Results for Tag: Gynaecology (44)
ගර්භාෂය පහත් වීම. (Pelvic organ prolapse)
ගර්භාෂය සහ යෝනි මාර්ගය කාන්තාවකගේ ශ්‍රෝණි කුහරය තුල රඳවා තබා ගන්නේ ඊට පහලින් පිහිටි මාංශ පේශී සහ බන්ධනි මගින්. නමුත් වයසත් සමග මෙම පටක වල ශක්තිමත් බව අඩු වෙනව. එ් සමගම බොහෝ කාන්තාවන් අත්දකින රෝගී තත්වයක් තමයි ගර්භාෂය පහත් වීම. මෙය සුලබ තත්වයක්. වයස අවුරුදු 50 වැඩි කාන්තාවන් ගෙන් 50% කට පමණ ගර්භාෂය පහත් වීම යම් ප්‍රමාණයකට තිබෙන නමුත් හැමෝටම ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම තත්වයට ප්‍රධාන හේතුව ආර්ථවහරනයට පසු කාන්තාවගේ රුධිරයේ ඊස්ට්‍රජන් නමැති හෝමෝන මට්ටම අඩු වීම. එම නිසා ගර්භාෂය රඳවා තබා ගන්නා මාංශපේශි වල ශක්තිමත් බව අඩු වෙනව. ඊට අමතරව ගර්භණී බව, දරු ප්‍රසූතියේ දී පටක ඇදීමට ලක් වීම, ප්‍රසූතිය සඳහා අඬු භාවිතය, අධික තරබාරු කම, සහ ජානමය සාධක මේ සඳහා හේතු වෙන්න පුළුවන්. දිගින් දිගට පවතින කැස්ස, මල බද්ධය, අධික බර ඉසිලීම වැනි හේතු නිසා ගර්භාෂය පහත් වීම වැඩි වන්න පුළුවන්. මූලික අවස්තාවේදී බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ ඇති වන්නේ නැහැ. මේ නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණ වනුයේ යෝනි මාර්ගය තුල යමක් පහත් වන බව දැනීම ගර්භාෂය පිටතට දැනෙන/ පෙනෙන ලෙස පහත් වීම මුත්‍රා පිට කිරීමේදී අපහසුතා ඇති වීම, මුත්‍රා ආසාදන ඇති වීම මල පහ කිරීමේදී අපහසුතාක් දැනීම ලිංගික සංසර්ගයේ දී අපහසුතාව යක් ඇතිවීම‍   මෙවැනි රෝග ලක්ෂණ ඇති නම් වෛද්‍ය වරයෙකු හමුව පරීක්ෂා කරවා ගෙන ගර්භාෂය පහත් වී ඇති දැයි දැන ගත හැකියි. මෙම තත්වය ප්‍රධාන ආකාර තුනකින් ඇති වෙනව. බහුලව ම දකින්නට ලැබෙන්නේ යෝනි මාර්ගයේ ඉදිරි පස බිත්තිය පමණක් පහත් වීම. මෙය cystocele ලෙස හඳුන්වන අතර සමහර විට ගර්භාෂය පහත් වීමකින් තොරව මෙම තත්වය පමණක් ඇති වෙන්න පුළුවන්. ගර්භාෂය යෝනි මාර්ගය හරහා පහලට පැමිණීම දෙවන ආකාරයයි. යෝනි මාර්ගයේ පිටුපස බිත්තිය පහත් වීම අනික් ආකාරයයි. මෙය rectocele ලෙස හඳුන්වනව. කිසිම රෝග ලක්ෂණයකින් තොරව ගර්භාෂය හෝ යෝනි මාර්ගයේ පහත් වීමක් ඇති බව හඳුනා ගත හොත් එයට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රතිකාර නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ මතයි. රෝග ලක්ෂණ අඩු කර ගැනීමටත් තවදුරටත් ගර්භාෂය පහත් වීම අඩු කර ගැනීමටත් පහත උපදෙස් පිළිපැදීමෙන්ක හැකියාව ලැබෙනව. 1. බර අඩු කර ගැනීම (ව්‍යායාම සහ ආහාර පාලනය මගින්) 2. දිගට පවතින කැස්සක් ඇත් නම් එය ප්‍රතිකාර මගින් පාලනය කිරීම 3. මලබද්ධය ඇතිවීම වළක්වා ගැනීම 4. අධික බර ඉසිලීමෙන් වැළකීම මීට අමතරව pelvic floor exercises ලෙස හඳුන්වන විශේෂිත ව්‍යායාම ක්‍රමය මගින් ගර්භාෂයට පහල ඇති මාංශ පේශීන් ශක්තිමත් කිරීම සිදු කල හැකියි. මෙම ක්‍රම වලින් පාලනය කිරීමට අපහසු ප්‍රමාණයකට ගර්භාෂය පහත් වූ විට ශල්‍ය කර්මයක් මගින් එය නිවැරදි කිරීම සිදු කරන්නේ. ගර්භාෂය පහත් වී නොමැතිව යෝනි මාර්ගය පමණක් පහත් වී ඇති නම් එය නිවැරදි කිරීමට ගර්භාෂය ඉවත් කිරීමකින් තොරව සිදු කල හැකියි.  එසේ නැතිනම් ශල්‍යකර්මයේ දී ගර්භාෂය ඉවත් කර යෝනි මාර්ගය අවට පටක අලුත්වැඩියාව සිදුකරනව. සමහර කාන්තාවන්ට ශල්‍යකර්මයකට පසුවත් නැවත යෝනි මාර්ගය පහත් වීමක් ඇති වී නැවත ශල්‍යකර්මයක් ලක් වීමට සිදු වෙන අවස්ථා තිබෙනව. ශල්‍යකර්මයකට සුදුසු නොවන රෝගීන් සඳහා ලෙස හඳුන්වන වලල්ලක ආකාරයේ උපකරණයක් යෝනි මාර්ගය තුල රැඳවීම සිදු කරනව. මෙමගින් පහත් වී තිබූ අවයව නැවත ඔසවා තබන නමුත් මෙය ස්ථිර ප්‍රතිකර්මයක් නොවෙයි. මෙම රෝග ලක්ෂණ සඟවා තබා නො ගෙන ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් මේ තත්වය නිසා ඇති වන අපහසුතා වන් අවම කර ගන්න පුළුවන්. ..
Vaccination against cervical cancer: Can we prevent cancer?
Even though, cervical cancer is widely known as a preventable cancer, around 900 to 1000 new cases of cervical cancer reported in Sri Lanka every year. This is the second commonest cancer among females in Sri Lanka. Two main prevention strategies have been introduced to prevent this. Traditional cervical cancer screening program with Pap smears can detect this cancer in early stages so that complete cure is possible. The new approach is to prevent cervical cancer by vaccination. The cause for this cancer is infection of the womb neck with Human Papiloma Virus (HPV).  Therefore, if you are  vaccinated against HPV infection it is very unlikely that you will get a cervical cancer in the future. HPV infection is a common infection and it does not usually cause symptoms. Therefore, you do not know whether you are infected with HPV or not. This virus spreads via sexual contact. So even if your daughter waits until marriage for sexual debut, or only has one partner in the future, she could still be exposed if her partner has been infected. Therefore, vaccination is the only effective preventive strategy for HPV infection hence the cervical cancer. This vaccine can prevent most cases of cervical cancer by protecting women against HPV infection. There are many types of HPV virus. However only few types of the virus causes cervical cancer. Two main high risk HPV types are type 16 and type 18. Currently, two types of vaccines providing protection against high-risk HPV types 16 and 18 have been licensed, and both of them are now available in Sri Lanka. 1. The    bivalent    vaccine    (effective against    types    16    and    18    only) 2. The    quadrivalent    vaccine    (contains    additional    protection    against    types    6    and    11,    which    are responsible for 90% of warts in anogenital area). Vaccine does not cause HPV infection because it does not contain active HPV virus. Both vaccines contain virus-like particles (VLPs), which are pieces shaped like the outer surface of a HPV. The vaccines stimulate development of antibodies against these VLPs, which, will prevent HPV infection in case of later exposure. The vaccines can prevent the infection if a girl is vaccinated before her sexual debut. Safety and efficacy of these vaccines are evaluated in clinical trials and considered very safe and effective.  ..
ලිංගික එක්වීම වේදනාකාරී වන වැජිනිස්මස් රෝග තත්වය
Vaginismus කියන තත්වය ඇති කාන්තාවන්ට ලිංගික සංසර්ගය බොහෝ දෙනෙකුට මෙන් ප්‍රියජනක අත්දැකීමක් නොවෙයි. මෙහි රෝග ලක්ෂණ විශාල පරාසයක් තුල විහිදෙනව. සමහර කාන්තාවන්ට මේ නිසා ලිංගික සංසර්ගය ආරම්භයේ දී පමණක් සුළු වේදනාවක් ඇතිවෙන නමුත් මෙය දරුණු ලෙස බලපාන කාන්තාවන් අධික වේදනාව නිසා සම්පූර්ණයෙන්ම ලිංගික ක්‍රියාවලියෙන් බැහැර වෙනව. මෙය සුලබ තත්වයක් වුවත්, මේ ගැන එලි පිට කතා කිරීමට ඇති අපහසුතාව නිසා බොහෝ කාන්තාවන් මෙය හෙලි කිරීමට හෝ ප්‍රතිකාර ලබාගැනීමට මැලි කමක් දක්වනව. කිසිවෙක් ඇසට ඇඟිල්ලෙන් ඇනීමට උත්සාහ කල හොත් ඇසි පිය ඉබේම පියවෙන බව ඔබ අත්දැකීමෙන් දන්නව. මෙලෙස වන්නේ  කලින් ඉගන ගෙන ඇති පරිදි මාංශ පේශී ඉබේම ප්‍රතික්‍රියා දක්වන නිසා. මෙය හිතා මතා කරන දෙයක් නොවන නිසා වැළැක්වීමේ හැකියාවක් ඔබට නැහැ. ඒ වගේම තමයි vaginismus ඇති කාන්තාවකගේ යෝනි මාර්ගය වටා ඇති මාංශ පේශි ක්‍රියා කරන්නෙ. ලිංගික සංසර්ගයට හෝ යෝනි පරීක්ෂණයට සූදානම් වන විට මෙම මාංශ පේශි තදින් සංකෝචනය වන නිසා යෝනි මාර්ගය වැසෙනවා. එබැවින් සංසර්ගය වේදනාකාරී හෝ සම්පූර්ණයෙන්ම සංසර්ගයේ යෙදීමට නො හැකි වෙනව. මේ නිසා ඔවුන් තම යෝනි මාර්ගය කුඩා යැයි සිතන්න පෙලඹෙනවා. සමහර විට මේ තත්වයට පැහැදිලි හේතුවක් හොයා ගන්න අපහසුයි. නමුත් බහුතරයකට හේතු වන්නේ කලින් ඇතිවූ වේදනාකාරී හෝ අප්‍රසන්න අත්දැකීමක්. කුඩා කල ලිංගික අතවරයකට ලක් වීම, වේදනාකාරී වෛද්‍ය පරීක්ෂණ, වැනි අත්දැකීම් මෙම තත්වයට හේතු වෙන්න පුළුවන්. එමෙන්ම ලිංගිකත්වය පිළිබඳ පවතින දැඩි ආගමික හෝ සංස්කෘතික මත නිසා සමහර කාන්තාවන්ට මානසික බලපෑම් ඇතිවෙනව. මේ සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනව. තත්වය දරුණු වීමට පෙර ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. Vaginismus ඇති කාන්තාවකගේ යෝනි මාර්ගය කුඩා නැහැ. එම නිසා එය විශාල කිරීම නොවෙයි ප්‍රතිකාර මගින් සිදු කරන්නේ. අවිඥානකව හැකිළීමට පුරුදු වී ඇති මාංශ පේශී සැහැල්ලුව තබා ගැනීමට හුරු කිරීමයි ප්‍රතිකාර මගින් සිදු කරන්නේ. මුලින් ම මීට හේතු වී ඇති කරුණු සොයා බලා මානසික සහනයක් ලබා දීම කල හැකියි. මේ තත්වයට හේතු වන්නේ ශ්‍රෝණි කුහරයේ පහලම ඇති මාංශ පේශී. එම මාංශ පේශී සංකෝචනය සහ ඉහිල් කිරීම Kegel exercises නමැති ව්‍යායාම ක්‍රමය මගින් පුරුදු කල හැකියි. මුත්‍රා පිට කරන අවස්ථාවක එය හිතා මතා නැවැත්වීමට උත්සාහ කල හොත් මෙම මාංශ පේශී සමූහය ක්‍රියාත්මක වෙනව. ඒවා හඳුනා ගෙන් සංකෝචනය සහ ඉහිල් කිරීමට පුරුදු කිරීම තමයි මෙම ව්‍යායාම මගින් සිදු කරන්නෙ. ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් මාංශ පේශී ඉහිල්ව තබා ගැනීමට පුරුදු කිරීම සිදුකරනව. මින් එක ක්‍රමයක් වන්නේ ලිහිසිකාරක ආලේපනයක් යොදා ගෙන තම ඇඟිල්ලක් යෝනි මාර්ගයට ඇතුල් කිරීම. මෙහි දී ප්‍රතිරෝධයක් නො දැනේ නම් ක්‍රම ක්‍රමයෙන් ඇඟිලි 2ක් 3ක් දක්වා වැඩි කරන්න කාන්තාවට උපදෙස් දෙනව. මේ සඳහා විශේෂයෙන් සැකසූ vaginal dilators නම් උපකරණ ද භාවිතා කල හැකියි. සමහර විට මෙම ප්‍රතිකාර සඳහා සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා ගත වෙන්න පුළුවන්. මෙම අභ්‍යාස වලින් යෝනි මාර්ගයේ ප්‍රමාණය සහ මාංශපේශි ක්‍රියාකාරිත්වය ගැන කාන්තාව මානසික ව සෑහීමකට පත්වීමෙන් පසු පමණක් ලිංගික සංසර්ගය සඳහා උත්සාහ කල යුතුයි. එහි දී වේදනාවක් දැනෙන ඕනෑම අවස්ථාවක නැවැත්වීමට ඇති හැකියාව ගැන කාන්තාව සෑහීමකට පත් විය යුතුයි. 90%ක් පමණ කාන්තාවන්ට මෙම ප්‍රතිකාර අවසානයේ මෙම තත්වයෙන් මිදීමට හැකියාව ලැබෙනව. කලාතුරකින් යෝනි මාර්ගයේ විවරය ඉතා කුඩා කාන්තාවන් සිටිනව. එවැනි අයට විශාල කිරීමේ සුළු ශල්‍යකර්මයක් අවශ්‍ය වෙනව. මීට අමතරව යෝනි මාර්ගයේ ආසාදන, සමේ රෝග තත්ව, එන්ඩොමෙට්‍රියෝසිස්, ගර්භාෂයේ හෝ ඩිම්බ කෝෂ වල අසාමාන්‍යතා, ලිංගික ව බෝවෙන රෝග සහ ශ්‍රෝණි කුහරය තුල ආසාදන වැනි තත්ව නිසාත් ලිංගික එක්වීමේ දී වේදනාව ඇති වන්න පුළුවන්. නාරිවේද වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීමෙන් පසු හේතුවට අනුව සුදුසු ප්‍රතිකාර ගැනීමෙන් මේ තත්වයන් සුව කර ගත හැකියි...
ගර්භාෂයේ පිළිකා හඳුනා ගන්නේ කොහොමද? (Endometrial Cancer)
ගර්භාෂය යනු පෙයාස් ගෙඩියක හැඩය ඇති අවයවයක්. මෙය සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් මාංශ පේශි වලින්. ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ආවරණය කරන endometrium නමැති සෛල ස්තරයක් තියනවා. මෙම සෛල ස්තරයෙන් හට ගන්නා පිළිකා තමයි සාමාන්‍යයෙන් ගර්භාෂයේ පිළිකා යනුවෙන් හඳුන්වනු ලබන්නේ. කාන්තාවන්ට ඇතිවෙන පිළිකා අතරින් ගර්භාෂයේ පිළිකා ප්‍රධාන තැනක් ගන්නවා. සාමාන්‍යයෙන් තරුණ කාන්තාවන් අතර මෙම පිළිකාව එතරම් සුලබ නැහැ. නමුත් ආර්ථවහරණයෙන් පසු කාන්තාවකට ගර්භාශයේ පිළිකා සෑදීමේ අවදානම වැඩි වෙනව. මේ නිසා ආර්ථවහරණයෙන් පසු ඇතිවෙන කිසියම් හෝ රුධිර වහනයක් මෙම පිළිකාවක ලක්ෂණයක් විය හැකි බැවින් එය සුලු කොට තැකිය යුතු රෝග ලක්ෂණයක් නොවෙයි. ස්ථුලතාවය, හෝමෝන ප්‍රතිකාර ලබාගැනීම වැනි හේතූන් මෙම පිළිකාව ඇතිවීමට අවදානම් සාධක ලෙස හඳුන්වනවා. මෙහි ප්‍රධානතම රෝගී ලක්ෂණය වන්නේ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස රුධිර වහනයයි. යම්කිසි කාන්තාවකට අසාමාන්‍ය‍ ලෙස රුධිර වහනයක් තිබේ නම් සාමාන්‍යයෙන් වෛද්‍යවරු පිළිකාවක් ඇත් දැයි පරීක්ෂා කිරීමට පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන් කාන්තාවකගේ වයස අවුරුදු 50කට වැඩි නම්, එසේත් නැත්නම් කාන්තාවක් ආර්ථවහරනයට පත්වී ඇත්නම් යෝනි මාර්ගයෙන් සිදු වන රුධිර වහනයක් කිසිසේත්ම සාමාන්‍ය නැහැ. එවැනි අවස්ථාවක ඉක්මනින් ම පරීක්ෂණ සඳහා යොමු වීම වැදගත්. මෙම පිළිකාව හඳුනා ගැනීමට මූලික පරීක්ෂණ කිහිපයක් තිබෙනවා. 1. ස්කෑන් පරීක්ෂාව ස්කෑන් පරීක්ෂාවක් මගින් ගර්භාෂයේ ඇතුළත ඇති endometrium නමැති ඉතා තුනී බිත්තිය ඉතා පැහැදිලිව දැක ගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් ස්කෑන් පරීක්ෂාවක් යෝනි මාර්ගය තුලින් සිදු කරන අතර එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඝනකම නිර්ණය කිරීමට හැකියාව ලැබෙන අතර එහි යම්කිසි අසාමාන්‍යතාවක් ඇත් දැයි වෛද්‍යවරයාට පරීක්ෂා කිරීමේ හැකියාව ලැබෙනවා. එමගින් එහි පිළිකාවක ලක්ෂණ තිබෙනවා ද නැතිනම් එහි පිළිකාවකට අවදානම් තත්වයක් තිබෙනවා ද කියා අනුමාන කිරීමට හැකියි. 2. Endometrial Biopsy ගර්භාෂයේ ඇතුළත බිත්තියේ කුඩා සාම්පලයක් ගෙන පරීක්ෂණාගාරයට යැවීම තුලින් මේ පිළිබඳ ව සැක හැර දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා.  මෙම පරීක්ෂණය endometrial biopsy යනුවෙන් හැදින්වෙනවා. මෙම පරීක්ෂණය සිහි නැති කිරීමෙන් හෝ වේදනා නාශකයකින් තොරව සායනයකදි සිදු කල හැකි සරල පරීක්ෂණයකි. නමුත් කලකට ඉහත දී මෙම පරීක්ෂණය සිදු කලේ ශල්‍යාගාරයක් තුල සිහි නැති කිරීමෙන් පසුවයි. එම පරීක්ෂණය D&C යනුවෙන් හඳුන්වනු ලැබේ. දැනට endometrial biopsy යනුවෙන් හඳුන්වන පරීක්ෂණය සඳහා නිර්වින්දනයක් හෝ වේදනා නාශක ඖෂධයක් අවශ්‍ය වන්නේ නැහැ. 3. Hysteroscopy පරීක්ෂාව Hysteroscopy පරීක්ෂාවේ දී ගර්භාෂය ඇතුළත කුඩා කැමරාවක් මගින් නිරීක්ෂණය කර පිළිකාවක් ඇත් දැයි ඉතාමත් ම නිවැරදිව දැන ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම පරීක්ෂණයත් මිලි මීටර 4ක පමණ ප්‍රමාණයේ ඉතා කුඩා උපකරණයක් භාවිතා කර නිර්වින්දනයකින් තොරව සිදු කල හැකියි. ඉහත පරීක්ෂණ මගින් ගර්භාෂයේ පිළිකාවක් තිබේ දැයි ඉතාමත් ම නිවැරදිව හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මූලික අවස්ථාවක ගර්භාෂයේ පිළිකාවක් හඳුනා ගත හොත් එය බොහෝ විට සුව කල හැකියි. මේ නිසා ප්‍රතිකාර වලට යොමු වීම ඉතාමත් ම වැදගත්. ගර්භාෂයේ ඇතිවෙන පිළිකා සඳහා සිදු කරන ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ම තිබෙනවා. ප්‍රධාන වශයෙන් ම සිදු කරන ක්‍රමය තමයි ශල්‍යකර්මයක් මගින් ගර්භාෂය, ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාලයන් ඉවත් කිරීම. මෙම ශල්‍යකර්මය සිදු කල හැකි ආකාර කිහිපයක් ම තිබෙනවා. මින් ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය ශල්‍යකර්මයයි. ශල්‍යකර්මයේ දී ගර්භාෂය ඩිම්බ කෝෂ හා පැලෝපීය නාල ඉවත් කිරීම සිදුකරනව. ඊට අමතරව සමහර අවස්ථා වලදී උදර කුහරය තුල ඇති සහ ශ්‍රෝණි කුහරය තුල ඇති වසා ගැටිති ඉවත් කිරීමකුත් සිදු කිරීමට පුළුවන්. මෙම ශල්‍යකර්මය සාමාන්‍ය‍යෙන් සිදු කරන්නේ විවෘත ශල්‍යකර්මයක් ලෙසයි. නමුත් මෙම ශල්‍යකර්මය laparoscopy හෙවත් කුඩා කැමරාවක් ආධාරයෙන් බලා ඉතාමත් කුඩා කැපුම් කිහිපයක් උදරයේ ඇති කරමින් සිදු කිරීමේ හැකියාව දැන් තිබෙනවා. එහි දී ශල්‍යකර්මයෙන් පසු නැවතත් ප්‍රකෘති තත්වයට පත්වීම ඉතාමත් ම වේගවත්.  එමෙන්ම වේදනාවත් අවමයි. Laparoscopy ක්‍රමයට මෙම ශල්‍යකර්මය කිරීමේ පහසුකම දැනට ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඒවගේම නවතම තාක්ෂණය යොදා ගනිමින් robotic hysterectomy නමැති ශල්‍යකර්ම ක්‍රමය දැන් ලෝකයේ හඳුන්වා දී තිබෙන නමුත් මේ විට ශ්‍රී ලංකාවේ ඒ සඳහා පහසුකම් නැහැ. ශල්‍යකර්මයෙන් පසු සාමාන්‍යයෙන් බොහෝ රෝගීන් සම්පුර්ණයෙන් සුවය ලබනවා. නමුත් සමහර රෝගීන්ට ශල්‍යකර්මය තුල දී ඉවත් කිරීමට නො හැකි වසා ගැටිති තුල තිබෙන පිළිකා සෛල ඉවත් කිරීම සඳහා විකිරණ ප්‍රතිකාර නිර්දේශ කිරීමක් සිදුකරනව. සාමාන්‍යයෙන් ගර්භාශයේ ප්‍රතිකාර සඳහා පිළිකා නාශක ඖෂධ භාවිතා කරන්නේ නැහැ. නමුත් සමහර රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වන්නට පුළුවන්. ඒවගේම හෝමෝන ප්‍රතිකාර ක්‍රමත් යොදා ගන්නා අවස්ථා තිබෙනවා. එහි දී progesterone නමැති හෝමෝනය ඉතාමත් ම අධික මාත්‍රාවකින් මෙම ප්‍රතිකාර සඳහා යෙදා ගන්නවා. මූලික අවස්ථාවේ දී හඳුනා ගන්නා ගර්භාෂයේ පිළිකාවන් බොහෝමයක් සම්පුර්ණයෙන් සුව කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ප්‍රමාද වී හඳුනා ගන්නා ගර්භාෂයේ පිළිකා සම්පුර්ණයෙන් සුව කල නො හැකියි. කෙසේ වෙතත් ප්‍රතිකාර මගින් ජීවිත කාලය දීර්ඝ කිරීමත්, ඇතිවෙන රෝග ලක්ෂණ අවම කිරීමටත් හැකියාව තිබෙන නිසා ඔබට පිළිකාවක් ඇත්නම්  ප්‍රතිකාර සඳහා විශේෂිතවු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඉතා ඉක්මනින් යොමු වීම  ඉතාමත් ම වැදගත්...
ඩිමබ කෝෂයේ පිළිකා (Ovarian cancer)
කාන්තාවකට ඩිම්බ කෝෂ දෙකක් තිබෙනවා. මේවායින් මසකට වරක් ඩිම්බයක් පිටවීම සිදු වනවා. ඩිම්බ කෝෂ දෙක පිහිටා තිබෙන්නෙ ගර්භාෂයට ආසන්න ව ඊට පිටුපසින්. ඩිම්බ කෝෂයක ඇති වන බොහෝ ගෙඩි පිළිකා නෙමෙයි. නමුත් සමහර කාන්තාවන්ට ඩිම්බකෝෂ වල පිළිකා ඇතිවෙනවා. බොහෝ විට මෙම පිළිකා ඇති වන්නේ ඩිම්බ කෝෂයේ මතුපිට ඇති සෛල වලින්. ඒවා epithelial cancer ලෙස හඳුන්වනවා. මීට අමතරව ඩිම්බ කෝෂයේ ඇතුළත සෛල ස්තර වලින් හට ගන්නා පිළිකා තිබුනත් ඒවා එතරම් සුලභ නැහැ. ඩිම්බ කෝෂවල පිළිකා සඳහා අවදානම් තත්වයන් වයස (80% ක් පමණ මෙම පිළිකා ඇති වන්නේ වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ට‍) තරබාරු බව පවුලේ කිසිවකුට ඩිම්බ කෝෂයේ හෝ පියයුරු පිළිකාවක් තිබීම. ජීවිත කාලය තුල ඩිම්බ පිටවී ඇති වාර ගනන. (මවු කිරි දීමේ දී සහ පවුල් සැලසුම් පෙති භාවිතා කිරීමේ දී ඩිම්බ පිටවීමක් සිදු නොවන නිසා එවැනි කාන්තාවන්ට පිළිකා අවදානම අඩුයි.) ඔබට පහත රෝග ලක්ෂණ ඇත්නම් ඩිම්බකෝෂ පිළිකාවක් ඇත් දැයි සැක කරන්න පුළුවන්. යටි බඩේ වේදනාව ලිංගික එක්වීමේ දී ඇති වන බඩේ වේදනාව බඩ ඉදිමීම කෑම අප්‍රිය කම සහ බඩේ පිරුණු ස්වභාවය මල පහ කිරීමේ දී සහ මුත්‍රා පිට කිරීමේ දී ඇති වන අපහසුතාවන් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත්. එහි දී වෛද්‍ය වරයා ස්කෑන් පරීක්ෂණයක් නිර්දේශ කරනව. එමගින් ඩිම්බ කෝෂවල අසාමාන්‍යතා වන් හඳුනා ගන්න පුළුවන්. පිළිකාවක් ඇති බවට සැකයක් ඇත්නම් වෛද්‍ය වරයා CA125 ලෙස හඳුන්වන රුධිර පරීක්ෂණයක් නිර්දේශ කරනව. එහි අගය සහ ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල මත පිළිකාවකට ඇති අවදානම දැන ගන්න පුළුවන්. ඩිම්බ කෝෂ පිහිටා ඇත්තේ උදරය ඇතුළත නිසා මෙම පිළිකාවක් තරමක් විශාල වන තෙක් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. එම නිසා මූලික අවස්ථාවේ දී මෙය හඳුනා ගැනීම අසීරුයි. නමුත් එසේ හඳුනා ගතහොත් ශල්‍ය කර්මයක් මගින් සම්පූර්ණයෙන්ම පිළිකාව ඉවත් කල හැකියි. ඩිම්බ කෝෂයේ පිළිකාවක් ඇති බොහෝ කාන්තාවන්ට ශල්‍යකර්මයකට භාජනය වීමට සිදු වනවා. එහි දී ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල සහ omentum ලෙස හඳුන්වන බඩවැලට සම්බන්ධ මේද ස්තරයක් ඉවත් කිරීම සිදුවනව. ඉන් පිටතට පැතිරුණු පිළිකාවක් නම් හැකි තරම් පිළිකා පටක ඉවත් කිරීම ශල්‍යකර්මයේ දී සිදුකරනව. නමුත් පමාවී හඳුනා ගන්නා පිළිකාවක් ශල්‍යකර්මයක් මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අපහසුයි. එවැනි අවස්ථාවක ශල්‍යකර්මයට අමතරව පිළිකා නාශක ඖෂධ වර්ග ප්‍රතිකාර සඳහා යොදා ගන්නව. මෙම ප්‍රතිකාර මගින් පිළිකා සෛල හැකිළීමකට ලක්වනව. නමුත් මෙම ඖෂධ මගින් අතුරු ආබාධ ඇතිවිය හැකියි. ප්‍රතිකාර වලින් පසු වරින් වර සායනයේ දී පරීක්ෂාවට ලක් වීම අවශ්‍යයි. එමගින් පිළිකාව නැවත ඇතිවේදැයි පරීක්ෂා කර බලනව. නැවත ඇති වන පිළිකාවක් සම්පූර්ණයෙන් සුව කිරීම අපහසු නමුත් ශල්‍යකර්ම සහ ඖෂධ මගින් තරමක් දුරට පාලනය කර ගත හැකියි.        ..