Results for Tag: Obstetrics (33)
බබා දැඟලීම අඩු වුනොත් මොකද කරන්නේ?
මවු කුස තුල සිටින දරුවා නිරෝගී දැයි මවකට දැන ගැනීමට තිබෙන එකම ක්‍රමය තමයි බබා දඟලන එක. බොහෝ මව්වරු මේ ගැන අවධානයෙන් ඉන්නේ. හදිසියේ බබා දඟලන එක නැවතුනොත්, එහෙම නැති නම් බබා දඟලන වාර ගණන අඩු වුනොත් මොකද කරන්නෙ? ඒ ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. මවු කුස තුල දරුවා දැඟලීම ඉතාමත් කුඩා කාලයේ සිට පටන් ගන්නව. මුල්ම ස්කෑන් පරීක්ෂණය කරන අවස්ථාවේ පවා මෙය වෛද්‍ය වරයෙකුට දැක ගන්න පුළුවන්. නමුත් දරුවා ඉතා කුඩා නිසා මෙම චලන ගර්භාෂයේ බිත්තිය සහ උදර බිත්තිය හරහා මවට දැනෙන්නේ නැහැ. ක්‍රම ක්‍රමයෙන් දරුවා වැඩෙන විට මවට චලන දැනෙන්නට පටන් ගන්නව. මුලින්ම බබා දඟලන බව මවට දැනෙන්න පටන් ගනිද්දි දරු ගැබට සති 20ක් පමණ වෙනව. නමුත් දෙවන තුන් වන දරුවා බලාපොරොත්තු වෙන මවු වරුන්ට මීට වඩා කලින් වුවත් චලන දැනෙන්න පටන් ගන්නව. මෙයට හේතුව මුලින්ම දරුවාගේ චලනය කුමක් වගේ ද යන අවබෝධය ලැබෙන්න කාලයක් ගත වෙන නිසා. සෑම දරුවෙක් ම එක වගේ නැහැ. ඒ නිසාම එක එක දරුවා චලනය වෙන ආකාරයත් වෙනස්. නමුත් කාලයත් සමග මවට ඇගේ දරුවා චලනය වෙන සාමාන්‍ය රටාව හඳුනා ගන්න පුළුවන්. දරුවා නිරෝගී ව සිටී නම් මෙම රටාව දිගටම පවතිනව. යම් අවස්ථාවක දරුවා පුරුදු පරිදි චලනය වෙන්නේ නැහැ කියල දැනුනොත් මොකද කරන්නේ? මෙයට හේතු මොනවාද? බොහෝ විට බබා දැඟලීම අඩුවෙන්නේ දරුවා මව්කුස තුල නිදා සිටින විට. සමහර දරුවන් වැඩි වෙලාවක් නිදා ගන්න අවස්ථා තිබෙනව. නමුත් කලාතුරකින් දරුවාගේ යම් කිසි අසනීප තත්වයක් නිසාත් දැඟලීම අඩු වෙන්න පුළුවන්. මවු කුස තුල දරුවා මිය යන අවස්ථාවක මුලින්ම ඇතිවෙන ලක්ෂණය තමයි මවට චලන නො දැනීම. මේ නිසා තමයි ගර්භණී මවු වරුන්ට බබා දඟලන එක ගැන අවධානයෙන් සිටින ලෙස අවවාද කරන්නේ. සමහර විට මෙය ගණන් කර වගුවක සටහන් කරන ලෙසත් ඔබේ වෛද්‍ය වරයා අවවාද කරාවි. මෙලෙස සටහන් කිරීමේදී හෝ ඔබේ අත්දැකීමට අනුව බබාගේ දැඟලීම අඩු නම් ඉක්මනින් රෝහලකට ගොස් වෛද්‍ය වරයෙකු හමු විය යුතුයි. මෙහි දී දරුවාගේ හෘද ස්පන්දනය CTG පරීක්ෂණයක් මගින් පරීක්ෂා කර බැලීම සිදුකරනව. එම පරීක්ෂණය සාමාන්‍ය නම් බොහෝ දුරට දරුවා නිරෝගී යැයි කියන්න පුළුවන්. ඒ නිසා නැවත ඔබට බබාගේ දැඟලීම දැනෙන විට රෝහලෙන් බැහැර යාමට හැකියාව තිබෙනව. සමහර අවස්ථාවල ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය වෙනව. එමගින් දරුවා චලනය වෙන ආකාරය වෛද්‍ය වරයාට දැක ගන්න පුළුවන්. ඊට අමතරව දරුවාගේ වර්ධනය සහ පෙකණිවැල තුලින් සිදු වන රුධිර ගමනාගමනය පිළිබඳ වත් මෙහි දී පරීක්ෂා කර බලන්න පුළුවන්. මෙම පරීක්ෂණ වල යම් අසාමාන්‍යතාවක් හඳුනා ගත හොත් කලින් දරුවා බිහි කිරීමට නිර්දේශ කරන්න පුළුවන්. දරු ප්‍රසූතියට ආසන්න වෙන විට ගර්භාෂය වරින් වර තද වීමට ලක් වෙනව. මෙය සිදු වෙන්නේ ගර්භාෂයේ මාංශ පේශී සංකෝචනය වීම නිසා. ඒ වගේ අවස්ථාවක බබා දැඟලුවත් එය මවට නො දැනෙන්න ඉඩ තිබෙනව. ඒ වගේම දරුවා වැඩි වේලාවක් නිදා සිටී නම් ඒ කාලයේ චලනයන් මවට දැනෙන්නේ ඉතා අඩුවෙන්. මේ වගේ බොහෝ අවස්ථාවල දරුවාගේ චලන අඩුවෙන් දැනෙන්නේ රෝග තත්වයක් නිසා නොවෙයි. ඒ නිසා පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබට යම් සැකයක් ඇති නම් ඉක්මනින් නාරිවේද වෛද්‍ය වරයා හමු වෙන්න එසේ නැතිනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. ..
බබා හැරිල නැති නම් මොකද වෙන්නේ? Breech presentation in late pregnancy
ගැබිනි මවක් සැම විටම තම දරුවා ගැන සැලකිලිමත් වෙනව. සායනයක දී බබා හැරිල නැහැ කියල කිව්වොත් බොහෝ දෙනා කලබල වෙනව. මොකක්ද මේකෙ තේරුම? කොහොමද බබා හැරිල ඉන්න ඕන කියන කරුණු ගැන අපි මේ ලිපියෙන් සලකා බලමු.සාමාන්‍ය දරු ප්‍රසූතියට ස්වභාවිකවම මවගේ ශ්‍රෝණි කුහරය, ප්‍රජනක පද්ධතිය සහ දරුවාගේ හිස හැඩගැසී තිබෙන්නේ. මේ නිසා ප්‍රසූතිය සඳහා පහසුම පිහිටීම වෙන්නේ දරුවාගේ හිස පහලට හැරී මුහුණ පිටුපසට හෝ පැත්තට හැරෙන ලෙස සිටීමයි. මුල් කාලයේ මවු කුස තුල දරුවා ඉතාමත් ක්‍රියාශීලීයි. ඒ වගේම ගර්භාෂය තුල විශාල ඉඩක් දරුවාට තිබෙනව. ඒ නිසා දරුවාගේ පිහිටීම චලන සමග වරින් වර වෙනස් වෙන්න පුළුවන්. නමුත් දරු ගැබට සති 34ක් පමණ වෙන විට දරුවා වර්ධනය වී ඇති නිසා නිදහසේ චලනය වෙන්න ඉඩ මදි වෙනව. බොහෝ විට මේ කාලයේ දරුවා සිටින්නේ හිස පහලට සිටින ආකාරයට. එසේ නොමැති නම් අපි බබා හැරිල නැහැ කියල කියනව.එහෙම වුනා ම මොකද කරන්න ඕන? මෙය මුලින් ම ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගත යුතුයි. සාමාන්‍යයෙන් සති 28 -34 අතර ස්කෑන් පරීක්ෂණයකින් බබා හැරිල නැහැ කිව්වොත් ඒ ගැන එතරම් කලබල වෙන්න අවශ්‍ය නැහැ. තව විනාඩි කිහිපයක් තුල වුවත් දරුවා නැවත හැරෙන්න ඉඩකඩ තිබෙනව. නමුත් ඊට පසුව දරුවා වර්ධනය වී ඇති නිසා නිදහසේ හැරෙන්න ගර්භාෂය තුල ඉඩ කඩ ප්‍රමාණවත් නැහැ. සති 34ට පසුව ස්කෑන් පරීක්ෂණයකින් බබා හැරිල නැති බව පැවසුවහොත් සති 36 - 37 අතර කාලයේ නැවත ස්කෑන් පරීක්ෂාවක් කිරීම අවශ්‍යයි. මේ වන විට 96%ක් පමණ දරුවන් නිසි පරිදි හිස පහලට සිටින ලෙස හැරී සිටින්නේ.එසේ නැතිනම් නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු සමග මෙම දරුවා බිහි කල හැකි ආකාරය සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්න පුළුවන්. මේ සඳහා ක්‍රම 3ක් තිබෙනව.1. ගර්භාෂය තුල දී දරුවා හැරවීම (External cephalic version)පළපුරුදු වෛද්‍ය වරයෙකුට විනාඩි කිහිපයක දී දරුවාගේ පිහිටීම හිස පහලට සිටින ලෙස හැරවීමට හැකියාව තිබෙනව. නමුත් මෙය සිදු කල යුත්තේ රෝහල් ගතවයි. ඉන් පසු දරුවාගේ හෘද ස්පන්දනය සහ පිහිටීම පරීක්ෂා කර බැලිය යුතුයි.2. තට්ටම පහලට සිටින ලෙස දරුවා බිහි කිරීම (Vaginal breech delivery)සාමාන්‍ය ලෙස ප්‍රසව වේදනා ඇතිවී ප්‍රසූතියට සූදානම් නම් සිටින ඉරියව්වේ ම දරුවාට පිටතට පැමිණීමට හැකියාව සැලසිය හැකියි. මේ සඳහා පුහුණු අත්දැකීම ඇති වෛද්‍ය වරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සෑම රෝහලකම සිටිනව.3. සිසේරියන් සැත්කමසමහර අවස්තා තිබෙනව දරුවා හැරවීම හෝ තට්ටම පහලට සිටින ලෙස බිහි කිරීම අවදානම් වෙන. එවිට ඔබේ වෛද්‍ය වරයා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීම නිර්දේශ කරාවි. මෙය සති 38-39 අතර කාලයේ කලින් තීරණය කල සැත්කමක් ලෙස සිදු කල හැකියි.සාමාන්‍ය දරු ප්‍රසූතියක දී හිස පහලට සිටින සේ දරුවා බිහි වීමට වඩා තට්ටම් පහලට සිටින සේ බිහිවීමේදී සංකූලතා ඇතිවෙන්න තිබෙන ඉඩකඩ ටිකක් වැඩියි. ඒ නිසා හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂය තුල දරුවා හරවන අවස්ථාවක හෘද ස්පන්දනයේ වෙනස් කම් ඇති වුව හොත් හදිසි සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඉඩක් තිබෙනව. ..
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)
ගැබිනි මවක් සැම විටම තම කුස තුල සිටින දරුවා නිරෝගී ව තබා ගැනීමට උත්සාහ කරනව. නමුත් සමහර විට දරුවාගේ වර්ධනය අඩු බව ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව පැවසුව හොත් එවැනි අවස්ථාවක කුමක් කල යුතුද? දරුවාගේ වර්ධනය අඩු වෙන්නේ ඇයි? මෙම ලිපියෙන් ඔබට කරුණු ගෙන එන්නෙ ගර්භාෂය තුල වැඩෙන දරුවෙකුගේ වර්ධනය අඩාල වෙන අවස්ථා ගැන. දරුවෙකුගේ වර්ධනය බලන්න ක්‍රම කිහිපයක් තිබෙනව. බොහෝ කාලයක් තිස්සේ මෙය සිදු කලේ මවගේ කුසේ ප්‍රමාණය මැන බැලීම මගින්. ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා ටේප් පටියක් ආධාරයෙන් මවු කුසේ වර්ධනය ප්‍රමාණවත් දැයි මැන බලනව. මෙම දළ මිනුම් ක්‍රමයක්. මෙමගින් නිවැරදිව ප්‍රමාණයෙන් කුඩා දරුවන් හඳුනා ගන්න අපහසුයි. නමුත් ස්කෑන් පරීක්ෂණ සඳහා පහසුකම් නොමැති අවස්ථාවක මෙම ක්‍රමය විකල්පයක් ලෙස භාවිතා කරනව. දැන් ඇති ස්කෑන් යන්ත්‍ර ආධාරයෙන් ඉතාමත් ආසන්න මට්ටමකට වැඩෙන දරුවාගේ බර අනුමාන කල හැකියි. එම බර ගර්භණී සමයේ අදාළ සති ගණනට ගැලපෙනවාදැයි විශේෂිත වගුවක් හෝ ප්‍රස්තාරයක් මගින් සොයා ගත හැකියි. මෙලෙස දරුවාගේ වර්ධනය ප්‍රමානවත්දැයි කියා ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා ගැනීමට පහසුකම් දැන් සෑම මූලික රෝහලකම පාහේ තිබෙනව. ස්කෑන් පරීක්ෂණයේ දී දරුවා ගර්භයේ වයසට වඩා කුඩා යැයි සොයා ගත හොත් එයට හේතුව කුමක් විය හැකිද? මේ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් පවතිනව.  දරුවා ලැබීමට අනුමාන කර ඇති දින නිවැරදි නොවීම. ගර්භණී මවකට දරුවා ලැබෙන අනුමාන දිනය ලබා දෙන්නේ අවසාන වරට ඔසප් වීම සිදු වූ දිනයේ සිට සති 40ක ගණනය කිරීමෙන්. ඔසප්වූ දිනය නිවැරදි නැති නම් හෝ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් මෙම දිනය වැරදි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මුල් මාස 3 ඇතුළත කරන ස්කෑන් පරීක්ෂණයකින් තමයි දරුවා ලැබෙන දිනය ගණනය කල හැකි වෙන්නේ.  සහජයෙන් ම කුඩා දරුවෙක් වීම. සෑම දරුවා ම එකම ප්‍රමාණයට වර්ධනය වෙන්නෙ නැහැ. වැඩිහිටියන් ගේ උස/ බර එකිනෙකාට වෙනස් වගේම මව්කුස තුල වැඩෙන දරුවනුත් එකිනෙකාට වෙනස්. සමහර දරුවන් ප්‍රමාණයෙන් කුඩා නමුත් නිරෝගීයි. එවැනි දරුවන්ට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැහැ. දරුවාට නිසි පෝෂණයක් නො ලැබීම නිසා කුඩා වීම‍. මවගෙන් දරුවාට ආහාර සහ ඔක්සිජන් ලැබෙන්නේ වැදෑමහ හරහා. වැදෑමහ නිසි ලෙස වර්ධනය නොවන අවස්ථාවක දරුවාට නිසි පෝෂණයක් ලැබෙන්නෙ නැහැ. එවැනි දරුවන්ගේ බර අඩු වෙනව. දරුවාට රෝගී තත්වයක් තිබීම. මෙය එතරම් සුලබ නැහැ. රෝගී තත්වයකින් පෙලෙන දරුවන් සාමාන්‍ය දරුවෙකුට වඩා කුඩා වෙනව. ජානමය රෝග තත්ව, මවට ඇතිවූ දරුණු ආසාදන වැනි හේතු නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක අදාළ තත්වය අනුව ප්‍රතිකාර අවශ්‍ය වෙනව කුඩා දරුවෙකු ඇති වීම සඳහා අවදානම් සාධකයන් වන්නේ  මවගේ වයස අවුරුදු 40ට වැඩි වීම. මවට අධික රුධිර පීඩනය වැනි රෝගී තත්වයක් ඇතිවීම. දුම් පානය (මව දුම් පානය කිරීම හෝ අක්‍රිය දුම් පානයට ගොදුරු වීම). මවගේ බර අඩු වීම (මන්ද පෝෂණය). මව අධික ලෙස ව්‍යායාම වල යෙදීම. කලින් ගර්භණී වූ අවස්ථාවක අධික රුධිර පීඩනය තිබීම/ දරුවාගේ බර අඩු වීම. සෑම සායන වාරයක දීම මවගේ උදරය පරීක්ෂා කර බලනව. එවැනි අවස්ථාවක දරුවා කුඩා යැයි හැඟී ගිය හොත් එවැනි මවුවරුන් විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කරනු ලබනව. එහි දී ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ වර්ධනය ප්‍රමාණවත් දැයි සොය බැලිය හැකියි. ඉන් පසුව සුදුසු පරිදි විශේෂඥ වෛද්‍ය සායනයේ වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කරනව. සාමාන්‍යයෙන් මෙවැනි දරුවන්ගේ වර්ධනය සති දෙකකට වරක් ස්කෑන් පරීක්ෂණයක් මගින් මැන බැලීම සිදු කරනව. එහි දී අවදානම් තත්වයන් හඳුනා ගතහොත් කලින් දරුවා බිහි කිරීමට නිර්දේශ කරනව. නැතිනම් විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ දරුවාගේ වර්ධනය නිසි ප්‍රමාණයකට පැමිණෙන තෙක් සිටිය හැකියි. සමහර දරුවන් සඳහා වරින් වර Doppler සහ CTG පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි. ඉතාමත් කුඩා අවදානම් සහිත දරුවන් බිහි කිරීමට සිසේරියන් සැත්කමක් අවශ්‍ය නමුත් බොහෝ කුඩා දරුවන්ට සාමාන්‍ය ආකාරයට බිහි වීමේ හැකියාව තිබෙනව. මව් කුස තුල පෝෂණය අඩු කම නිසා කුඩා වන දරුවන් ඉපදීමෙන් පසුව නියමිත බර ලඟා කර ගන්නව. එම දරුවන්ට නිසි ලෙස මවු කිරි දීම වැදගත්. උපත් බර අඩු දරුවන්ට මුල් මාස කිහිපය තුල සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි නිසා ඔවුන් හොඳින් රැක බලා ගත යුතුයි. වැඩිහිටි කාලයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ වැනි සංකූලතා ඇති වීමේ හැකියාව මෙම දරුවන්ට සාමාන්‍ය බර ඇති දරුවන්ට වඩා වැඩියි...
යහපත් දරුවෙකු බිහිකිරීමට ගැබිනි මාතාවන් දිනපතා වැඩිය යුතු මෛත්‍රී භාවනාව
බුදුගුණ අනන්තයි!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවා නිදූක් වේවා!!!!!! නීරෝගි වේවා!!!!!! සුවපත් වේවා!!!!!! ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා!!!!!! ශ්‍රද්ධාවෙන් ශීලයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ඉවසීමෙන් වැඩේවා!!!!!! ගුණ නුවනින් පිනෙන් තේජසින් වැඩේවා!!!!!! බෝසත් ගුණයෙන් පිරිපුන් ලෝක සත්වයාට හිත සුව සලසන ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයෙක් ම වේවා!!!!!! දෙමව්පියන්ට වැඩිහිටියන්ට පැවිදි උතුමන්ට සලකන උවටැන් කරන කෘතවේදී අයෙක් ම වේවා!!!!!! පස් පවින් ද දස අකුසලයෙන් ද පඤ්චානන්තර්ය පාප කර්මයෙන් ද පාප මිත්‍ර සේවනෙයෙන්ද වලකීවා!!!!!! ධර්ම ගුණයෙන් භාවනා ගුණයෙන් සම්පූර්ණ දරුවෙක් ම වේවා!!!!!! රට ජාතිය ආගමට මහත් සේවයක් සැලසීමට සමතෙක් වේවා!!!!!! දෙලොවම ජය ගෙන අමා මහ නිවනට යොමුවූ බෝසත් දරුවෙකු ලෙස ඉතා උතුම් සුබ මොහොතකින් සුවසේ උපදීවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් උපදින උපදින සියළු දරුවෝම එසේ වාසනාවන්තයෝ වේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මේ අනන්ත වූ සත්පුරුෂ යහ ගුණ වැඩේවා!!!!!! ඊර්ෂ්‍යාව අතහැර දියුණුව දැක සතුටු වීමටත් මමත්වය ඉවත ලා සැමට එක ලෙසින් ආදරය කිරීමටත් ඔහුට/ඇයට හැකි වේවා!!!!!! මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මෛත්‍රිය කරුණාව ලබා දී සැර පරුෂ කම මග හැරවීමටත් පලි ගැනීමෙන් වැලකී සමාව ලබා දීමටත් හැකි වේවා!!!!!! නෑදෑ හිතමිතුරන් වැඩිටියන්ගේ උපදේශවල කලණ මිතුරු බව වටහා ගැනීමටත් මිත්‍රශීලී සහයෝගය ලබාගෙන අමනාපය නැති කිරීමටත් වරදක් සිදු වුනි නම් සමාව ඉල්ලීමටත් හැකි වේවා!!!!!! සැක සංකා නැති විමට සත්‍යාවබෝධයත් බිය නොවී එඩිතර වීමට හැකියාවත් ඔහුට/ඇයට ලැබේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට විශ්වාසය ඇති කර ගැනීමට පැහැදිලි දැනුමත් කේන්ති එන විට ඉවසීමට මනා පුහුණුවත් පිලිගන්නවා වෙනුවට තේරුම් ගැනීමේ ශක්තියත් ලැබේවා. රැවටීමට එරෙහිව උපායශීලී ඥානයත් නො දන්නා බව දැනෙන විට ඉගෙන ගැනීමේ උවමනාවත් ලැබේවා!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට වැටුණු තැනක දී නැගී සිටීමට ධෛර්යයත් පාප ක්‍රියා වෙනුවට පිංසාර සිතත් හිංසාව වෙනුවට අහිංසාවාදී ගුණයත් කම්මැලිකම දුරලීමට ක්‍රියාශීලී ශූරත්වයත් ලැබේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට කළ ගුණ සැලකීමට කෘතවේදී මනුෂ්‍යත්වයත් පීඩාවන් වෙනුවට සහනයත් ලෙඩ රෝග නොමැතිව මනා සෞඛ්‍ය ආරක්ෂාවත් වේදනාවෙන් තොර වූ පහසුවත් හිමි වේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට දැවීම වෙනුවට නිවීමත් ලැජ්ජා සිතෙන විට නොපැකිලව ඉදිරිපත් වීමට ප්‍රගතිශීලී හැගීමත් ඇති වේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට නැති තැනට ඇති කර ගැනීමට බලයත් හැකියාවත් බැරි තැනක දී හැකි වීමට ධෛර්යයත් උවමනාවත් පරාජය වෙනුවට ජයග්‍රාහී සාර්ථකත්වයත් ලැබේවා!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට කලකිරීම දුරු වීමට පැහැදිලි අවබෝධයත් හිමි වේවා!!!!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔහුට/ඇයට සියලු ආකාරයේ අභියෝග සතුටින් ම දිනා ගැනීමට දුප්පත්කම වෙනුවට පොහොසත් කම උදා කරගන්නට ඥාණ ශක්තිය ධෛර්යය හා හරි මග පැහැදේවා!!!!!! බුදු ගුණ අනන්තයි!!!!!! ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ කුසය තුළ වැඩෙන දරුවාට මෙන්ම අනෙකුත් උපදින උපදින දරුවන්ට ද මේ අනන්ත වූ සත්පුරුෂ යහ ගුණ වැඩේවා..
සිසේරියන් සැත්කම ගැන හරියටම දැන ගන්න.(Caesarean Section)
දරුවකු මෙලොවට බිහි වන ස්වභාවික ක්‍රමය වන්නේ සාමාන්‍ය ප්‍රසූතියයි. නමුත් සමහර ගර්භණී මවු වරුන්ට සාමාන්‍ය ප්‍රසූතිය නුසුදුසු වන අවස්ථාවල දී, සිසේරියන් සැත්කමක් නිර්දේශ කරනව. දැනට ලංකාවේ සිදු වන දරු උපත් වලින් 1/3ක් පමණ සිසේරියන් සැත්කම් මගින් සිදු වන්නේ. මේ සඳහා පහසුකම් අපේ රටේ බොහෝ මූලික රෝහල වල තිබෙනව. මෙම ශල්‍යකර්මය සඳහා සාමාන්‍යයෙන් පැයකට වඩා අඩු කාලයක් ගත වෙන්නේ. සිසේරියන් සැත්කම නිතරම සිදු කරන සැත්කමක් වුවත් සමහර විට සංකූලතා ඇතිවෙන්න පුළුවන්. එබැවින් මෙය නිර්දේශ කරන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකට සුදුසු නොවන අවස්තාවකදී පමණයි. මෙම සැත්කම සිදු කරන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනව. සැලසුම් කල සිසේරියන් සැත්කම‍ මෙහි දී සිසේරියන් සැත්කමක් අවශ්‍ය බව වෛද්‍යවරු කලින් හඳුනා ගෙන සුදුසු දිනයක සැත්කම සඳහා සැලසුම් කිරීම සිදු වෙනව.    හදිසි සිසේරියන් සැත්කම සාමාන්‍ය ලෙස දරු ප්‍රසූතියට හෝ ඉදිරි දිනයක සිසේරියන් සැත්කමට සැලසුම් කල මවක් ඊට සූදානම් වන කාලය ඇතුළත යම් සංකූලතාවයකට ලක් වුව හොත් හදිසියේ ම සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සංකූලතාවයෙන් දරුවාට හෝ මවට සිදු විය හැකි හානිය අවම කර ගැනීමට මෙම සැත්කම හදිසියේ ම සිදු කල යුතුයි. බොහෝ විට සිසේරියන් සැත්කම සිදු කරන්නේ මව පියවි සිහියෙන් සිටිය දී. නමුත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ශල්‍යකර්මයට පෙර ඇයගේ කොඳු ඇට පෙලට නික්ෂේපණය කරන ඖෂධයක් මගින් නාභියෙන් පහල කොටස හිරිවැටීමට ලක් කරනව. ඉන් පසුවයි ශල්‍යකර්මය ආරම්භ කරන්නේ. ශල්‍යකර්මයට පෙර මුත්‍රා ඉවත් කිරීම සඳහා බටයක් දැමීම සහ යටි බඩ කොටසේ රෝම ඉවත් කිරීම සිදු කරනව. ඉන් පසු මවගේ උදරය මතුපිට පිරිසිදු කර, ජීවානු හරිත ‍රෙදි වලින් වැසීම සිදුකරනව. ඉන් පසු උදරයේ පහලින් හරස් අතට සෙන්ටි මීටර 10ක පමණ කුඩා කැපුමක් යොදනව. මෙය සාමාන්‍යයෙන් bikini line incision ලෙස හඳුන්වන අතර එය යොදන්නේ උදරයේ පහලම යට ඇඳුමකට වැසෙන ප්‍රදේශයේ. ඉන් පසුව සමට යටින් ඇති ස්තරයන් විච්ඡේදනය කරමින් උදර කුහරය තුලට ඇතුල් වෙනවා. ගර්භාෂයේ පහල කොටසේ තවත් තිරස් කැපුමක් යොදා දරුවා සිටින එක විවෘත කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ. වෛද්‍ය වරයා විසින් ප්‍රවේසමෙන් දරුවා එලියට ගැනීමෙන් පසුව පෙකණි වැල කැපීම සිදු කරනවා. ඒ අවස්ථාවේදීම මවට දරුවා දැක බලා ගන්න අවස්ථාව ලැබෙනව. මව් කිරි දීම ශල්‍යකර්මය අවසාන වීමට පෙරම ආරම්භ කල හැකියි. දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඉවත් කර ගර්භාෂයේ ඇතුළත පිරිසිදු කරනව. ඉන් පසුවයි පියවරෙන් පියවර කැපූ ස්තර නැවත තිබූ තත්වයට මැසීම සිදු කරන්නෙ. මෙහි දී ගර්භාෂය, උදර බිත්තිය සහ සමේ මැහුම් දැමීමක් සිදුකරනව‍ ශල්‍යකර්මයෙන් පසුව රුධිර වහනයක් ඇත් දැයි පරීක්ෂා කරනව. ඉන් පසු මවත් දරුවාත් දෙදෙනා ම ශල්‍යාගාරයෙන් ඉවතට ගෙන යනු ලබනව. දෙපාවල හිරි ගතිය පහව යෑමට පැය 4ක් පමණ ගත වෙනව. ඉන් පසු ශල්‍යකර්මයේ වේදනාව දැනීමට හැකි නිසා වේදනා නාශක ඖෂධයක් ගැනීම අවශ්‍යයි. කෑම ගැනීම, මවුකිරි දීම වැනි දේ තනිවම කර ගැනීමට එවිට මවට හැකියාව ලැබෙනව. ශල්‍යකර්මයෙන් පැය 12කට පමණ පසු මුත්‍රා පිට වීමට ඇති බටය ඉවත් කරන අතර, බොහෝ විට නික්ෂේපණ ඖෂධ අවශ්‍ය වන්නේ නැහැ. දෙවන දිනය වන විට ඇඳෙන් බැස තරමක් දුර තනිවම ඇවිදීමට හැකියාව බොහෝ මව්වරුන්ට තිබෙනව. වේදනා නාශක ඖෂධ නිසි පරිදි ලබා ගැනීමත් දිගටම මවුකිරි දීමට කටයුතු කිරීමත් මේ කාලයේ වැදගත් වෙනව. සංකූලතාවයක් ඇති නො වුන හොත් දින 3ත් 5ත් අතර කාලයේ දී මවට රෝහලෙන් බැහැර යාමට හැකියි. ශල්‍යකර්මයේ දී සමට යොදන්නේ බොහෝ විට දිය වන මැහුම්. එවිට මැහුම් ඉවත් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් දිය නොවන මැහුම් වර්ගයක් යොදා ඇත්නම් ශල්‍යකර්මයෙන් දින 5කට පමණ පසුව ඉවත් කර ගත යුතු වෙනව. සාමාන්‍ය එදිනෙදා කටයුතු වල යෙදීම හානිකර නැති වුවත් සති දෙකක් පමණ යන තෙක් බර ඉසිලීම වැනි ක්‍රියාකාරකම් වලින් වැළකීම සුදුසුයි. සැත්කමෙන් සති 6කට පසුව නැවත ගැබ් ගැනීමේ අවදානමක් තිබෙන නිසා උපත් පාලන ක්‍රමයක් ආරම්භ කිරීමට ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර ගන්න. Save..