පස් පවින් ද දස අකුසලයෙන් ද පඤ්චානන්තර්ය පාප කර්මයෙන් ද පාප මිත්‍ර සේවනෙයෙන්ද වලකීවා!!!!!! ධර්ම ගුණයෙන් භාවනා ගුණයෙන් සම්පූර්ණ දරුවෙක් ම වේවා!!!!!! රට ජාතිය ආගමට මහත් සේවයක් සැලසීමට සමතෙක් වේවා!!!!!! දෙලොවම ජය ගෙන අමා මහ නිවනට යොමුවූ බෝසත් දරුවෙකු ලෙස ඉතා උතුම් සුබ මොහොතකින් සුවසේ උපදීවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් උපදින උපදින සියළු දරුවෝම එසේ වාසනාවන්තයෝ වේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මේ අනන්ත වූ සත්පුරුෂ යහ ගුණ වැඩේවා!!!!!! ඊර්ෂ්‍යාව අතහැර දියුණුව දැක සතුටු වීමටත් මමත්වය ඉවත ලා සැමට එක ලෙසින් ආදරය කිරීමටත් ඔහුට/ඇයට හැකි වේවා!!!!!! මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මෛත්‍රිය කරුණාව ලබා දී සැර පරුෂ කම මග හැරවීමටත් පලි ගැනීමෙන් වැලකී සමාව ලබා දීමටත් හැකි වේවා!!!!!! නෑදෑ හිතමිතුරන් වැඩිටියන්ගේ උපදේශවල කලණ මිතුරු බව වටහා ගැනීමටත් මිත්‍රශීලී සහයෝගය ලබාගෙන අමනාපය නැති කිරීමටත් වරදක් සිදු වුනි නම් සමාව ඉල්ලීමටත් හැකි වේවා!!!!!! සැක සංකා නැති විමට සත්‍යාවබෝධයත් බිය නොවී එඩිතර වීමට හැකියාවත් ඔහුට/ඇයට ලැබේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට විශ්වාසය ඇති කර ගැනීමට පැහැදිලි දැනුමත් කේන්ති එන විට ඉවසීමට මනා පුහුණුවත් පිලිගන්නවා වෙනුවට තේරුම් ගැනීමේ ශක්තියත් ලැබේවා. රැවටීමට එරෙහිව උපායශීලී ඥානයත් නො දන්නා බව දැනෙන විට ඉගෙන ගැනීමේ උවමනාවත් ලැබේවා!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට වැටුණු තැනක දී නැගී සිටීමට ධෛර්යයත් පාප ක්‍රියා වෙනුවට පිංසාර සිතත් හිංසාව වෙනුවට අහිංසාවාදී ගුණයත් කම්මැලිකම දුරලීමට ක්‍රියාශීලී ශූරත්වයත් ලැබේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට කළ ගුණ සැලකීමට කෘතවේදී මනුෂ්‍යත්වයත් පීඩාවන් වෙනුවට සහනයත් ලෙඩ රෝග නොමැතිව මනා සෞඛ්‍ය ආරක්ෂාවත් වේදනාවෙන් තොර වූ පහසුවත් හිමි වේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට දැවීම වෙනුවට නිවීමත් ලැජ්ජා සිතෙන විට නොපැකිලව ඉදිරිපත් වීමට ප්‍රගතිශීලී හැගීමත් ඇති වේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට නැති තැනට ඇති කර ගැනීමට බලයත් හැකියාවත් බැරි තැනක දී හැකි වීමට ධෛර්යයත් උවමනාවත් පරාජය වෙනුවට ජයග්‍රාහී සාර්ථකත්වයත් ලැබේවා!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට කලකිරීම දුරු වීමට පැහැදිලි අවබෝධයත් හිමි වේවා!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔහුට/ඇයට සියලු ආකාරයේ අභියෝග සතුටින් ම දිනා ගැනීමට දුප්පත්කම වෙනුවට පොහොසත් කම උදා කරගන්නට ඥාණ ශක්තිය ධෛර්යය හා හරි මග පැහැදේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මෙන්ම අනෙකුත් උපදින උපදින දරුවන්ට ද මේ අනන්ත වූ සත්පුරුෂ යහ ගුණ වැඩේවා..
සිසේරියන් සැත්කම ගැන හරියටම දැන ගන්න.(Caesarean Section)
දරුවකු මෙලොවට බිහි වන ස්වභාවික ක්‍රමය වන්නේ සාමාන්‍ය ප්‍රසූතියයි. නමුත් සමහර ගර්භණී මවු වරුන්ට සාමාන්‍ය ප්‍රසූතිය නුසුදුසු වන අවස්ථාවල දී, සිසේරියන් සැත්කමක් නිර්දේශ කරනව. දැනට ලංකාවේ සිදු වන දරු උපත් වලින් 1/3ක් පමණ සිසේරියන් සැත්කම් මගින් සිදු වන්නේ. මේ සඳහා පහසුකම් අපේ රටේ බොහෝ මූලික රෝහල වල තිබෙනව. මෙම ශල්‍යකර්මය සඳහා සාමාන්‍යයෙන් පැයකට වඩා අඩු කාලයක් ගත වෙන්නේ. සිසේරියන් සැත්කම නිතරම සිදු කරන සැත්කමක් වුවත් සමහර විට සංකූලතා ඇතිවෙන්න පුළුවන්. එබැවින් මෙය නිර්දේශ කරන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකට සුදුසු නොවන අවස්තාවකදී පමණයි. මෙම සැත්කම සිදු කරන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනව. සැලසුම් කල සිසේරියන් සැත්කම‍ මෙහි දී සිසේරියන් සැත්කමක් අවශ්‍ය බව වෛද්‍යවරු කලින් හඳුනා ගෙන සුදුසු දිනයක සැත්කම සඳහා සැලසුම් කිරීම සිදු වෙනව.    හදිසි සිසේරියන් සැත්කම සාමාන්‍ය ලෙස දරු ප්‍රසූතියට හෝ ඉදිරි දිනයක සිසේරියන් සැත්කමට සැලසුම් කල මවක් ඊට සූදානම් වන කාලය ඇතුළත යම් සංකූලතාවයකට ලක් වුව හොත් හදිසියේ ම සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සංකූලතාවයෙන් දරුවාට හෝ මවට සිදු විය හැකි හානිය අවම කර ගැනීමට මෙම සැත්කම හදිසියේ ම සිදු කල යුතුයි. බොහෝ විට සිසේරියන් සැත්කම සිදු කරන්නේ මව පියවි සිහියෙන් සිටිය දී. නමුත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ශල්‍යකර්මයට පෙර ඇයගේ කොඳු ඇට පෙලට නික්ෂේපණය කරන ඖෂධයක් මගින් නාභියෙන් පහල කොටස හිරිවැටීමට ලක් කරනව. ඉන් පසුවයි ශල්‍යකර්මය ආරම්භ කරන්නේ. ශල්‍යකර්මයට පෙර මුත්‍රා ඉවත් කිරීම සඳහා බටයක් දැමීම සහ යටි බඩ කොටසේ රෝම ඉවත් කිරීම සිදු කරනව. ඉන් පසු මවගේ උදරය මතුපිට පිරිසිදු කර, ජීවානු හරිත ‍රෙදි වලින් වැසීම සිදුකරනව. ඉන් පසු උදරයේ පහලින් හරස් අතට සෙන්ටි මීටර 10ක පමණ කුඩා කැපුමක් යොදනව. මෙය සාමාන්‍යයෙන් bikini line incision ලෙස හඳුන්වන අතර එය යොදන්නේ උදරයේ පහලම යට ඇඳුමකට වැසෙන ප්‍රදේශයේ. ඉන් පසුව සමට යටින් ඇති ස්තරයන් විච්ඡේදනය කරමින් උදර කුහරය තුලට ඇතුල් වෙනවා. ගර්භාෂයේ පහල කොටසේ තවත් තිරස් කැපුමක් යොදා දරුවා සිටින එක විවෘත කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ. වෛද්‍ය වරයා විසින් ප්‍රවේසමෙන් දරුවා එලියට ගැනීමෙන් පසුව පෙකණි වැල කැපීම සිදු කරනවා. ඒ අවස්ථාවේදීම මවට දරුවා දැක බලා ගන්න අවස්ථාව ලැබෙනව. මව් කිරි දීම ශල්‍යකර්මය අවසාන වීමට පෙරම ආරම්භ කල හැකියි. දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඉවත් කර ගර්භාෂයේ ඇතුළත පිරිසිදු කරනව. ඉන් පසුවයි පියවරෙන් පියවර කැපූ ස්තර නැවත තිබූ තත්වයට මැසීම සිදු කරන්නෙ. මෙහි දී ගර්භාෂය, උදර බිත්තිය සහ සමේ මැහුම් දැමීමක් සිදුකරනව‍ ශල්‍යකර්මයෙන් පසුව රුධිර වහනයක් ඇත් දැයි පරීක්ෂා කරනව. ඉන් පසු මවත් දරුවාත් දෙදෙනා ම ශල්‍යාගාරයෙන් ඉවතට ගෙන යනු ලබනව. දෙපාවල හිරි ගතිය පහව යෑමට පැය 4ක් පමණ ගත වෙනව. ඉන් පසු ශල්‍යකර්මයේ වේදනාව දැනීමට හැකි නිසා වේදනා නාශක ඖෂධයක් ගැනීම අවශ්‍යයි. කෑම ගැනීම, මවුකිරි දීම වැනි දේ තනිවම කර ගැනීමට එවිට මවට හැකියාව ලැබෙනව. ශල්‍යකර්මයෙන් පැය 12කට පමණ පසු මුත්‍රා පිට වීමට ඇති බටය ඉවත් කරන අතර, බොහෝ විට නික්ෂේපණ ඖෂධ අවශ්‍ය වන්නේ නැහැ. දෙවන දිනය වන විට ඇඳෙන් බැස තරමක් දුර තනිවම ඇවිදීමට හැකියාව බොහෝ මව්වරුන්ට තිබෙනව. වේදනා නාශක ඖෂධ නිසි පරිදි ලබා ගැනීමත් දිගටම මවුකිරි දීමට කටයුතු කිරීමත් මේ කාලයේ වැදගත් වෙනව. සංකූලතාවයක් ඇති නො වුන හොත් දින 3ත් 5ත් අතර කාලයේ දී මවට රෝහලෙන් බැහැර යාමට හැකියි. ශල්‍යකර්මයේ දී සමට යොදන්නේ බොහෝ විට දිය වන මැහුම්. එවිට මැහුම් ඉවත් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් දිය නොවන මැහුම් වර්ගයක් යොදා ඇත්නම් ශල්‍යකර්මයෙන් දින 5කට පමණ පසුව ඉවත් කර ගත යුතු වෙනව. සාමාන්‍ය එදිනෙදා කටයුතු වල යෙදීම හානිකර නැති වුවත් සති දෙකක් පමණ යන තෙක් බර ඉසිලීම වැනි ක්‍රියාකාරකම් වලින් වැළකීම සුදුසුයි. සැත්කමෙන් සති 6කට පසුව නැවත ගැබ් ගැනීමේ අවදානමක් තිබෙන නිසා උපත් පාලන ක්‍රමයක් ආරම්භ කිරීමට ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර ගන්න. Save..
අධික රුධිර පීඩනය ගර්භණී මවකට බලපාන අයුරු. High blood pressure in pregnancy.
ගර්භණී මවු වරුන් ගෙන් 8% කගේ පමණ රුධිර පීඩනය ඉහල යාම දක්නට ලැබෙනවා. අධික රුධිර පීඩනය මූලික අවස්ථාවේ දී කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. එම නිසා බොහෝ දෙනෙක් මේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. නමුත් මෙය preeclampsia ලෙස හඳුන්වන දරුණු තත්වය දක්වා වර්ධනය වීමට සහ සංකූලතා ඇතිවීමට ඉඩ ඇති නිසා මෙය කිසිසේත්ම සුළු කොට තැකිය හැකි රෝගී තත්වයක් නෙමයි. ලංකාවෙ සෑම පූර්ව ප්‍රසව සායන වාරයක දීම අනිවාර්යයෙන් ගර්භණී මවගේ රුධිර පීඩනය පරීක්ෂා කර බලනව. එමගින් පමණයි මෙම තත්වය හඳුනා ගත හැකි වන්නේ. ගර්භණී මවකට ඇති වන අධික රුධිර පීඩනයෙහි ප්‍රධාන වර්ග 3ක් තිබෙනවා. 1. පෙර සිට පැවති රුධිර පීඩනය. ගැබ් ගැනීමට පෙර සිට මවට රුධිර පීඩනය තිබුණ නමුත් මෙය ගර්භණී සමයේ දී පලමු වරට හඳුනා ගන්නා අවස්ථාවක්. මෙම තත්වය ඇයගේ ජීවිත කාලය පුරාම ඉදිරියට පවතිනවා. සමහර විට දීර්ඝ කාලීන ඖෂධ භාවිතා කිරීමට සිදුවනව. 2. ගර්භණී සමයේ දී ඇතිවෙන රුධිර පීඩනය ප්‍රථම වරට ගර්භණී සමයේ දී අධික රුධිර පීඩනය ඇති වීම මෙලෙස හඳුන්වනවා. මෙම තත්වය දරු ප්‍රසූතියෙන් පසුව සාමාන්‍ය අතට හැරෙනවා. නමුත් ගර්භණී සමයේ දී රුධිර පීඩනය පාලනය කිරීමට ඖෂධ අවශ්‍ය වන්න පුළුවන්.  3. ගර්භණී සමයේ ඇතිවෙන දරණු රුධිර පීඩනය (ගර්භ විෂ රෝගය - preeclampsia) අධික රුධිර පීඩනය සමග මුත්‍රා වල ප්‍රෝටීන් අඩංගු වීම (proteinuria) මෙහි මූලික ලක්ෂණයි. මෙම රෝගී තත්වය සංකූලතා බොහොමයක් ඇති කරන්න හේතු වෙනව. එම නිසා නිතර රුධිර පීඩනය සහ මුත්‍රා පරීක්ෂා කරවා ගැනීම වැදගත්. ගර්භණී මවකට අධික රුධිර පීඩනය ඇති බව හඳුනා ගත් පසු වෛද්‍ය වරුන් විසින් මූලික රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරනව. එමෙන්ම දරුවාගේ වර්ධනය පිළිබඳ ව සොයා බලන්න ස්කෑන් පරීක්ෂණයකුත් සිදු කරනව. Pre eclampsia තත්වය ඇතිවීමට අවදානම් සාධක වන්නේ 1. පලමු ගර්භණී සමය හෝ පෙර දරු ප්‍රසූතියෙන් වසර දහයකට වඩා පසු ගැබ් ගැනීම 2. වයස අවුරුදු 40ට වැඩි වීම 3. ස්ථූලතාවය (ශරීර ස්කන්ධ දර්ශකය 35ට වැඩි වීම) 4. නිවුන් දරුවන් 5. දියවැඩියාව වැනි රෝගී තත්ව 6. කලින් ගර්භණී සමයේ අධික රුධිර පීඩනය අධික රුධිර පීඩනයට ඇති මවකගේ වැදෑමහ ගර්භාෂය තුල නිසි ලෙස වර්ධනය වන්නේ නැහැ. මෙයට හේතුව වන්නේ වැදෑමහ තුල ඇති රුධිර වාහිනි නිසි ලෙස විස්තාරනය නොවීම. එවිට වැදෑමහ තුලින් නිපදවෙන රසායනික නිසා මවගේ රුධිර වාහිනි හැකිළීමකට ලක් වෙනවා. එය රුධිර පීඩනය වැඩි වීමට හේතුවක්. ඊට අමතරව මෙම රසායනික ශරීරයේ විවිධ අවයවයන් බලපාව. එය වකුගඩු වලට බල පාන විට මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සිදුවනවා. අක්මාවට බලපාන විට රුධිරයේ අක්මාවෙන් නිපදවන එන්සයිම ප්‍රමාණය වැඩි වනවා. රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීමටත් මෙය හේතු වෙනව. මෙම තත්වය දරුණු වන විට මොළයටත් බලපෑම් ඇති කරනව. එමගින් හිසරදය, ඇස් පෙනීමේ අසාමාන්‍යතා වගේම Eclampsia ලෙස හඳුන්වන වලිප්පු තත්වය පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම රුධිර වාහිනි වලින් පිටත තරල එක් රැස් වීම නිසා ශරීරය ඉදිමීමක් දක්නට ලැබෙනව. බහුලව ම ඉදිමීම සිදු වන්නේ දෙපා, වලලුකර, අත් සහ මුහුණ ආශ්‍රිතව. රුධිර පීඩන සමග ඇස් පෙනීමේ වෙනසක්, අධික හිසරදයක් හෝ බඩේ දකුණු පස ඇති වන වේදනාවක් ඇති වීම දරුණු සංකූලතාවයක ලක්ෂණ විය හැකි නිසා එවැනි තත්වයක් ඇති වුවහොත් වහාම රෝහල් ගත වීම අත්‍යාවශ්‍යයි. රුධිර පීඩනය අඩු කරන ඖෂධ වර්ග බොහොමයක් තිබෙනවා. මින් කිහිපයක් පමණයි ගර්භණී මවකට පාවිච්චියට සුදුසු වන්නෙ. ඔබේ වෛද්‍ය වරයා සුදුසු ඖෂධයක් නිර්දේශ කල හොත් එය නිති පතා නියමිත කාලයට ගැනීම ඉතා වැදගත්. එමෙන්ම රුධිර පීඩනය සහ මුත්‍රා වරින් වර පරීක්ෂා කරවා ගත යුතුයි...
ගර්භණී මවකට පැපොල රෝගය වැලඳුන හොත් (Chickenpox in pregnancy)
පැපොල රෝගය කියන්නේ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. මෙම වෛරසය Varicella Zoster Virus ලෙස හඳුන්වනවා. බොහෝ විට මෙම රෝගයට ගොදුරු වන්නේ කුඩා දරුවන්. වරක් පැපොල රෝගය වැලඳුනොත් ශරීරයේ මෙම රෝගයට එරෙහි ප්‍රතිශක්තිය ඇති වන නිසා නැවත වරක් එය වැලඳෙන්නේ නැහැ. එම නිසා ඔබට කලින් පැපොල රෝගය වැලඳී ඇති නම් මේ ගැන බිය විය යුතු නැහැ. පැපොල රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්නේ ආශ්වාසය මගින්. රෝගය නිසා බිබිලි මතු වන්නට පෙර සිටම මෙය තවත් කෙනෙකුට බෝවිය හැකියි. පැපොල රෝග කාරක වෛරසය ශරීරයට ඇතුල්වී රෝගය ඇති වන්න සති දෙකක පමණ කාලයක් ගත වෙනව. මෙහි මූලික රෝග ලක්ෂණ වෙන්නේ උණ, ඇඟ පත රුදාව, සොටු දියර ගැලීම වැනි සාමාන්‍ය වෛරස ආසාදනයක දී ඇති වන ලක්ෂණ. වෛරසය තවදුරටත් ශරීරයේ පැතිරෙන විට සමේ බිබිලි ඇතිවෙනවා. මෙම බිබිලි කැඩී කුඩා තුවාල බවට පත් වෙන්නේ ඉන් අනතුරුව. සාමාන්‍යයෙන් මෙම රෝගය ඉබේම සුව වෙනව. නමුත් ගර්භණී මවකට පැපොල රෝගය ඇති වුවහොත් ඉන් සංකූලතා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. ගර්භණී සමයේ මුල් කාලයේ පැපොල රෝගය වැලඳෙන මව්වරුන්ගෙන් 0.5% කට පමණ දරු ගැබට මෙම රෝගය නිසා බලපෑම් ඇතිවෙනවා. මෙය Fetal Varicella Syndrome ලෙස හඳුන්වන අතර මෙම දරුවන්ගේ මොලය, ඇස්, මුත්‍රාශය සහ බඩවැල් ආශ්‍රිත අසාමාන්‍යතා ඇති වෙනව. එම නිසා මෙම දරුවන් අබාධිතව උපදින අතර ඔවුන්ගේ බුද්ධි මට්ටමත් අඩුයි. දරු ගැබට මාස තුනත් පහත් අතර කාලයේ පැපොල ආසාදනය ඇතිවුනොත් එමගින් දරුවාට බලපෑමේ හැකියාව 2% ක් පමණ වෙනව. සති 20ට පසුව දරුවාට ආසාදනය ඇති වුවත් එමගින් අංගවිකලතා ඇති වන්නේ නැති නමුත් දරුවා වෛරස ආසාදනයට ලක් වෙනව. දරු ප්‍රසූතියට ආසන්න කාලයේ දී පැපොල රෝගය වැලඳුනොත් දරුවා උපදින විටම රෝගය ඇති වෙන්න පුළුවන්. එමගින් දරුවාගේ පෙනහළුවලට ආසාදනය ඇතිවී දරුණු නියුමෝනියා තත්වයක් හට ගන්න හැකියාව තිබෙනව. ගර්භණී මවකට පැපොල රෝගය නිසා සංකූලතා ඇති වීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියි. වෛරසය පෙනහළු වලට බලපෑම නිසා දරුණු නියුමෝනියා තත්වයක් මවටත් ඇති වෙන්න පුළුවන්. එමෙන්ම වෛරසය මවගේ මොළයට සහ අක්මාවට හානි කරන්න ඉඩ තිබෙනව. එම නිසා පැපොල රෝගය ගර්භණී සමයේ ඇති වීම එතරම් හොඳ දෙයක් නොවෙයි. මෙයින් වැලකි සිටීම ඉතා වැදගත්. ඔබ ගර්භණී වීමට බලාපොරොත්තු වන පැපොල රෝගය කලින් වැළඳී නැති කාන්තාවක් නම් මෙම රෝගයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන මින් ආරක්ෂා විය හැකියි. මෙම එන්නත ලබා ගෙන මාස තුනක් යන තෙක් ගැබ් ගැනීම නිර්දේශ කරන්නේ නැහැ. ඔබ ගර්භණී කාලයේ දී වෙනත් පැපොල රෝගියෙකුට නිරාවරණය වීමෙන් වැළකීම වැදගත්. රෝගී පුද්ගලයෙකු සමග එකම කාමරයේ විනාඩි 15කට වැඩි කාලයක් ගත කිරීම, මුහුණට මුහුණ ලා විනාඩි 5කට වැඩි කාලයක් ගත කිරීම සහ සමීප සම්බන්ධතා මගින් රෝගය බෝ වීමේ අවදානම වැඩියි. එසේ අවදානමට ලක් වුව හොත් ඔබට රෝගය වැළඳීම වළක්වා ගැනීමට මිල අධික Varicella Zoster Immunoglobulin නැමති ප්‍රතිදේහය නික්ෂේපණය කල හැකියි. රෝගියාට නිරාවරණය වී පැය 72ත් දින 7ත් අතර කාලය තුල මෙම ප්‍රතිදේහය ගැනීමෙන් රෝගය ගර්භණී මවට සිදු විය හැකි හානිය අවම කර ගන්න පුළුවන්. යම් කිසි හේතුවක් නිසා ඔබට පැපොල රෝගය වැළඳුනොත් කලබල වෙන්න එපා. මෙය දරුවාට බලපෑමට ඇති ඉඩකඩ සියයට 2කට වඩා අඩුයි. ඔබට මෙමගින් සංකූලතා අවම කර ගැනීමයි වැදගත් වෙන්නේ. වෙනත් ගර්භණී මවුවරුන් ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වළකින්න. ප්‍රතිකාර ලෙස වේදනා නාශක ඖෂධ සහ ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි Acyclovir නැමති ඖෂධය ලබා ගැනීමෙන් රෝග ලක්ෂණ අවම කර ගත හැකියි. ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ අනිකුත් රෝග ලක්ෂණ මතු වන්නේ නම් සංකූලතා කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම සඳහා රෝහලක අනිත් මව් වරුන් ගෙන් වෙන් ව නැවතී සිටීම වැදගත්.  ..