Results for Tag: Gynaecology (44)
අන්තර් ගර්භාෂිත ලූපය (IUD)
අන්තර් ගර්භාෂිත ලූපයක් (intra uterine device) පැලදීම කාලයක් පවත්වා ගත හැකි පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස හැදින්විය හැකිය. දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙන අන්තර් ගර්භාෂිත ලූපයක් සාමාන්‍යයෙන් වසර 10ක කාලයක් පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස පවත්වා ගත හැකිය. මෙහි ප්‍රධානතම වාසිය වන්නේ ලූපය පැලද සිටින විට නැවත නැවත සායනයකට යෑමට අවශ්‍ය නොවීමයි. ඕනෑම පවුල් සැලසුම් සායයනයකින් මෙම ලූපයක් පැලදීමට  හැකි වීම එය ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය වීමටද හේ තු වී තිබේ. දැනට එක් දරුවකු ප්‍රසුත කළ මවකට සුදුසු දිගුකාලීන පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස අන්තර් ගර්භාෂිත ලූපය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබයි. එසේ නොමැතිව එනම් දරුවකු ප්‍රසුත නොකළ කාන්තාවකට වුවද අන්තර් ගර්භාෂිත ලූප පවුල් සැලසුම් ක්‍රමය අනුගමනය කළ  හැක. එහෙත් ඒ සඳහා නාරිවේද හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගත යුතුය. සෙන්ටිමීටර 3 ක පමණ විශාලත්වයකින් යුතු අන්තර් ගර්භාෂිත ලූපයක් යෝනිමාර්ගය ඔස්සේ ගැබ්ගෙල හරහා ගර්භාෂයට ඇතුල් කිරීම සිදු කෙරේ. එහිදී සියුම් වේදනාවක් ඇතිවිය හැකි වුවද වේදනා නාශකයක් ගැනීමට තරම් එය තද බල වේදනාවක් නොවේ වේ. ලූපයක් පැලදීමෙන් අනතුරුව දින 2 ක් හෝ 3 ක් ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කිරීම අනුමත කරනු ලබන අතර විෂබීජ ආසාදනයන් අවම කිරීම එමගින් අපේක්ෂා කෙරේ. එහෙත් බොහෝවිට ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කිරීම අනිවාර්ය වන්නේ නොමැත. අන්තර් ගර්භාෂිත ලූපයක් පැලදීමේදී සංකුලතා ඇතිවීම අවමවීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි. එසේ උවද ඇතැම්විට ලූපය පැලද දින කිහිපයකදී විෂබීජ ආසාදන හේතුවෙන් බඩේ කැක්කුමක් හෝ අපහසුතාවක් මතුවුවහොත්  වහා වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුය. දිගුකාලීනව සැලකීමේදී ලූපයක් මගින් සිදුවන සංකුලතා අවම මට්ටමක පවතී, එහෙත් ඇතැම් කාන්තාවන්ට අධික රුධිර වහනයක් හෝ තදබල බඩේ කැක්කුමක් ඇතිවන අවස්ථා තිබේ. එවැනි අවස්ථාවකදී නාරිවේද හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීම කළයුතුය. එහෙත් එහිදී ලූපය ඉවත් කිරීමට සිදු නොවනු ඇත. ඇතැම්විට දිගුකාලීනව සැලකීමේදී සමහරක් කාන්තාවන්ට කලාතුරකින් ලූපය හා සම්බන්ධ නුල යෝනි මර්ගයේ  පිටතට පැමිණිය හැකි අවස්ථා තිබේ. එවැනි අවස්ථාවකදී වෛද්‍ය සහය  පැතිය  යුතුය. වසර 10 කින් පසු අන්තර් ගර්භාෂිත ලූපය ඉවත් කර නව ලූපයක් පැලදීම හෝ වෙනත් දිගු කාලීන පවුල් සැලසුම් ක්‍රමයක් අනු ගමනය කිරීම සිදු කළ හැක.   ..
මද සරු බවට හේතු සහ ප්‍රතිකාර (Subfertility)
ඔබ දරු ඵල  අපේක්ෂාවෙන් වසරකට වඩා වැඩි කාලයක් අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පසුවත් ගැබ් ගැනීමක් සිදු නොවූ නි නම් ඔබට මදසරුභාවය ඇතැයි සලකන්න පුළුවන්. බොහෝ දුරට මෙය රෝගී තත්වයක් නොවෙයි . සාමාන්‍යයෙන් තරුණ යුවළක් අනාරක්ෂිත (උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර) ලිංගික සංසර්ගයේ යෙදුනහොත්, එම කාන්තාව ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව පලමු මාසයේ දී 30%යි, මාස හයක් අවසානයේ දී 75%යි. ඔවුන් වසරක කාලයක් අඛණ්ඩව උත්සාහ කළොත් මෙම ප්‍රතිශතය 85 – 90 % ක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නෙ, 10% - 15% ත් අතර සම්භාවිතාවක්  මද සරු බව සඳහා තිබෙනවා .කාන්තාවගේ වයස අවුරුදු 35ට වැඩි නම් මේ ප්‍රතිශතය 40% දක්වා වැඩි වෙන්න පුළුවන්. පිළිසිඳ ගැනීමක් සිදුවීමට නම් කාන්තාවගේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිවැරදිව සිදු විය යුතුයි. එවිට මසකට වරක් ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් නිකුත් වීම සිදුවනව. මේ පිටවෙන ඩිම්බය පැලෝපීය නාල දිගේ ගර්භාෂයට ගමන් කරනවා. මේ කාලය තුල දී ලිංගික එකතු වීමක් සිදු වුනොත්, පුරුෂයාගෙන් පිටවෙන ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් ගැබ් ගෙල හරහා ගර්භාෂයට ගමන් කරනව. ඩිම්බය ශුක්‍රාණු සමග එකතු වීමෙන් තමයි කලලයක් ඇති වන්නෙ. මෙම එකතු වීම සිදු වන්නෙ පැලෝපීය නාලයක් තුල. ඉන් පසු කලලය ගර්භාෂය තුල තැන්පත් වී දරුවෙකු ලෙස වර්ධනය වෙනව. මදසරු බවට ප්‍රධානම ලෙස  හේතු කාරණා කීපයක් හදුනාගන්න පුළුවන්. ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මේරීම සිදු නො වීම, පුරුෂයාගේ ශුක්‍රාණු වල ප්‍රමාණය හෝ ගුණාත්මක බව අඩු වීම, පැලෝපීය නාල වල අවහිරතා, ගර්භාෂය ඇතුළු ප්‍රජනක පද්ධතියේ අසාමාන්‍ය තාවයන්. නමුත් බහුතරයකට මේ කිසිම අසාමාන්‍ය තාවයක් නැතිවත් දරුවන් පිළිසිඳ ගැනීමක් සිදු වෙන්නෙ නෑ. මේ පිරිස 30%ක් විතර වෙනව. මදසරු බව සඳහා කරන වෛද්‍ය පරීක්ෂණ මුලින් වෛද්‍යවරයා ඔබගේ සායනික ඉතිහාසය ලබා ගෙන පරීක්ෂා කර බලනව. ඉන් පසුව සමහර විට  වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරනව. පුරුෂයාගේ ශුක්‍රාණු පරීක්ෂාව මේ අතරින් මුලින් ම කරන සරල පරීක්ෂණයක්. මෙහි දී ශුක්‍රාණු වල ප්‍රමාණය සහ ගුණාත්මක බවේ අඩුපාඩුවක් තිබේ නම් සොයා ගන්න පුළුවන්. කාන්තාවගේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂයේ අසාමාන්‍යතාවයක් තිබේ දැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා ගන්න පුඵවන්. ඊට අමතරව මාස් ශුද්ධියෙන් දින 10 ත් 11ත් අතර ස්කෑන් පරීක්ෂණයකින් සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදුවනවාදැයි තහවුරු කරගන්න පුළුවන්. මෙම මූලික පරීක්ෂණ වලට අමතරව වෛද්‍ය වරයා තීරණය කරන්න පුඵවන් වැඩි දුර පරීක්ෂණ කිහිපයක් තියෙනව. ලැපරොස්කොපි පරීක්ෂණය මගින් කාන්තාවගේ ඩිම්බ කෝෂ, නාල, ගර්භාෂය සහ අවට ප්‍රදේශයේ තිබෙන බොහෝ අසාමාන්‍ය තාවයන් සොයා ගන්න පුළුවන්. නමුත් මෙය ශල්‍යකර්මයක් නිසා මූලික පරීක්ෂණයක් ‍ලෙස සිදු කරන්නෙ නැහැ. මීට අමතරව හෝමෝන පරීක්ෂවන්, ජානමය රෝගී තත්වයන් සඳහා පරීක්ෂාවන් වගේ වැඩිදුර පරීක්ෂණ අවශ්‍යතාවය මත සිදුකරනව. ප්‍රතිකාර ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මේරීම සිදු නොවේ නම් ඒ සඳහා ප්‍රතිකාර කරන්න පුළුවන්. එහි දී ස්කෑන් පරීක්ෂණ මගින් ප්‍රතිකාරයේ සාර්ථකත්වය දැන ගන්න හැකියාවක් තියෙනව. කාන්තාවට එන්ඩොමෙට්රියෝසිස් වැනි රෝගී තත්වයක් තිබෙනවනම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එයට ප්‍රතිකාර කරන්න පුළුවන්.  IUI (Intra Uterine Insemination) මෙමගින් කරන්නේ පුරුෂයාගෙන් ලබාගන්නා ශුක්‍රාණු රසායනාගාරය තුල සැකසීමෙන් පසුව කෙළින්ම ගර්භාෂය ඇතුළට ඉතා කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම. ඊට පෙර නියමිත දිනට ඩිම්බ පිටවීම සඳහා කාන්තාවට ප්‍රතිකාර කරනව. නියමිත පරිදි සිදු කරන IUI කිරීම ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. IVF (In Vitro Fertilization) IVF නැත්නම් නල දරුවන් සෑදීම ඉතාමත් ජනප්‍රිය වන ප්‍රතිකාර ක්‍රමයක්. මෙය දැනට රජයේ සෞඛ්‍ය සේවාව තුල ලබා ගත නො හැකි වුවත්, බොහෝ පුද්ගලික ආයතන මෙම සේවාව සපයනව. ප්‍රතිකාර කිරීමෙන් එකවර ඩිම්බ කිහිපයක් මේරීමට ලක් කර ඒවා  යෝනි මාර්ගය තුලින් අතුල් කරන කුඩා කටුවක් ආධාරයෙන් පිටතට ගැනීම සිදු කරනව. ඊට පසුව ඩිම්බ සමග ශුක්‍රාණු රසායනාගාරය තුල එකතු වීමට සලස්වා ඉන් හට ගන්නා කලලය සුදුසු අවස්ථාවේ ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරනු ලබනව. නිසි ප්‍රමාණයට ගුණාත්මක ශුක්‍රාණු ලබාගත නොහැකි පුරුෂයන්ගේ වෘෂණ කෝෂවල ශුක්‍රාණු ලබා ගෙන ICSI කියන ක්‍රමයට ඩිම්බ සංසේචනය වීමට සලස් වන්න පුළුවන්. මෙම ප්‍රතිකාර ක්‍රම මගින් බහුතරයක් මදසරු යුවල වලට දරු ඵල ලබා ගැනීමේ හැකියාව ලැබෙනව. ඔබට සුදුසු ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය වරයා විසින් ඔබ පරීක්ෂා කර තීරණය කළ යුතුයි. මේ සඳහා ඔබට උපදෙස් අවශ්‍ය සුදුසුකම් ලත් නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.  ..
ගැබ් ගෙල පිළිකාව (cervical cancer)
දැනට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැලදෙන පිළකා අතරින් දෙවන තැන ගන්නේ ගැබ් ගෙල පිළිකාවයි. මෙය හැදෙන්නේ ගර්භාෂයේ ගෙල කොටස හෙවත්  යෝනි මාර්ගයට විවෘතව පවතින කොටසේ. ගැබ් ගෙල පිළිකාව හැදෙන ස්ථානය යෝනි මාර්ගයට විවෘතව පවතින නිසා මෙම පිළිකාව මූලික අවස්ථාවේදී හඳුනා ගැනීමේ හැකියාව තිබෙනව. අසාමාන්‍ය රුධිර වහනය මෙම පිළිකාවේ රෝග ලක්ෂණයක්. මාස් ශුද්ධියට අමතරව අක්‍රමවත් රුධිර වහනය, ලිංගික සංසර්ගයෙන් පසු රුධිර වහනය වැනි රෝග ලක්ෂණ තිබේනම් වෛද්‍ය පරීක්ෂණයකට වහා ලක් විය යුතුයි. මෙම පිළිකාවට ප්‍රධාන රෝග කාරකය වන්නේ ඉතාමත් සුලභ වෛරසයක් වන HPV වෛරසයයි. ගැබ්ගෙල HPV වෛරස ආසාදනයට ලක්වුව හොත් එහි සෛල වල වෙනස් කම් ඇති වෙනවා. බොහෝ දුරට මෙය සම්පූර්ණයෙන් ම සුව වනව. නමුත් සුළු පිරිසකට වෛරසය  ඉවත් නොවී ගැබ් ගෙලෙහි පවතිනව. මෙසේ කාලයක් පවතින වෛරසය ගැබ්ගෙල සෛල වල ඇති කරන වෙනස් කම් පිළිකාවකට හැරන්න අවුරුදු 15ක් පමන ගත වෙනව. මෙම කාලය ඇතුලත පරීක්ෂාවකට ලක් වීමෙන් ඔබටත් ගැබ්ගෙල පිළිකාවක් සෑදීමට අවදානමක් ඇත් දැයි දැන ගන්න පුළුවන්. ගැබ් ගෙල ස්‍රාව පටල පරීක්ෂාව කර ගැනීමෙන් මෙය දැන ගන්න පුළුවන්. HPV වෛරසය ආසාදනය වැළැක්වීම සඳහා එන්නතක් දැන් සොයාගෙන තිබෙනව. පාසැල් දැරියන්ට මෙම එන්නත දීමෙන් ගැබ් ගෙල පිළිකා අවදානම 98% කින් පමන අඩුකරන්න පුළුවන්. මෙය දැන් ලංකාවේ ලබා ගත හැකියි. වැඩි විස්තර සඳහා ඔබේ වෛද්‍ය වරයා හමු වන්න. ..
Ovarian cysts (ඩිම්බ කෝෂයේ ඇති වන ගෙඩි)
නිරෝගී තරුණ කාන්තාවකගේ ඩිම්බ කෝෂ වලින් මසකට වරක් ඩිම්බයක් පිටවීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. මෙම ඩිම්බය පිටවීමට පෙර එය වර්ධනය වෙන්නේ ඩිම්බ කෝෂයක් ඇතුළෙ ෆොලිකල් (follicle) නමින් හඳුන්වන තරලයෙන් පිරුණු වතුර බුබුලක් වැනි බුබුලක් තුල. ඩිම්බය වර්ධනය වන අවස්ථාවවේදී මෙම බුබුල සෙන්ටි මීටර 2-3 ක් පමණ විශ්කම්භයක් දක්වා විශාල වෙනවා. කලාතුරකින් මීට වඩා විශාල වන අවස්ථා වුවත් දක්නට පුළුවන්. එය සාමාන්ය තත්වයක්. එහෙත් ඇතැම් අවස්ථාවක මෙම ඩිම්බ කෝෂ තුල ගෙඩි හට ගන්නා අවස්ථා තිබෙනවා. ඒවා බොහෝ වෙලාවට තරලයකින් පිරුණු වතුර බුබුලක් වැනි ගෙඩි විදියටයි දකින්න ලැබෙන්නේ. තරුණ කාන්තාවන්ගෙ ඩිම්බ කෝෂ තුල ඇති වන ගෙඩි ප්‍රධාන වර්ග 3ක් හදුනා ගන්න පුළුවන්. 1. පළමු වර්ගය Simple cyst. මෙය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වූ ඩිම්බය අඩංගු ෆොලිකල් එකක්. මෙවැනි ආකාරයේ ගෙඩි ඉතාමත් සුලබයි. නමුත් මාස කිහිපයක් ඇතුළත මෙම ගෙඩි ඉබේම හැකිළී යන නිසා ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. 2. දෙවන වර්ගයEndometrioma (Chocolate cyst). එන්ඩොමෙට්ට්‍රියෝමා ලෙස හඳුන්වන ගෙඩි. මේවා සෑදෙන්නෙ එන්ඩොමෙට්‍රියොසිස් කියන රෝගී තත්වය නිසා. මෙහි දී ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇති සෛල වලට සමාන සෛල ගර්භාෂයෙන් පිටත සහ ඩිම්බ කෝෂය මත පිහිටනවා. මෙම සෛල වලින් ඇති වන ඩිම්බ කෝෂයේ ගෙඩි එන්ඩොමෙට්ට්‍රියෝමා නැතහොත් චොකලට් සිස්ට් ලෙසයි හඳුන්වන්නේ. 3. තුන්වන වර්ගයDermoid cyst. කාන්තාවකගේ ඩිම්බ කෝෂ වර්ධනය වන සමයේ ඩිම්බ ඇති වන මූලික සෛල වලින් හට ගන්නා ගෙඩි ඩර්මොයිඩි සිස්ට් ලෙස හඳුන්වනවා. මේවා ඇතුළත සමහර විට හිස කෙස්, දත්, මේද පටක වැනි දේ දක්නට ලැබෙනව.   මීට අමතරව සෑදෙන අනිකුත් ගෙඩි වර්ග එතරම් සුලබ නැහැ. කාන්තාවන්ට ආර්ථවහරනයට පෙර ඇති වන ඩිම්බ කෝෂ වල ගෙඩි බොහොමයක් පිළිකා නෙමෙයි. සෑම කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට (10% කට) ජීවිත කාලය තුල දී මෙවැනි ගෙඩියක් නිසා ශල්‍ය කර්මයකට ලක් වීමේ අවදානමක් තිබෙන බවත් හදුනා ගන්න පුළුවන්. පහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔබට ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇත් දැයි සැක කල හැකියි. නමුත් මෙය නිවැරදිව දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ යුතුවනවා. යටිබඩ වේදනාව මාස් ශුද්ධිය සමග වේදනාවක් ඇතිවීම ලිංගික එක්වීමේ දී වේදනාවක් ඇතිවීම බඩේ පිරුණු ස්වභාවයක් දැනීම සහ ආහාර රුචිය වෙනස් වීම යටි බඩ විශාල වීම (ඉදිමීම) දරු ඵල පමා වීම මුත්‍රා පිට කිරීමේ දී හෝ මල පහ කිරීමේ දී අපහසුතාවක් හෝ වේදනාවක් ඇතිවීම මෙවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත ස්කෑන් පරීක්ෂණයකට යොමු වීම ඉතාමත් වැදගත්. මෙහි දී වෛද්‍ය වරයා ඔබව පරීක්ෂා කර බලා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට යොමු කරනු ඇති. මෙමගින් ඩිම්බ කෝෂයේ ගෙඩියක් ඇති දැයි සැක හැර දැන ගත හැකියි. ඔබට එවැනි ගෙඩියක් ඇත්නම් එම ගෙඩියේ ලක්ෂණ අනුව වෛද්‍ය වරයා වැඩි දුර පරීක්ෂණ නියම කරනු ඇති. මෙම ගෙඩිය simple cyst ලෙස හඳුන්වන ගෙඩියක් නම් එහි ප්‍රමාණය අනුව ප්‍රතිකාර වෙනස් වනවා. ගෙඩියේ විශ්කම්භය 5 cm වලට වඩා අඩු නම් බොහෝ විට මෙය ප්‍රතිකාරයකින් තොරවම හැකිළී යන නිසා බියවිය යුතුවන්නේ නැහැ. මාස කිහිපයකින් නැවත ස්කෑන් පරීක්ෂණයකට ලක් වීමෙන් මෙය සැක හැර දැන ගත හැකියි. නමුත් ගෙඩිය 5 cm වලට වඩා විශාල නම් දගින් දිගටම පවතී නම් වැඩිදුර පරීක්ෂණ කිරීම අවශ්‍ය වෙනවා. සමහර විට මේ සඳහා ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍ය වන්න පුළුවන්. ගෙඩිය ඉතා විශාල නම් සාමාන්‍ය විවෘත ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්න පුළුවන්. බොහෝ විට පිළිකා නොවන ගෙඩියක් ඉවත් කිරීමේ දී ඩිම්බ කෝෂය ඉවත් කරන්නේ නැහැ. එම නිසා ශල්‍ය කර්මයෙන් පසු ඔබේ සාපල්‍යතාවයට හෝ මාසික ඔසප් වීමට බලපෑමක් ඇති වන්නේ නැහැ. වයස අවුරුදු 50ට වැඩි කාන්තාවකට ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇති බව හඳුනා ගත හොත් මෙම වයසේ දී ඇති වන ගෙඩි පිළිකාවක් වීමට අවදානම වැඩි නිසා ඒ සඳහා ඉතා ඉක්මනින් වැඩි දුර පරීක්ෂණ සිදු කල යුතුයි. ..