Results for Tag: Gynaecology (44)
ගර්භාෂය ඉදිමෙන ඇඩිනොමයෝසිස් රෝග තත්වය. Adenomyosis
අපි කලින් ලිපියකින් එන්ඩොමෙට්‍රියෝසිස් ගැන සඳහන් කලා. ගර්භාෂයේ ඇතුළත බිත්තිය මත ඇති සෛල ස්තරය එන්ඩොමෙට්‍රියම් ලෙස හඳුන්වනව. එම සෛල යම්කිසි හේතුවක් නිසා ගර්භාෂයේ මාංශපේශි බිත්තිය ඇතුළත පිහිටි විට ඇඩිනොමයොසිස් (Adenomyosis) තත්වය ඇතිවෙනව. මෙය ගෙඩියක් හෝ පිළිකා තත්වයක් නොවෙයි. සමහර විට ඇඩිනොමයෝසිස් ගර්භාෂයේ එක් ස්ථානයක පමණක් දක්නට ලැබෙනව(Adenomyoma) නමුත් බොහෝ විට මේ තත්වය ගර්භාෂයේ මාංශපේශි බිත්ති තුල විසිරී පවතින්නේ.   වැඩිපුර මේ තත්වය ඇතිවෙන්නේ දරුවන් සිටින කාන්තාවන්ට. නමුත් අවිවාහක තරුණ කාන්තාවන්ට වුවත් ඇඩිනොමයෝසිස් ඇති විය හැකියි. දරු ඵල පමා වීම, යටිබඩේ වේදනාව, ඔසප්වීම සමග ඇතිවෙන අධික වේදනාව, ඔසප් වීමේ දී අධික ලෙස රුධිර වහනය වීම මේ සමග ඇති වෙන රෝග ලක්ෂණ කිහිපයක්. මේ වගේ රෝග ලක්ෂණ ඇති නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. එහිදී ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය හඳුනා ගන්න පුළුවන්. මේ සඳහා ප්‍රතිකාර ක්‍රම වෙන්නේ ඖෂධ ප්‍රතිකාර සහ ශල්‍යකර්මයි. මුල් අවස්තාවේදී වේදනාව සහ රුධිර වහනය අඩු කිරීමට කිරීමට ඖෂධ ලබා ගත හැකියි. සමහර හෝමෝන ඖෂධ මගින් මේ තත්වය තරමක් දුරට පාලනය කල හැකි නමුත් සම්පූර්ණයෙන්ම සුව කිරීමට හැකි වෙන්නේ ශල්‍ය කර්මයක් මගින් පමණයි. ගර්භාෂයේ එක ස්ථානයක පමණක් ඇඩිනොමයෝසිස් තත්වය ඇති නම් එය ඇඩිනොමයෝමා ලෙස හඳුන්වනව. එවැනි තත්වයක දී නම් ශල්‍යකර්මය මගින් රෝගී කොටස පමණක් ඉවත් කර ගර්භාෂය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනව. මෙම සැත්කම ඇඩිනොමයෝමෙක්ටොමි (Adenomyomectomy) ලෙස හඳුන්වනව. දරු ඵල බලාපොරොත්තු වෙන කාන්තාවකට නම් ගර්භාෂයට සහ අවට පටක වලට අවම හානියක් වන ලෙස මෙම සැත්කම ලැපරොස්කොපි ක්‍රමයට සිදු කල හැකියි. නමුත් ගර්භාෂයේ බිත්තිවල පැතිරී ඇඩිනොමයොසිස් තත්වය ඇති විට ගර්භාෂය ඉවත් කිරීම (hysterectomy) තමයි ස්ථිර විසඳුම වෙන්නේ. මෙහි දී ඩිම්බ කෝෂ ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. ගර්භාෂය පමණක් ඉවත් කිරීම අතුරු ආබාධ අවම වෙන ලෙස ලැපරොස්කොපි ක්‍රමයට සිදු කිරීමේ හැකියාව දැන් තිබෙනව. එම සැත්කම ගැන විස්තර පහත ලිපියෙන් දැන ගන්න පුළුවන්. Total Laparoscopic Hysterectomy (ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කරන සැත්කම)..
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.
උධික උදර වේදනාව, දිගින් දිගටම සිදුවෙන අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණයන් නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳිනව. මෙවැනි රෝග ලක්ෂණ වලට හේතු වෙන ගර්භාෂයේ රෝග තත්වයන්ට ඉක්මණින් සහනය දීමට හැකි ලැපරොස්කොපි සැත්කමක් ගැනයි මේ ලිපියනේ කරුණු ගෙන එන්නේ. දරුවෙකු මවුකුස තුල වැඩෙන්නේ ගර්භාෂය ඇතුලෙ. එම නිසා මෙම අවයවය හැඩ ගැසී තිබෙන්නේ මවු කුස තුල දරුවෙකු පිළිසිඳ ගැනීමේ සහ වර්ධනය වීමේ ක්‍රියාවලියට සුදුසු වෙන විදියට. නමුත් දරුවන් ලැබුනට පස්සේ නැවත දරු සම්පත් බලා පොරොත්තු වෙන්නෙ නැතිනම් ගර්භාෂයෙන් සිදු කරන විශේෂිත කාර්යයක් ඇත්තෙම නැහැ. සමහර විට මෙම අවයවය කරදරකාරී රෝග තත්වයන් රැසකට මුල් වෙන්නත් පුළුවන්. ඔසප්වීම සමග ඇතිවෙන අධික රුධිර වහනය, වේදනාව, ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි, ඇඩිනොමයෝසිස් (adenomyosis) තත්වය වගේම ගර්භාෂයේ පිළිකාත් මේ අතර වෙනව. මෙවැනි සමහර තත්වයන් ඖෂධ මගින් පාලනය කල හැකි වුවත් සම්පූර්ණයෙන් සුව කිරීමට ඇති ක්‍රමය තමයි ගර්භාෂය ඉවත් කිරීම. නමුත් මේ රෝග තත්ව නිසා ඇතිවෙන පීඩාවට වඩා ශල්‍ය කර්මය අනතුරු දායක දැයි ඔබට සැකයක් ඇති. මෙම ලිපියෙන් පැහැදිලි කරන්නේ ගර්භාෂය ඉවත් කරන සැත්කම සිදු කරන නවීන අතුරු ආබාධ අඩු ක්‍රමයක් ගැන. බොහෝ විට ගර්භාෂය ඉවත් කරන සැත්කම සිදු කලේ උදරයේ පහල සෙන්ටිමීටර 12-15ක පමණ දිග කැපුමක් යොදා විවෘත ශල්‍යකර්මයක් ලෙස. නමුත් දැන් ලැපරොස්කොපි තාක්ෂණය භාවිතා කර මෙම ශල්‍යකර්මය ශරීරයට ඉතා අඩු හානියක් වල ලෙස සිදු කිරීමට හැකියාව තිබෙනව. ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම Total Laparoscopic Hysterectomy (TLH) ලෙස හැඳින්වෙනව. එහිදි උදරයේ ඉතා කුඩා (සෙන්ටීමීටරයකට වඩා කුඩා) කැපුම් 4ක් පමණක් යොදන අතර ඒ තුලින් සිහින් කැමරාවක් සහ ශල්‍ය උපකරණ උදර කුහරයට ඇතුළු කල හැකියි. ඉන් පසු ලැපරොස්කොපි උපකරණයට සම්බන්ධ තිරයේ පෙනෙන සජීවී රූප රාමු යොදා ගෙන වෛද්‍ය වරයාට උදර කුහරය ඇතුළත විශාල කර බැලිය හැකියි. ඉතා සියුම් ශල්‍ය උපකරණ භාවිතා කර සියුම් ලෙස මෙම ශල්‍යකර්මය සිදු කරන අතර එහි දී අභ්‍යන්තර පටක වලට වෙන හානිය සහ රුධිර වහනය ඉතාමත් අඩුයි. මේ නිසා සැත්කමෙන් පසු ඇතිවෙන වේදනාවත් අඩුයි. විශාල කැපුම් නැති නිසා තුවාල සුව වීමත් ඉක්මන්. මෙලෙස ගර්භාෂය ඉවත් කල පසු එදිනම ඔබට ඇඳෙන් නැගිට ඇවිදීමට ආහාර ගැනීමට වැනි එදිනෙදා කටයුතු කිරීමට හැකියාව ලැබෙනව. ශල්‍යකර්මයෙන් පසු දින කිහිපයක් පැරසිටමෝල් වැනි වේදනා නාශක ඖෂධයක් ගැනීම ප්‍රමාණවත් වෙනව. විවෘත ශල්‍යකර්මයකදී මෙන් මුත්‍රා බට දැමීමක් හෝ සේලයන් වැනි ඖෂධ දිගින් දිගටම දීම මෙහිදී අවශ්‍ය වෙන්නේ නැහැ. එදිනම හෝ පසුදින රෝහලෙන් බැහැර යාමේ හැකියාව ලැබෙන නිසා මේ ශල්‍යකර්මය දියුණු රටවල ජනප්‍රිය ශල්‍යකර්මයක්. ශල්‍යකර්මයෙන් සති කිහිපයකට පසුව සම්පූර්ණයෙන්ම සුවය ලැබෙන අතර එවිට එදිනෙදා වැඩ කටයුතු, ව්‍යායාම, ලිංගික එක්වීම වැනි දේ නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබෙනව. ඔබට ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් අවශ්‍යයැයි තීරණය කලහොත් එය සිදු කල හැකි ආකාර කිහිපයක් තිබෙනව. විවෘත ශල්‍යකර්මයක් ලෙස (TAH), ලැපරොස්කොපි ශල්‍යකර්මයක් ලෙස (TLH), යෝනි මාර්ගයෙන් සිදු කරන ශල්‍යකර්මයක් ලෙස (VH) හෝ කොටසක් පමණක් ලැපරොස්කොපි ආධාරයෙන් සිදුකර යෝනි මාර්ගයෙන් සම්පූර්ණ කරන ශල්‍යකර්මයක් ලෙස (LAVH) මෙය සිදු කල හැකියි. මේ අතරින් වේදනාව සහ නැවත සුව වීමට ගතවන කාලය ඉතා අඩු ක්‍රමය වෙන්නේ සම්පූර්ණයෙන් ලැපරොස්කොපි ක්‍රමයට මෙය සැත්කම සිදු කිරීමයි. නමුත් ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍ය කණ්ඩායමක් සහ නවීන ලැපරොස්කොපි උපකරණ අවශ්‍යයි. මේ සැත්කම සඳහා පහසුකම් කොළඹ බොහෝ පුද්ගලික රෝහල් වල සහ සමහර රජයේ රෝහල් වල තිබෙනව. නමුත් බොහෝ වෛද්‍යවරු තවමත් මෙම සැත්කම සිදු කරන්නේ නැහැ. ඔබටත් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් අවශ්‍යයැයි නිර්දේශ කල හොත් ලැපරොස්කොපි සැත්කම් පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති නාරිවේද වෛද්‍ය වරයෙකු හමු වෙන්න. Save Save..
යටි බඩේ වේදනාවට, දරුඵල පමාවීමට හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් ද? Endometriosis ගැන දැන ගන්න
යටිබඩේ අධික වේදනාව, දරු ඵල පමා වීම වැනි හේතු නිසා පරීක්ෂාවට ලක් වන කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකුට තිබෙන රෝග තත්වයක් තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ. මෙය ඉතා සුළු වශයෙන් පවතින විට කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. තරුණ කාන්තාවන් ගෙන් 10%කට පමණ මේ තත්වය ඇතිවිය හැකියි. මොකක්ද මේ එන්ඩොමෙට්‍රියොසිස් කියන්නේ? ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇති සෛල ස්තරයට අපි කියන්නේ එන්ඩොමෙට්‍රියම් කියල. එම සෛල සාමාන්‍යයෙන් පිහිටන්නේ ගර්භාෂය තුල පමණයි. නමුත් එන්ඩොමෙට්‍රියෝසිස් තත්වයේ දී මෙම සෛල ගර්භාෂයෙන් පිට විවිධ ස්ථාන වල පිහිටනව. ගර්භාෂයේ පිටත බිත්තිය මත, ශ්‍රෝණි කුහරයේ බිත්ති මත, පැලොපීය නාල හෝ ඩිම්බ කෝෂ මත මෙම සෛල පිහිටීම ඉතා සුලබයි. ඉතින් මේ සෛල ගර්භාෂයෙන් පිට තිබුනම මොකද වෙන්නේ? ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය තමයි ඔසප් චක්‍රයේ මුල් කාලයේ වර්ධනය වී දරු ගැබක් තැන්පත් වීමට සුදුසු පරිදි හැඩ ගැසෙන්නේ. නමුත් පිළිසිඳ ගැනීමක් සිදු නො වුනොත් මෙම සෛල ස්තරය බිඳවැටී ඔසප්වීම ලෙස රුධිර වහනයක් සිදු වෙනව. මෙම හෝමෝන ක්‍රියාවලිය ගර්භාෂයෙන් පිට ඇති එන්ඩොමෙට්‍රියෝසිස් සෛල වලටත් බලපාන නිසා එම සෛල ඔසප් චක්‍රය සමග වර්ධනය වී බිඳවැටීම සිදුවෙනව. ඩිම්බ කෝෂය මත මෙම ක්‍රියාවලිය සිදු වීමෙන් එන්ඩොමෙට්‍රියෝමා නැතිනම් චොකලට් සිස්ට් කියන තත්වය ඇති කරනව. අනිත් ස්ථානවල ඇති එන්ඩොමෙට්‍රියොසිස් නිසා ඔසප් චක්‍රය සමග වරින් වර වේදනාවක් ඇති වෙන්නෙ පුළුවන්. දරුණු ලෙස මෙම තත්වය පවතින විට ලිංගික සංසර්ගයේ යෙදීම වේදනාකාරී වෙනව. ඒ වගේම මෙලෙස වරින් වර රුධිර වහනය වීම නිසා පැලෝපීය නාල ඩිම්බකෝෂ සහ බඩවැල් එකට ඇලෙන්න පුළුවන්. ඒ නිසා පැලෝපීය නාල අවහිර වී දරු පිළිසිඳ ගැනීම පමා වෙන්න පුළුවන්. කොහොමද මේ තත්වය හඳුනා ගන්නේ? නාරිවේද වෛද්‍ය වරයෙකුට ඔබගේ රෝග ලක්ෂණ අනුව මෙම තත්වය ඇති දැයි සැක කරන්න පුළුවන්. ඒ වගේම චොකලට් සිස්ට් වැනි තත්වයක් ඇති නම් එය ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනා ගන්න පුළුවන්. නිවැරදිව ම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ලැපරොස්කොපි පරීක්ෂණය මගින්. මෙහි දී උදර කුහරය තුලට සෙන්ටි මීටර 1ක කැපුමක් තුලින් කුඩා කැමරාවක් ඇතුල් කර ඇතුළත නිරීක්ෂණය කර බලනව. එහි දී නාරිවේද වෛද්‍ය වරයා එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇතිවී ඇති සංකූලතා දැක ගැනීමට පුළුවන්. මෙයට ප්‍රතිකාර මොනවාද? එන්ඩොමෙට්‍රියෝසිස් නිසා වේදනාව ඇතිවෙන විට වේදනා නාශක මගින් තාවකාලික සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙම සෛල තරමක් දුරට හැකිළීමට ලක් කල හැකි හෝමෝන ප්‍රතිකාර වර්ග තිබෙනව. දරුණු ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඇත්නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එන්ඩොමෙට්‍රියෝසිස් සෛල ඉවත් කල හැකියි. ඉන් පසු වේදනාව අඩු වන අතර නැවතත් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල යෙදෙන්න හැකියාව ලැබෙනව. ලිංගික එකවීමේදී ඇතිවෙන වේදනාවත් මෙමගින් සුව කල හැකියි. ඩිම්බ කෝෂවල චොකලට් සිස්ට් ඇති විට දීත් ලැපරොස්කොපි ශල්‍යකර්මය මගින් ඉවත් කරන්න පුළුවන්. ලැපරොස්කොපි ක්‍රමයෙන් ශරීරයට සිදු වෙන හානිය අවම නිසා මෙයට දැන් විවෘත ශල්‍යකර්ම සිදු කරන්නේ නැහැ. දරු පිළිසිඳ ගැනීම පමා වීමට එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය තිබීමට අමතරව ඒ නිසා පැලෝපීය නාල අවහිර වීමත් පටක එකින‍ෙකට ඇලීමත් නිසා ඩිම්බයට පැලෝපීය නාලය කරා ගමන් කිරීමට නො හැකි වීම බලපානව. මෙම අවහිරතා ඉවත් කර ඩිම්බයක් පැලෝපීය නාලය පැමිණීමට හැකි පරිදි සකස් කිරීමට ශල්‍යකර්මයක දී හැකියාව ලැබෙනව. මදසරු බවට ප්‍රතිකාර ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඉවත් කරන ලැපරොස්කොපි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු සමහර විට හෝමෝන ප්‍රතිකාර මාස කිහිපයක් ලබා ගැනීමට සිදුවෙනව. ඉන් පසු ඉතා ඉක්මනින් පිළිසිඳ ගැනීමට උත්සාහ කල යුතුයි. බොහෝ දෙනෙක් මෙම ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබනව. මේ ප්‍රතිකාර ක්‍රම මගින් සහනයක් නො ලැබ ඉතා දරුණු ලෙස මෙම රෝග තත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ට ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් සම්පූර්ණ සුවය ලබන්න පුළුවන්. ඔබටත් මෙම රෝග තත්වය ඇති දැයි සැකයක් ඇත්නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. දැන් ඇති නවීන ලැපරොස්කොපි ශල්‍ය කර්ම ක්‍රම මගින් ශරීරයට හානියක් නොමැතිව එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇතිවෙන සංකූලතා වලින් මිදීමට ඔබටත් හැකියාව තිබෙනව...
ඔසප්වීම සමග වේදනාවක් ඇතිවීම රෝගී තත්වයක්ද?
කාන්තාවකගේ මාසික ඔසප්වීම සමග සුළු වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීම සාමාන්‍ය අත්දැකීමක්. නමුත් මෙහි දී අධික වේදනාවක් ඇතිවේ නම් එය සාමාන්‍ය නැහැ. මෙම වේදනාව නිසා ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් වෙනව නම් හෝ වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට සිදුවේ නම් මේ ගැන අවධානය යොමු කල යුතුයි. ඔසප් වීම සමග ඇතිවෙන වේදනාව dysmenorrhoea ලෙස වෛද්‍ය  විද්‍යාත්මක ව හඳුන්වන අතර මෙහි ප්‍රධාන ආකාර දෙකක් තිබෙනව. පලමු ආකාරය primary dysmenorrhoea ලෙස හඳුන්වන්නෙ. ඔසප් වීම ආරම්භ වී වසර ගණනක් යන තෙක් සමහර විට ඔසප්වීම මේ වගේ වේදනාකාරී වෙන්න පුළුවන්. මෙවැනි දැරියන්ට වේදනාව ඇතිවෙන්නේ වෙනත් කිසිම රෝග තත්වයක් නිසා නොවෙයි. ඒ වගේම මෙම වේදනාව කාලයත් සමග අඩු වෙනව. නමුත් නිරෝගී ව සිටි කාන්තාවකට පසුව ඔසප්වීම වේදනාකාරී වුව හොත් එයට හේතුව බොහෝ විට ගර්භාෂය සම්බන්ධ අසාමාන්‍ය තත්වයක්. මෙය secondary dysmenorrhoea ලෙස හඳුන්වනව. මෙයට හේතු වෙන්නෙ ෆයිබ්‍රොයිඩ් ගෙඩි (fibroids), ඇඩිනොමයොසිස් (adenomyosis), එන්ඩොමෙට්‍රියෝසිස් (endometriosis) වැනි ගර්භාෂය සම්බන්ධ රෝගී තත්වයන්. ඔසප්වීමේදී ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය මසකට වරක් ගැලවී රුධිරය සමග ඉවත් වීම  සිදුවෙනව. මෙම රුධිරය පිටතට පැමිණෙන්නේ ගැබ් ගෙල තුල පවතින ඉතා කුඩා විවරයක් තුලින්. සමහර විට ගැබ් ගෙල අවහිර වීම මෙහි දී වේදනාවක් ඇති කරන්න පුළුවන්. එමෙන්ම රුධිරය පිටතට පැමිණෙන විට ගර්භාෂය විටින් විට තද වීමකට ලක් වෙනව. මේ නිසයි වරින් වර ඔසප් වේදනාව වැඩි වෙන්නේ. මෙලෙස ගර්භාෂය ක්‍රියා කරන විට එහි ගෙඩියක් හෝ යම් කිසි අසාමාන්‍ය තත්වයක් තිබුණ හොත් ඔසප්වීමේදී අධික වේදනාවක් ඇති කරන්න එය හේතු වෙනව. නව යොවුන් දැරියකගේ ඔසප් වීම වේදනාකාරී නිසා ඇයට එදිනෙදා වැඩකටයුතු හා අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වේ නම් ප්‍රතිකාර මගින් මෙය පාලනය කල හැකියි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකි වේදනා නාශක වර්ග සහ හෝමෝන ප්‍රතිකාර වර්ග තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් මෙම වේදනාවෙන් මිදීමට හැකියාව තිබෙනව. වැඩිහිටි කාන්තාවකගේ ඔසප්වීම වේදනාකාරී වුවහොත් මීට හේතු වන රෝග තත්වයක් ඇති දැයි සොයා බැලිය යුතුයි. මේ සඳහා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම බොහෝ විට අවශ්‍ය වෙනව. එහි දී යම් රෝගී තත්වයක් හඳුනා ගත හොත් එයට ප්‍රතිකාර කිරීමෙන් මෙම වේදනාව සමනය කර ගත හැකියි. පරීක්ෂණ මගින් සොයා ගත හැකි හේතුවක් නැති අවස්ථාවල දී වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි වේදනා නාශක ඖෂධයක් ඔසප්වීම පවතින කාල සීමාව තුල ගැනීම කල හැකියි. මෙහි දී බොහෝ විට නිර්දේශ කරන්නේ නම් non-steroidal anti-inflammatory drugs (NSAIDs) කාණ්ඩයට අයත් වන mefenamic acid වැනි ඖෂධයක්. මෙම ඖෂධ දිගටම ගැනීම සුදුසු නැති අතර වේදනාව ඇති දින 5-7ත් අතර කාලයක් ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි මෙය ලබා ගැනීමෙන් වේදනාවෙන් සහනයක් ලැබෙනව. නමුත් නැවත නැවත ඔසප් වීමත් සමග ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනව. ගර්භාෂයේ රෝග තත්වයක් ඇති කාන්තාවන් වෛද්‍ය උපදෙස් අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමුවිය යුතුයි. ෆයිබ්‍රොයිඩ් ගෙඩි හෝ ඇඩිනොමයෝසිස් තත්වය නිසා ඇතිවෙන වේදනාව ඖෂධ ප්‍රතිකාර මගින් පාලනය කල හැකියි. ඒ වගේ ම හෝමෝන ප්‍රතිකාර ක්‍රම මගින් මේ තත්වයන් පාලනය කර කාලයක් තබා ගැනීමේ හැකියාව තිබෙනව. නමුත් ශල්‍ය කර්මයක් මගින් මෙය ඉවත් කිරීම තමයි ස්ථිර වම සුවය ලැබිය හැකි ක්‍රමය. දැන් ලැපරොස්කොපි ශල්‍යකර්ම ක්‍රමය මගින් විශාල කැපුම් වලින් තොරව හානිය අවම වන ආකාරයට මෙම ශල්‍යකර්ම කිරීමේ හැකියාව තිබෙනව. එවැනි ශල්‍ය කර්මයක් අවශ්‍ය වුවහොත් ලැපරොස්කොපි ශල්‍යකර්ම පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ..
ගර්භාෂයනේ පිටත දරු ගැබ පිහිටන අවදානම් තත්වය ගැන (Ectopic pregnancy)
ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග එකතු වීමෙන් තමයි දරු ගැබක් හට ගන්නේ. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිදු වෙන්නේ කාන්තාවගේ පැලෝපීය නාලය තුල. එමගින් ඇතිවෙන කලලය පැලොපීය නාලය දිගේ ගමන් කර ගර්භාෂය තුල තැන්පත් වෙනව. මෙලෙස දරුවෙකු පිළිසිඳ ගත් පසු ප්‍රසූතිය දක්වා මාස 10ක් වර්ධනය වෙන්නේ ගර්භාෂය තුලයි. ගර්භාෂයට මෙම කලලයේ වර්ධනයට සහ ආරක්ෂාවට අවශ්‍ය සියලු ම පහසුකම් සැපයීමේ හැකියාව තිබෙනව. නමුත් දරු ගැබ ගර්භාෂයෙන් පිටත තැන්පත් වෙන අවස්ථා තිබෙනව. සෑම ගැබ් ගැනීම් 100කට එකක් පමණ මෙවැනි ගර්භාෂයෙන් පිටත පිහිටන අතර ඒවා Ectopic pregnancy ලෙස හඳුන්වනව. මෙවැනි ගර්භාෂයෙන් පිට පිහිටන දරු ගැබක් බොහෝ විට පැලෝපීය නාලයන් තුලයි තැන්පත් වෙන්නේ. නමුත් ඩිම්බ කෝෂ මතුපිට, උදර කුහරයේ බිත්ති මත හෝ වෙනත් අවයවයක් මත මෙවැනි දරු ගැබක් තැන්පත් වෙන අවස්ථා දක්නට ලැබෙනව. මෙම දරු ගැබකට සාමාන්‍ය දරුවෙකු ලෙස වැඩීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම ප්‍රතිකාර ක්‍රම හෝ ශල්‍යකර්ම මගින් මෙය නැවත ගර්භාෂය තුල තැන්පත් කිරීමට හැකියාවක් නැහැ. මෙම කලලය වර්ධනය වීමට උත්සාහ ගන්නා විට එයට පැලෝපීය නාලය තුල ප්‍රමාණවත් ඉඩක් නොමැති නිසා පැලෝපීය නාලය පුපුරා එමගින් රුධිර වහනයක් ඇතිවිය හැකියි. මෙම රුධිරය උදර කුහරය ඇතුළතට එකතු වෙන නිසා පිටතට පෙනෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් මේ තත්වය හඳුනා ගෙන ශල්‍යකර්මයකට නොවුන හොත් අභ්‍යන්තර රුධිර වහනය නිසා මව මියයාමට පවා හැකියාවක් තිබෙනව. මෙවැනි ගැබ් ගැනීමක් හඳුනා ගන්න තිබෙන ප්‍රධාන රෝග ලක්ෂණය තමයි මව ගර්භණී බව දැන ගෙන මුල් සති කිහිපය තුල හෝ සමහර විට ගර්භණී බව දැන ගැනීමට පෙරදීම ඇති වන අධික වේදනාව. උදර කුහරය තුල රුධිර වහනයක් වන විට මවට අධික වේදනාවක් දැනෙනව. මෙම වේදනාව යටි බඩේ මෙන්ම සමහර විට දකුණු උරහිස මතද දැනෙන්නට පුළුවන්. ඒ සමග සමහර විට යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් ඇතිවෙන්න පුළුවන්. අභ්‍යන්තර රුධිර වහනයක් නිසා හදිසියේ ක්ලාන්ත වී ඇද වැටීම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි. මෙවැනි රෝග ලක්ෂණ ඇති නම් ඉතා ඉක්මනින් පහසුකම් සහිත රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගත යුතුයි. එහි දී ගර්භණී බව කලින් තහවුරු කර නැතිනම් ඒ සඳහා මුත්‍රා පරීක්ෂාවක් සිදු කරනව. ඉන් පසු ස්කෑන් පරීක්ෂණයකින් දරු ගැබ පිහිටි ස්ථානය සොයා බලනව. මෙහි දී ගර්භාෂය තුල කලලයක් නැති බව, අභ්‍යන්තර රුධිර වහනය, පැලෝපීය නාල තුල හෝ වෙනත් ස්ථානයක පිහිටන කලලය වැනි ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් වෙනව. මෙවැනි දරු ගැබක් මවගේ ජීවිතයට පවා හානි කර වෙන නිසා මේ සඳහා ඉක්මනින් ප්‍රතිකාර කල යුතු වෙනව. රුධිරයේ හෝමෝන මට්ටම, ස්කෑන් පරීක්ෂණ වාර්තා ආදිය සලකා බලා විශේෂඥ වෛද්‍ය වරයා මෙයට ප්‍රතිකාර කල හැකි සුදුසු ම ආකාරය පිලිබඳව ඔබට උපදෙස් ලබා දේවි. සමහර විට කලලය ගබ්සාවී ඇති නම් එය ඉබේම කුඩා වන නිසා ශල්‍යකර්මයකින් තොරව ප්‍රතිකාර කල හැකියි. සමහර විට කලලය ඉතා කුඩා නම් එය හැකිළීමට දිය හැකි ප්‍රබල පිළිකා නාශක ඖෂධයක් තිබෙනව. මේ සමග වරින් වර රුධිර හෝමෝන මට්ටම් පරීක්ෂා කර බැලිය යුතුයි. කෙසේ වෙතත් මෙම ප්‍රතිකාර ක්‍රමයන් 100%ක්ම සාර්ථක නොවන අවස්තා තිබෙනව. එවිට හදිසි ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ශල්‍යකර්මයක් මගින් ගර්භාෂයෙන් පිටත පිහිටි දරු ගැබ ඉවත් කිරීම තමයි අනික ප්‍රතිකාර ක්‍රමය. බොහෝ විට මෙය සිදු කරනු ලැබුවේ සිසේරියන් සැත්කමක් කරන ආකාරයේ කැපුමක් යොදා ගනිමින්. නමුත් දැන් ලැපරොස්කොපි ශල්‍යකර්ම ක්‍රමය මගින් ඉතා කුඩා කැපුම් තුනක් පමණක් යොදා විශාල කැළලක් ඇති නො වෙන ආකාරයට මෙම ශල්‍යකර්මය සිදු කිරීමට හැකියාව තිබෙනව. ඔබට මෙවැනි තත්වයක් ඇති බව හඳුනා ගතහොත් ඉක්මනින් ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් ඇතිවිය හැකි හානිය අවම කර ගැනීමට හැකි වෙනව. Save..