ගර්භණී මවක් විසින් සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ

ගර්භණී මවක් විසින් සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ

ඔබ දන්නා පරිදි ගර්භණී සමයේ සුළු රෝග ලක්ෂණ ඉතාමත් ම සුලබයි. ඒ නිසා ඇතැම් විට ඔබ මෙවැනි රෝග ලක්ෂණ අමතක කර සිටීමට පුරුදු වෙනවා. නමුත් සමහර අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ යම්කිසි දරුණු රෝගී තත්වයක ලක්ෂණයක් විය හැකියි. එම නිසා මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නෙ ඔබ සුලු කොට නො තැකිය යුතු රෝගී තත්වයන් හා රෝගී ලක්ෂණයන් කිහිපයක් ගැනයි.

බඩේ වේදනාව

ගර්භණී කාලයේ බඩේ මැද ප්‍රදේශයේ නාභිය ආසන්නයේ තද වේදනාවක් ඇති වුව හොත් හා ඒ සමගම වමනය ඇතිවුන හොත් එය සාමාන්‍ය නැහැ. තවද, නාභියට ඉහල දකුණු ප්‍රදේශයේ තදබල වේදනාවක් ඇති වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. මෙය preeclampsia හෙවත් ගර්භණී සමයේ අධික ලෙස වැඩි වන රුධිර පීඩනය නිසා ඇති වන සංකූලතාවයක් විය හැකියි. එමෙන්ම ගර්භණී සමයේ මුල් මාස තුන තුල ඇති වන යටිබඩෙහි වේදනාව සුළු කොට නො තැකිය යුතුයි. මෙය ගර්භාශයෙන් පිටත දරු ගැබ පිහිටීමේ ලක්ෂණයක් හෝ දරු ගැබට හානියක් වීමේ පෙර ලක්ෂණයක් වන්නට පුළුවන්. fibroid වැනි ගෙඩියක් සංකූලතාවයකට පත්වීමෙනුත් යටිබඩේ වේදනාවක් විය හැකියි. ගර්භණී සමයේ අවසාන කාලයේ දී මෙවැනි තත්වයක් ඇතිවීම දරුවා නියමිත කාලයට පෙර බිහි වීමේ අවදානම් තත්වයක් විය හැකියි. එසේම මෙවැනි අධික වේදනාවක් ඇතිවීම දරුවා බිහි කිරීමට පෙර වැදෑමහ බිත්තියෙන් ගැලවීම හෙවත් placental abruption නමැති ඉතාමත් අවදානම් තත්වයක් විය හැකියි. මේ නිසා යම් කිසි අවස්ථාවක උදරයේ අධික වේදනාවක් ඇති වේ නම් වෛද්‍ය උපදෙස් ලැබිය යුතුයි.

උණ

ඔබට ගර්භණී සමයේ උණ තත්වයක් ඇතිවුව හොත් එය ඉතාම ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. මන්ද යත් influenza රෝගී තත්වය ගර්භණී මාතාවන්ට මරු කැඳවන රෝගී තත්වයකි. පසුගිය වසරේ influenza රෝගය නිසා මාතෘ මරණ කිහිපයක් ම වාර්තා වී තිබුනි. එම නිසා ඔබට දවසේ පැය 24 කට වඩා උණ පවතී නම් රෝහල් ගත වීම පරීක්ෂා කරවා ගැනීම ඉතාමත් ම වැදගත්. රෝහලේ දී මේ පිළිබඳ පරික්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ හැකියාව තිබෙනවා. කිසිවිටකත් පැය 24 කට වඩා පවතින උණ රෝගී තත්වයකදි වෛද්‍ය උපදෙස් ලබා නො ගෙන නො සිටිය යුතුයි.

ඇස් පෙනීමේ වෙනසක් ඇතිවීම

ඔබගේ ඇස් පෙනීමේ වෙනසක් එනම් බොඳ වී යාමක් හෝ වරින් වර එළියක් පෙනී නොපෙනීයාමේ තත්වයක් වැනි අසාමාන්‍ය තාවයක් ඇතිවුව හොත් එය preeclampsia යනුවෙන් හඳුන්වන ගර්භණී සමයේ ඇති වන අධික රුධිර පීඩනයේ ලක්ෂණයක් විය හැකියි. එම නිසා එවැනි රෝගී තත්වයක් පවතී නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. එමෙන්ම තදබල හිසරදයක් පවතී නම් එයත් preeclampsia නැමති රෝගී තත්වයේ ලක්ෂණයක් විය හැකියි. එම නිසා වහාම වෛද්‍ය උපදෙස් ගන්න.

යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම

මුල් මාස තුන ඇතුළත යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් ඇතිවුව හොත් එය ගබ්සාවක හෝ ගර්භාෂයෙන් පිටත දරුවා පිහිටීම නිසා ඇති වන ectopic pregnancy රෝගී තත්වයේ ලක්ෂණයක් විය හැක. මේ නිසා වෛද්‍ය උපදෙස් මත scan පරීක්ෂණයක් සිදු කරවා ගැනීම වැදගත්. ඔබගේ සති 20 scan පරික්ෂාවෙන් පසු රුධිර වහනයක් ඇති වුවහොත් එය දරුවා නියමිත දිනට පෙර බිහි වීමට යන තත්වයක් හෝ වැදෑමහ ගැලවීයාම නිසා ඇති වන තත්වයක් විය හැකියි. වැදෑමහ පහලින් පිහිටා තිබීම placenta previa යනුවෙන් හඳුන්වන අතර එවැනි තත්වයක් නිසාත් වරින් වර රුධිර වහනයක් ඇති විය හැකි අතර එම රෝගී තත්වය scan පරික්ෂාවක් මගින් කලින් හඳුනා ගත හැකියි.

යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීම

ගර්භණී සමයේ අවසාන කාලයේ යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිට වන්නේ නම් මෙය දරු ගැබ ආරක්ෂා කරන පටල (water bag) බිදීයාම නිසා ඇතිවන්නක් විය හැකියි. මෙවැනි අවස්ථාවක ඊළඟ පැය කිහිපයේ දී හෝ දින කිහිපයක් ඇතුළත දරුවා බිහි වීමේ හැකියාව පවතී. එමෙන්ම ගර්භාෂයට විෂබීජ ආසාදනය වීමේ අවදානමක් ද පවතී. එවැනි අවස්ථාවක ඉක්මනින් රෝහල් ගත විය යුතුයි.

මුත්‍රා දැවිල්ල

ඔබ මුත්‍රා කරන අවස්ථාවක දැවිල්ලක් හෝ වේදනාවක් ඇති වන්නේ නම් මෙය මුත්‍රා ආසාදනයක රෝගී තත්වයක් විය හැකියි. ඒ සමගම උණ, යටිබඩ වේදනාව සහ ශරීරයට අපහසු බව හෝ කොන්දේ පැත්තක ඇති වන වේදනාව ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත්.

වමනය

දිගින් දිගටම පවතින වමනය තවත් රෝගී ලක්ෂණයකි. සාමාන්‍යයෙන් ඇති වන ඕක්කාරය සහ විටින් විට ඇති වන වමනය ගර්භණී සමයේ මුල් මාස කිහිපය තුල බහුලව දක්නට ලැබෙන ලක්ෂණයකි. නමුත් ඔබට දිගින් දිගටම වමනය යන්නේ නම් කිසිදු ආහාරයක් ලබා ගැනීමට මේ නිසා නො හැකි වන්නේ නම් මෙය රෝහල් ගත වී පරීක්ෂා කරවා ගත යුතු තත්වයකි. ගර්භණී සමයේ මුල් මාස කිහිපයෙන් පසුව වමනය ඇති වන්නේ නම් මෙය වකුගඩු සම්බන්ධ, අක්මාව සම්බන්ධ හෝ අධි රුධිර පීඩනය සම්බන්ධ රෝගී තත්වයක් විය හැකියි. මේ නිසා ගර්භණී සමයේ මුල් මාස 3න් පසුව ඔබට අධික වමනයක් ඇතිවුව හොත් රෝහල් ගත වීම ඉතාමත් ම වැදගත් වේ.

කැසීම

ඇඟ කැසීම එසේත් නොමැති නම් අත් හෝ පාද වල කැසීමක් ඇතිවීම ගර්භණී සමයේ සුලභ ලක්ෂණයක් නොවේ. නමුත් එවැනි අවස්ථාවක ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙවැනි සමේ කැසීමේ රෝග තත්වයක් ඇති කල හැකි අක්මාවට බලපාන දරුණු රෝගී තත්වයන් (obstetric cholestasis) පවතින බැවින් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතුයි.

ඉහත කී රෝග ලක්ෂණයන්ට අමතරව ඔබට කිසියම් හෝ අපහසුතාවක් දැනෙන්නේ නම් හෝ ඔබ නිරෝගී තත්වයෙන් පසු නොවන බව හැඟෙන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.


SHARE THIS WITH FRIENDS ON