Results for Tag: Pregnancy (43)
ගර්භණී මවක් විසින් සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ
ඔබ දන්නා පරිදි ගර්භණී සමයේ සුළු රෝග ලක්ෂණ ඉතාමත් ම සුලබයි. ඒ නිසා ඇතැම් විට ඔබ මෙවැනි රෝග ලක්ෂණ අමතක කර සිටීමට පුරුදු වෙනවා. නමුත් සමහර අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ යම්කිසි දරුණු රෝගී තත්වයක ලක්ෂණයක් විය හැකියි. එම නිසා මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නෙ ඔබ සුලු කොට නො තැකිය යුතු රෝගී තත්වයන් හා රෝගී ලක්ෂණයන් කිහිපයක් ගැනයි. බඩේ වේදනාව ගර්භණී කාලයේ බඩේ මැද ප්‍රදේශයේ නාභිය ආසන්නයේ තද වේදනාවක් ඇති වුව හොත් හා ඒ සමගම වමනය ඇතිවුන හොත් එය සාමාන්‍ය නැහැ. තවද, නාභියට ඉහල දකුණු ප්‍රදේශයේ තදබල වේදනාවක් ඇති වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. මෙය preeclampsia හෙවත් ගර්භණී සමයේ අධික ලෙස වැඩි වන රුධිර පීඩනය නිසා ඇති වන සංකූලතාවයක් විය හැකියි. එමෙන්ම ගර්භණී සමයේ මුල් මාස තුන තුල ඇති වන යටිබඩෙහි වේදනාව සුළු කොට නො තැකිය යුතුයි. මෙය ගර්භාශයෙන් පිටත දරු ගැබ පිහිටීමේ ලක්ෂණයක් හෝ දරු ගැබට හානියක් වීමේ පෙර ලක්ෂණයක් වන්නට පුළුවන්. fibroid වැනි ගෙඩියක් සංකූලතාවයකට පත්වීමෙනුත් යටිබඩේ වේදනාවක් විය හැකියි. ගර්භණී සමයේ අවසාන කාලයේ දී මෙවැනි තත්වයක් ඇතිවීම දරුවා නියමිත කාලයට පෙර බිහි වීමේ අවදානම් තත්වයක් විය හැකියි. එසේම මෙවැනි අධික වේදනාවක් ඇතිවීම දරුවා බිහි කිරීමට පෙර වැදෑමහ බිත්තියෙන් ගැලවීම හෙවත් placental abruption නමැති ඉතාමත් අවදානම් තත්වයක් විය හැකියි. මේ නිසා යම් කිසි අවස්ථාවක උදරයේ අධික වේදනාවක් ඇති වේ නම් වෛද්‍ය උපදෙස් ලැබිය යුතුයි. උණ ඔබට ගර්භණී සමයේ උණ තත්වයක් ඇතිවුව හොත් එය ඉතාම ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. මන්ද යත් influenza රෝගී තත්වය ගර්භණී මාතාවන්ට මරු කැඳවන රෝගී තත්වයකි. පසුගිය වසරේ influenza රෝගය නිසා මාතෘ මරණ කිහිපයක් ම වාර්තා වී තිබුනි. එම නිසා ඔබට දවසේ පැය 24 කට වඩා උණ පවතී නම් රෝහල් ගත වීම පරීක්ෂා කරවා ගැනීම ඉතාමත් ම වැදගත්. රෝහලේ දී මේ පිළිබඳ පරික්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ හැකියාව තිබෙනවා. කිසිවිටකත් පැය 24 කට වඩා පවතින උණ රෝගී තත්වයකදි වෛද්‍ය උපදෙස් ලබා නො ගෙන නො සිටිය යුතුයි. ඇස් පෙනීමේ වෙනසක් ඇතිවීම ඔබගේ ඇස් පෙනීමේ වෙනසක් එනම් බොඳ වී යාමක් හෝ වරින් වර එළියක් පෙනී නොපෙනීයාමේ තත්වයක් වැනි අසාමාන්‍ය තාවයක් ඇතිවුව හොත් එය preeclampsia යනුවෙන් හඳුන්වන ගර්භණී සමයේ ඇති වන අධික රුධිර පීඩනයේ ලක්ෂණයක් විය හැකියි. එම නිසා එවැනි රෝගී තත්වයක් පවතී නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. එමෙන්ම තදබල හිසරදයක් පවතී නම් එයත් preeclampsia නැමති රෝගී තත්වයේ ලක්ෂණයක් විය හැකියි. එම නිසා වහාම වෛද්‍ය උපදෙස් ගන්න. යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම මුල් මාස තුන ඇතුළත යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් ඇතිවුව හොත් එය ගබ්සාවක හෝ ගර්භාෂයෙන් පිටත දරුවා පිහිටීම නිසා ඇති වන ectopic pregnancy රෝගී තත්වයේ ලක්ෂණයක් විය හැක. මේ නිසා වෛද්‍ය උපදෙස් මත scan පරීක්ෂණයක් සිදු කරවා ගැනීම වැදගත්. ඔබගේ සති 20 scan පරික්ෂාවෙන් පසු රුධිර වහනයක් ඇති වුවහොත් එය දරුවා නියමිත දිනට පෙර බිහි වීමට යන තත්වයක් හෝ වැදෑමහ ගැලවීයාම නිසා ඇති වන තත්වයක් විය හැකියි. වැදෑමහ පහලින් පිහිටා තිබීම placenta previa යනුවෙන් හඳුන්වන අතර එවැනි තත්වයක් නිසාත් වරින් වර රුධිර වහනයක් ඇති විය හැකි අතර එම රෝගී තත්වය scan පරික්ෂාවක් මගින් කලින් හඳුනා ගත හැකියි. යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීම ගර්භණී සමයේ අවසාන කාලයේ යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිට වන්නේ නම් මෙය දරු ගැබ ආරක්ෂා කරන පටල (water bag) බිදීයාම නිසා ඇතිවන්නක් විය හැකියි. මෙවැනි අවස්ථාවක ඊළඟ පැය කිහිපයේ දී හෝ දින කිහිපයක් ඇතුළත දරුවා බිහි වීමේ හැකියාව පවතී. එමෙන්ම ගර්භාෂයට විෂබීජ ආසාදනය වීමේ අවදානමක් ද පවතී. එවැනි අවස්ථාවක ඉක්මනින් රෝහල් ගත විය යුතුයි. මුත්‍රා දැවිල්ල ඔබ මුත්‍රා කරන අවස්ථාවක දැවිල්ලක් හෝ වේදනාවක් ඇති වන්නේ නම් මෙය මුත්‍රා ආසාදනයක රෝගී තත්වයක් විය හැකියි. ඒ සමගම උණ, යටිබඩ වේදනාව සහ ශරීරයට අපහසු බව හෝ කොන්දේ පැත්තක ඇති වන වේදනාව ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත්. වමනය දිගින් දිගටම පවතින වමනය තවත් රෝගී ලක්ෂණයකි. සාමාන්‍යයෙන් ඇති වන ඕක්කාරය සහ විටින් විට ඇති වන වමනය ගර්භණී සමයේ මුල් මාස කිහිපය තුල බහුලව දක්නට ලැබෙන ලක්ෂණයකි. නමුත් ඔබට දිගින් දිගටම වමනය යන්නේ නම් කිසිදු ආහාරයක් ලබා ගැනීමට මේ නිසා නො හැකි වන්නේ නම් මෙය රෝහල් ගත වී පරීක්ෂා කරවා ගත යුතු තත්වයකි. ගර්භණී සමයේ මුල් මාස කිහිපයෙන් පසුව වමනය ඇති වන්නේ නම් මෙය වකුගඩු සම්බන්ධ, අක්මාව සම්බන්ධ හෝ අධි රුධිර පීඩනය සම්බන්ධ රෝගී තත්වයක් විය හැකියි. මේ නිසා ගර්භණී සමයේ මුල් මාස 3න් පසුව ඔබට අධික වමනයක් ඇතිවුව හොත් රෝහල් ගත වීම ඉතාමත් ම වැදගත් වේ. කැසීම ඇඟ කැසීම එසේත් නොමැති නම් අත් හෝ පාද වල කැසීමක් ඇතිවීම ගර්භණී සමයේ සුලභ ලක්ෂණයක් නොවේ. නමුත් එවැනි අවස්ථාවක ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙවැනි සමේ කැසීමේ රෝග තත්වයක් ඇති කල හැකි අක්මාවට බලපාන දරුණු රෝගී තත්වයන් (obstetric cholestasis) පවතින බැවින් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඉහත කී රෝග ලක්ෂණයන්ට අමතරව ඔබට කිසියම් හෝ අපහසුතාවක් දැනෙන්නේ නම් හෝ ඔබ නිරෝගී තත්වයෙන් පසු නොවන බව හැඟෙන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ...
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)
ගර්භණී මවකගේ පෝෂණය ගැන හැමෝම සැලකිලිමත් වෙනවා. ගැබිනි කාන්තාවට සුදුසු ආහාර පාන ගැන විවිධ මත පවතින නිසා, ඒ ගැන දැනුවත් වීම වැදගත්. සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු වලට අමතරව ගැබිනි සමයේ දී ලබා දෙන විටමින වර්ග ගැනත් මේ ලිපියෙන් ඔබට තොරතුරු දැන ගන්න පුළුවන්. දරු ප්‍රසූතියකට සූදානම් වන මවක් එම අවස්ථාව වන විට හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටීමට ගර්භණී සමයේ පෝෂණය මෙන්ම ගැබ් ගැනීමට පෙර තිබූ පෝෂණ තත්වයත් බලපානව. එම නිසා දරු පිළිසිඳ ගැනීමකට බලාපොරොත්තු වන කාන්තාවන් තමන්ගේ පෝෂණය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. පෝෂණ තත්වය මැන බලන ප්‍රධාන දර්ශකයක් වන්නේ උසට සරිලන බරක් තිබීම. උස සහ බර අනුව BMI (Body mass index) අගය ගණනය කිරීමෙන් ඔබේ පෝෂණ තත්වය ගැන දැන ගන්න පුළුවන්. නිවැරදි පරාසයේ උස සහ බර තිබීම පමණක් සෑහෙන්නෙ නැහැ. මීට අමතරව, ගර්භණී මවකට සුදුසු සහ නුසුදුසු ආහාර ගැන සැලකිලි මත් වීමත් වැදගත්. ඔබ ගර්භණී නම් ඔබගේ ආහාර රටාව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට වෙනස් කර ගැනීමට මේ උපදෙස් පිළිපදින්න. 1. ප්‍රධාන ආහාරය ලෙස නිවුඩු බත් හෝ ඇට වර්ගයක් හැකි සෑම විටම තෝරා ගන්න. එසේ නැතිනම් බත්, පාන්, නූඩ්ල්ස් වැනි පිටි සහිත ආහාරයක් ගන්න. 2. පලතුරු හෝ එළවළු හැකි තරම් ආහාරයට එක් කර ගන්න. එමගින් මේද බහුල හා අධික කැලරි සහිත ආහාර ප්‍රමාණය අඩු කර ගත හැකියි.  3. ඔබ ගන්නා කැලරි ප්‍රමාණය හෝ මේද ප්‍රමාණය ගර්භණී සමයේ වැඩිකල යුතු නැහැ. වැඩි පුර සීනි සහිත සහ බැදපු ආහාර ගැනීම එතරම් සුදුසු නැහැ. පැණි බීම, පැණි රස අතුරුපස, කේක්, බිස්කට් සහ අධික තෙල් සහිත ආහාර වලින් වැළකීම වැදගත්. 4. පලා වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර එක් කර ගන්න. මස්, බිත්තර, මාළු, කරවල, වැනි ආහාර මෙන්ම පරිප්පු, බෝංචි, සෝයා වැනි ආහාර වලිනුත් අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය එක් කර ගන්න පුළුවන්. 5. නිවුඩු බත්, ඇට වර්ග, කොළ පැහැති එළවළු සහ පලා වර්ග වැනි තන්තු බහුල ආහාර නිතරම ගැනීම සුදුසුයි. 6. කිරි ආහාර මගින් කැල්සියම් ලබාගත හැකියි. 7. ඔබ ගන්නා ආහාර ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත්. ගර්භණී සමයේ දෙදෙනෙකුට සෑහෙන ලෙස ආහාර ගත යුතු නැහැ. මුල් මාස හය තුල බොහෝ කාන්තාවන්ට සාමාන්‍ය ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉන් පසුව වුවත් ගර්භණී බව නිසා වැඩිපුර අවශ්‍ය වන්නේ දිනකට කැලරි 200ක් තරම් සුළු ප්‍රමාණයක්. මෙම වැඩිපුර කැලරි ප්‍රමාණය සාමාන්‍යයෙන් පාන් පෙති දෙකකින් ලැබෙන කැලරි ප්‍රමාණයට සමානයි. 8. උදේ ආහාරය නොවරදවාම ලබාගන්න. 9. ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව උදය වරුවේ සහ හවස් වරුවේ අමතර සුළු ආහාර වේල් දෙකක් ගැනීම සුදුසුයි. නමුත් මෙමගින් දවස තුල ගන්නා සම්පූර්ණ කැලරි ප්‍රමාණය වැඩි නොවිය යුතුයි. ගර්භණී සමයේ බර ගැන. ඔබේ බර නියමිත අගයේ තිබේ දැයි ශරීර ස්කන්ධ දර්ශකය (BMI) මගින් දැන ගත හැකියි. එම අගය 18.5 අඩු නම් ඔබගේ බර ප්‍රමාණවත් නැහැ. 25ට වඩා වැඩි නම් ඔබගේ බර වැඩියි. බර වැඩි නම් ගර්භණී සමයේ සංකූලතා ඇති වීමට වැඩි අවදානමක් තිබෙනව. නමුත් මේ බර අඩු කර ගැනීමට සුදුසු කාලයක් නෙමෙයි. ආහාර අඩු කිරීම සහ අධික ව්‍යායාම කිරීම ගර්භණී මවකට සුදුසු නැහැ. ගර්භණී මවට විටමින් අපේ ශරීරයට අවශ්‍ය විටමින වර්ග ලැබෙන්නේ අපි ගන්නා ආහාර වලින්. විටමින් D පමණක් හිරු එළියෙන් ලැබෙනව. බොහෝ කාන්තාවන්ගේ ආහාර පුරුදු නිසා සමහර විටමිනයන් අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට ලැබෙන්නේ නැහැ. එම නිසා සමහර විටමින අමතරව ලබාගැනීමට සිදු වෙනව. මින් ප්‍රධානතම විටමිනය වන්නේ ෆෝලික් අම්ලයයි. ගර්භණී මවකට දිනකට අමතර ෆෝලික් ඇසිඩ් මයික්‍රො ග්‍රෑම් 400ක් පමණ අවශ්‍යයි. මෙය පෙත්තක් වශයෙන් ලබා ගත හැකියි. ෆෝලික් අම්ලය වැඩෙන දරුවාගේ කොඳු ඇට පෙල සම්බන්ධ ස්නායු පද්ධතිය සහ මොළයේ වර්ධනයට අත්‍යාවශ්‍ය විටමිනයක්. සාමාන්‍යයෙන් ගැබ් ගැනීමට පෙර සිට සති 13ක් දක්වා කාලය තුල මෙම විටමිනය දිනපතා ලබා ගැනීමෙන් මොළයේ සහ ස්නායු පද්ධතිය සම්බන්ධ අසාමාන්‍යතා ඇති දරුවන් බිහි වීම අඩු කර ගත හැකියි. අධික තරබාරු කම, දියවැඩියාව, අපස්මාරය සඳහා ඖෂධ භාවිතය, තැලසීමියා වැනි රෝග තත්ව සහ පවුලේ කෙනෙකුට හෝ දරුවෙකුට spina bifida නමැති තත්වය තිබීම වැනි අවදානම වැඩි අවස්ථා වන් වලදී ස්නායු පද්ධතිය සම්බන්ධ අසාමාන්‍ය තාවයන් ඇති වීමට වැඩි අවදානමක් තිබෙනව. එවිට ‍ ෆෝලික් අම්ලය වැඩි මාත්‍රාවකින් (5mg) නිර්දේශ කරනව. විටමින් D හිරු එළියෙන් ලැබෙන නිසා ලංකාව වැනි රට වල ඌනතා ඇතිවීම විරලයි. නමුත් අධික තරබාරු බව, බොහෝ විට ගොඩනැගිලි තුලම කාලය ගත කිරීම, කිරි ආහාර නො ගැනීම වැනි හේතු මත විටමින් D අමතරව ලබා ගැනීම නිර්දේශ කරනව. විටමින් K ලේ කැටි ගැසීම නිසි ලෙස පවත්වා ගැනීමට වැදගත් විටමිනයක්. මෙය අඩු වීමෙන් උපදින දරුවාගේ රුධිර වහනයට අවදානම වැඩි වෙනව. ඔබ අපස්මාරයට ඖෂධ ගන්නේ නම් හෝ අක්මාවේ රෝග තත්වයක් ඇත්නම් මෙම විටමිනය අමතරව ලබා ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන්. විටමින් A අතිරික්ත ලෙස ලබා ගැනීම වැඩෙන දරුවාට හානිකර වෙන්න පුළුවන්. එමෙන්ම අනිකුත් විටමින වර්ග අමතරව ලබාගැනීම සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ නැහැ. ලංකාවේ බොහෝ කාන්තාවන් යකඩ ඌනතාවයෙන් පෙලෙනව. එම නිසා යකඩ පෙති ලෙස ලබා ගැනීම නිර්දේශ කරනව. නමුත් රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම සාමාන්‍ය නම් මෙය ලබා ගැනීම අනිවාර්ය නැහැ. මුල් මාස තුනෙන් පසුව යකඩ පෙති ලබා ගැනීම වඩාත් සුදුසුයි...
ගර්භනී සමයේ දියවැඩියාව (Gestational Diabetes Mellitus)
කාන්තාවක් ගර්භනී භාවයට පත්වීමෙන් පසු ඇයගේ රුධිරයේ සීනි මට්ටම ග්ලුකෝස් මට්ටම ඉහල යාම ගර්භනී සමයේ දියවැඩියාව ලෙස හඳුන්වයි. මෙය වැඩිහිටි වයසේ අයට වැළඳෙන දියවැඩියා තත්වයට වඩා වෙනස් අවධානය යොමු කළයුතු විශේෂිත රෝගී තත්වයකි. මෙම දියවැඩියා තත්වය දරු ප්‍රසූතියෙන් සුළු කාලයකට පසු නැවත ප්‍රකෘති තත්වයට පත් වන බව හඳුනා ගත හැකිය. ගර්භනී සමයේ දියවැඩියාව සඳහා අවධානම් තත්වයක් ලෙස ශරීරයේ බර වැඩිවීම නැත්නම් ස්ථුල තාව හැඳිනවිය හැකියි, එමෙන්ම ඔබ මීට කලින් දරුවන් බිහි කළ මවක් නම් ඔවුන්ගේ බර කිලෝ ග්‍රෑම් 4ට වඩා වැඩි වූයේ නම් එහිදී ද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි වනු ඇත. එමෙන්ම ඔබ මීට පෙර ගර්භනී අවස්ථාවලදී  දියවැඩියාව  වැළඳුණු කාන්තාවක් නම් එහිදීද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානමට ලක් වනු ඇත. තවද ඔබේ පවුලේ මව පියා හෝ සහෝදර සහෝදරියක් දියවැඩියා රෝග තත්වයෙන් පෙලෙන්නේ නම් එවැනි අවස්තාවකදී ඔබට  ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම ඉහල මට්ටමක පවතී. විශේෂයෙන්ම  දකුණු ආසියාතික රට වල ජීවත් වන සියලු  ජනතාවට දියවැඩියාව වැළදීමේ අවදානම ලෝකයේ සෙසු රටවල ජීවත් වන පුද්ගලයන්ට වඩා ඉහල බව සිදු කර ඇති සමීක්ෂණ වලින්ද තහවුරු වී තිබෙනවා. ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත්දැයි දැන ගන්නේ කෙසේද? ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි පරීක්ෂා කර ගැනීමට කළ යුත්තේ ගැබ් ගෙන සති 12ක් ඉක්ම ගිය පසු  PPBS රුධිර පරීක්ෂණයක් සිදු කර ගැනීමයි. ඒ සඳහා ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට පමණ පසු මෙම රුධිර පරීක්ෂණය සිදු කළ යුතු වනවා. මෙමගින් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි කල් තියා හඳුනා ගත හැකි වන නමුත් මෙය 100% සාර්ථක පරීක්ෂණයක් නොවන බවද අප වටහා ගත යුතු වනවා. මෙම රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵලය  සාමාන්‍යය  වුවද ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම තිබෙන්නට පුළුවන්. එම නිසා ගැබ් ගෙන සති 24 ත් 28ත් අතර කාලයේ දී  නැවතත් තවත් රුධිර පරීක්ෂණයක් සිදු කර ගත යුතු වනවා. එම රුධිර පරීක්ෂණය ග්ලුකෝස් ටොලරන්ස් ටෙස්ට් (OGTT) යනුවෙන් හඳුන්වනු ලබනවා. එම පරීක්ෂණය මගින් ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැලඳී ඇත් දැයි නිවැරදිව තහවුරු කර ගත හැකි වනු ඇති. ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී මෙන් ඇතිවන සංකූලතා ඔබ මෙම රෝගී තත්ත්වයෙන් පෙලෙන්නේනම් එහිදී කුසය තුල වැඩෙන දරුවාට හෝ ඔබට අවදානමක් ඇතිවිය හැකියි. නමුත් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති බොහෝ කාන්තාවන් කිසිදු සංකූලතාවයක් ඇති නොවූ  ඉතාම නිරෝගී දරුවන් බිහි කරන අවස්ථා දකින්න පුළුවන්. එම නිසා ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී  තිබුනද ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීම සිදු නොකළ යුතුයි. ඔබ කළ යුත්තේ ඔබගේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීමයි. දියවැඩියාව ගර්භනී සමයේ වැලඳීමෙන් ඇතිවිය හැකි අවදානම් තත්වයන් කිහිපයක් හඳුනාගත හැකියි. ප්‍රසූතියේ දී වැඩි බර දරු උපතක් සිදුවීමට ඉඩ ඇති හෙයින් මව සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට  සිදුවීම හෝ අඬු භාවිතය මගින් දරු උපත සිදු කිරීමට වීම ඒ අතර වනවා. එමෙන්ම ඉතාමත් කලාතුරකින් දරුවාට අවදානම් සහගත තත්වයන් ඇතිවීමට ද ගර්භනී සමයේ දියවැඩියාව බලපා හැකියි, එහි දී මල දරු උපතක් සිදු විය හැකි වනවා. ගර්භනී සමයේ දියවැඩියාව පාලනය කරන්නේ කෙසේද ගර්භනී සමයේ දියවැඩියාව ඉතා හොඳින් පාලනය කිරීම වඩා වැදගත් වනවා. මෙහි දී ඔබ කළ යුතු වන්නේ ඔබගේ වෛද්‍ය වරයා ලබා දෙන නිර්දේශ නිවැරදිව අනුගමනය කිරීමයි. නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීමට  එහි දී ඔබගේ වෛද්‍යවරයා පලමුව නිර්දේශ කරනු ඇති. විශේෂයෙන්ම ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවක් සීනි අධික ආහාර ගැනීම නොකළ යුතු වනවා. එමෙන්ම පිටි සහිත ආහාර (උදාහරණ ලෙස පාන් බනිස් ආදී ආහාර) ආහාරයට ගැනීම එතරම් සුදුසු වන්නේ නැහැ. සමහරක් කාන්තාවන්ට හොඳින් ආහාර පාලනය කිරීමෙන් පමණක් මෙම ගර්භනී සමයේ දියවැඩියා තත්ත්වයෙන් මිදීමට හැකි වනවා. ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් නමුත් ඔබට යම්කිසි හේතුවක් නිසා ප්‍රතිකාර අවශ්‍ය වුවහොත්   ඒ සඳහා ආකාර දෙකකින් ප්‍රතිකාර කළ හැකි වනවා. බෙහෙත් පෙති අධාරයෙන් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීම ඉන් එක්  අවස්ථාවක්. එමගින් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීමට  අපොහොසත් වුවහොත් ඉන්සියුලින් නමැති හෝමෝනය නික්ෂේපනය කළ යුතු වනවා. මෙහි දී රුධිර ගත සීනි මට්ටම නියමිත ලෙස පාලනය කිරීම වඩා වැදගත් වනවා. ඒ සඳහා ඇතැම් අවස්ථාවල දිනකට තෙවරක් රුධිර ගත සීනි මට්ටම පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ අනුව ප්‍රතිකාර වෙනස් කිරීම සිදු කරනු ඇති.  අමතර පරීක්ෂණ ප්‍රතිකාරවලට අමතරව දරුවාගේ වර්ධනය පරීක්ෂා කිරීම සඳහා අමතර ස්කෑන් පරීක්ෂණද සිදු කළ යුතු වනවා. දරුවාගේ බර වැඩි වනවාද දරුවාට යම් සංකූලතාවයක් ඇතිවී තිබේද යන්න එමගින් හඳුනා ගත හැකි වනවා . දරු ප්‍රසූතිය සැලසුම් කිරීම ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම නිරෝගී කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම ට වඩා වෙනස් ආකාරයකින් සිදු වනව. ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකට ගැබ් ගෙන සති 38 ත් 40ත් අතර කාලය තුල ප්‍රසූතිය සිදු කිරීමට අනුමත කරනු ඇති. දිය  වැඩියා තත්වයේ දරුනු භාවය මත මෙම කාලය වෙස් කිරීමට සිදුවනු ඇති. ..
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )
දරුවකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට සුපුරුදු පරිදි නියමිත දිනට මාස් ශුද්ධිය සිදු නො වීම මගින් ඔබ ගැබ් ගෙන ඇති බවට අනුමාන කළ හැකි වනවා. එහෙත් එය සැක හැර තහවුරු කර ගැනීමට ඔබ කළ යුතු වන්නේ පෙර ඔසප් වීමෙන් සති හතරකට පසු මුත්‍රා පරීක්ෂණයක් සිදු කිරීමයි. සාමාන්‍යයෙන් නිරෝගිමත් කාන්තාවකට (ක්‍රමානුකූල ඔසප් චක්‍රයක් ඇති) දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන අතර සමහර කාන්තාවන්ට මෙය දින 21-45ත් දක්වා වෙනස් වෙන්න පුළුවන්. බලාපොරොත්තු වන දිනට නියමිත ආකාරයෙන් ඔසප් වීම සිදු නොවිනි නම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ඔබ ගැබ් ගෙන ඇති දැයි සැක හැර දැන ගැනීමට හැකි වනවා. ඒ බව තහවුරු කර ගත් වහා ඔබ කළ යුත්තේ ඔබ පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරි වරිය මුණ ගැසී අදාල සායනයෙහි ලියාපදිංචි වීමයි. එම ලියාපදිංචි වීමට අමතරව සති 8ක් යන තුරු වෛද්‍ය පරීක්ෂණයකට ලක් වීම අනිවාර්ය නොවන අතර එම කාලය තුල ෆෝලීක් ඇසිඩ් යන විටමිනය ලබා ගත යුතු වනවා. එහෙත් ඒ වන විට ඔබ යම් කිසි රෝග තත්වයකින් පෙළන්නේ නම් හෝ කිසියම් රෝගයකට දැනටමත් ප්‍රතිකාර ගන්නේ නම් එවැනි අවස්ථාවක වහා වෛද්‍යවරයෙකු හමුවට යා යුතු වනවා. එසේ නොවන සාමාන්‍ය අවස්ථාවක දී ගැබ් ගැනීමෙන් සති 8ක් ඉක්ම ගිය විට දී ඔබ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසී පරීක්ෂා කර ගැනීම වැදගත් වනු ඇති. එහි දී මූලික වශයෙන් ස්කෑන් පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරනු ඇති. මුලික ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම එහි දී වැදගත් වන්නේ දරුවා බිහි වන දිනය නිවැරදි ලෙස තහවුරු කර ගැනීම උදෙසායි. සාමාන්‍යයෙන් මාස් ශුද්ධිය සිදු වී සති 40ක් ගිය පසු දරුවා බිහි කිරීමේ දිනය තීරණය කළ ද ක්‍රමානුකූල ඔසප් චක්‍රයක් නොමැති කාන්තාවන්ගේ ප්‍රසූත දිනය නිවැරදි ලෙස තහවුරු කර ගැනීම අපහසු වනවා. එවැනි අවස්ථාවක දී දරුවා ලැබෙන දිනය අනුමාන කිරීම අපහසු වනවා. එහෙත් මුලික ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාගේ ප්‍රමාණය නීර්ණය කිරීමට හැකි වන හෙයින් නිවැරදි ලෙස දරුවා බිහි වන දිනය ගණනය කිරීමට හැකි වනවා. එමෙන්ම මුලිකව සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ වලදී හිමෝග්ලොබින් පරීක්ෂාව වැදගත් වෙනවා. ලේ අඩු කම හෙවත් නීරක්ත තත්වයක ගැබිනි මව පසු වන්නේ නම් ඒ සඳහා ප්‍රතිකාරවලට යොමු වීමට මෙම හිමෝග්ලොබින් පරීක්ෂාව වැදගත් වෙනවා. ඊට අමතරව රුධිර ගණය සහ ආර් එච් සාධකය සොයා බැලීම ද සිදු කරනව. එහි දී මවගේ රුධිර ගණයේ ආර් එච් සාධකය ඍන වී දරුවාගේ රුධිර ආර් එච් සාධකය ධන වන අවස්ථාවක් ඇති වුව හොත් එනම් රුධිර ගණ දෙක නොගැළපෙන අවස්ථාවක් වුව හොත් එය දරුවාට සංකුලතා මතු කරවන්නක් නිසා තවදුරටත් රුධිර පරීක්ෂණ සිදු කළ යුතු වනවා. එමෙන් ම රුධිරයේ ග්ලුකෝස් මට්ටම පරීක්ෂා කර බැලීමෙන් ගර්භණී කාලයේ දියවැඩියාවට අවදානම පරීක්ෂා කර ගත හැකියි. ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයකදී කල යුතු දේ ගැන ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහන පහතින් නරඹන්න. ..
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)
දරු සුරුතල් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ කාන්තාවන් ට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි තමා ගැබ් ගෙන ඇති දැයි සැකහැර දැන ගැනීම. එමෙන්ම ඔබ අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුන අවස්ථාවකත් ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනව. පලමුවෙන් ම මේ බව දැන ගන්න පුළුවන් ලක්ෂණය තමයි නියමිත දිනට මාස් ශුද්ධිය සිදු නොවීම. සමාන්‍යයෙන් නිරෝගිමත් කාන්තාවකට දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනව (ක්‍රමාණුනුකූල ඔසප් චක්‍රයක් ඇති). නමුත් සමහර කාන්තාවන්ට මෙය දින 21-45ත් දක්වා වෙනස් වෙන්න පුළුවන්. බලාපොරොත්තු වන දිනට නියමත ආකාරයෙන් ඔසප් වීම සිදු නොවූනි නම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ඔබ ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගැනීමට හැකියි. දැනට ඖෂධහලකින් මිළදී ගැනීමට  ඇති මුත්‍රා පරීක්ෂණ පටියක් (Pregnancy strip ස්ට්‍රිප්) මගින් ඔබේ ශුද්ධ වීමට නියමිතව තිබූ දින පසු වූ වහාම ඔබ ගැබ්ගෙන ඇති දැයි දැන ගැනීමට හැකියාව තිබෙනව. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබේ ශුද්ධ වීමට නියමිතව තිබූ දින පසු වූ වහාම දිනයක අලුයම මුලින්ම  පිටකරන මුත්‍රා සාම්පලයකට මුත්‍රා පරීක්ෂණ පටියක් බහාලීම පමණයි. එම මුත්‍රා පරීක්ෂණ පටියෙහි වර්ණය වෙනස් වුයේ නම් ගර්භනී බව තහවුරු කර ගැනීමට හැකියාව තිබෙනව. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් නැවත සතියකින් පමණ පරීක්ෂා කිරීම සුදුසුයි. ..