ගර්භාෂය පහත් වීම. (Pelvic organ prolapse)
ගර්භාෂය සහ යෝනි මාර්ගය කාන්තාවකගේ ශ්‍රෝණි කුහරය තුල රඳවා තබා ගන්නේ ඊට පහලින් පිහිටි මාංශ පේශී සහ බන්ධනි මගින්. නමුත් වයසත් සමග මෙම පටක වල ශක්තිමත් බව අඩු වෙනව. එ් සමගම බොහෝ කාන්තාවන් අත්දකින රෝගී තත්වයක් තමයි ගර්භාෂය පහත් වීම. මෙය සුලබ තත්වයක්. වයස අවුරුදු 50 වැඩි කාන්තාවන් ගෙන් 50% කට පමණ ගර්භාෂය පහත් වීම යම් ප්‍රමාණයකට තිබෙන නමුත් හැමෝටම ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.
මෙම තත්වයට ප්‍රධාන හේතුව ආර්ථවහරනයට පසු කාන්තාවගේ රුධිරයේ ඊස්ට්‍රජන් නමැති හෝමෝන මට්ටම අඩු වීම. එම නිසා ගර්භාෂය රඳවා තබා ගන්නා මාංශපේශි වල ශක්තිමත් බව අඩු වෙනව. ඊට අමතරව ගර්භණී බව, දරු ප්‍රසූතියේ දී පටක ඇදීමට ලක් වීම, ප්‍රසූතිය සඳහා අඬු භාවිතය, අධික තරබාරු කම, සහ ජානමය සාධක මේ සඳහා හේතු වෙන්න පුළුවන්. දිගින් දිගට පවතින කැස්ස, මල බද්ධය, අධික බර ඉසිලීම වැනි හේතු නිසා ගර්භාෂය පහත් වීම වැඩි වන්න පුළුවන්.
මූලික අවස්තාවේදී බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ ඇති වන්නේ නැහැ. මේ නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණ වනුයේ
යෝනි මාර්ගය තුල යමක් පහත් වන බව දැනීම
ගර්භාෂය පිටතට දැනෙන/ පෙනෙන ලෙස පහත් වීම
මුත්‍රා පිට කිරීමේදී අපහසුතා ඇති වීම, මුත්‍රා ආසාදන ඇති වීම
මල පහ කිරීමේදී අපහසුතාක් දැනීම
ලිංගික සංසර්ගයේ දී අපහසුතාව යක් ඇතිවීම
මෙවැනි රෝග ලක්ෂණ ඇති නම් වෛද්‍ය වරයෙකු හමුව පරීක්ෂා කරවා ගෙන ගර්භාෂය පහත් වී ඇති දැයි දැන ගත හැකියි. මෙම තත්වය ප්‍රධාන ආකාර තුනකින් ඇති වෙනව. බහුලව ම දකින්නට ලැබෙන්නේ යෝනි මාර්ගයේ ඉදිරි පස බිත්තිය පමණක් පහත් වීම. මෙය cystocele ලෙස හඳුන්වන අතර සමහර විට ගර්භාෂය පහත් වීමකින් තොරව මෙම තත්වය පමණක් ඇති වෙන්න පුළුවන්. ගර්භාෂය යෝනි මාර්ගය හරහා පහලට පැමිණීම දෙවන ආකාරයයි. යෝනි මාර්ගයේ පිටුපස බිත්තිය පහත් වීම අනික් ආකාරයයි. මෙය rectocele ලෙස හඳුන්වනව.
කිසිම රෝග ලක්ෂණයකින් තොරව ගර්භාෂය හෝ යෝනි මාර්ගයේ පහත් වීමක් ඇති බව හඳුනා ගත හොත් එයට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රතිකාර නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ මතයි. රෝග ලක්ෂණ අඩු කර ගැනීමටත් තවදුරටත් ගර්භාෂය පහත් වීම අඩු කර ගැනීමටත් පහත උපදෙස් පිළිපැදීමෙන්ක හැකියාව ලැබෙනව.
1. බර අඩු කර ගැනීම (ව්‍යායාම සහ ආහාර පාලනය මගින්)
2. දිගට පවතින කැස්සක් ඇත් නම් එය ප්‍රතිකාර මගින් පාලනය කිරීම
3. මලබද්ධය ඇතිවීම වළක්වා ගැනීම
4. අධික බර ඉසිලීමෙන් වැළකීම
මීට අමතරව pelvic floor exercises ලෙස හඳුන්වන විශේෂිත ව්‍යායාම ක්‍රමය මගින් ගර්භාෂයට පහල ඇති මාංශ පේශීන් ශක්තිමත් කිරීම සිදු කල හැකියි.
මෙම ක්‍රම වලින් පාලනය කිරීමට අපහසු ප්‍රමාණයකට ගර්භාෂය පහත් වූ විට ශල්‍ය කර්මයක් මගින් එය නිවැරදි කිරීම සිදු කරන්නේ. ගර්භාෂය පහත් වී නොමැතිව යෝනි මාර්ගය පමණක් පහත් වී ඇති නම් එය නිවැරදි කිරීමට ගර්භාෂය ඉවත් කිරීමකින් තොරව සිදු කල හැකියි. එසේ නැතිනම් ශල්‍යකර්මයේ දී ගර්භාෂය ඉවත් කර යෝනි මාර්ගය අවට පටක අලුත්වැඩියාව සිදුකරනව. සමහර කාන්තාවන්ට ශල්‍යකර්මයකට පසුවත් නැවත යෝනි මාර්ගය පහත් වීමක් ඇති වී නැවත ශල්‍යකර්මයක් ලක් වීමට සිදු වෙන අවස්ථා තිබෙනව.
ශල්‍යකර්මයකට සුදුසු නොවන රෝගීන් සඳහා ලෙස හඳුන්වන වලල්ලක ආකාරයේ උපකරණයක් යෝනි මාර්ගය තුල රැඳවීම සිදු කරනව. මෙමගින් පහත් වී තිබූ අවයව නැවත ඔසවා තබන නමුත් මෙය ස්ථිර ප්‍රතිකර්මයක් නොවෙයි.
මෙම රෝග ලක්ෂණ සඟවා තබා නො ගෙන ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් මේ තත්වය නිසා ඇති වන අපහසුතා වන් අවම කර ගන්න පුළුවන්.