Results for Tag: Obstetrics (33)
අධික රුධිර පීඩනය ගර්භණී මවකට බලපාන අයුරු. High blood pressure in pregnancy.
ගර්භණී මවු වරුන් ගෙන් 8% කගේ පමණ රුධිර පීඩනය ඉහල යාම දක්නට ලැබෙනවා. අධික රුධිර පීඩනය මූලික අවස්ථාවේ දී කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. එම නිසා බොහෝ දෙනෙක් මේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. නමුත් මෙය preeclampsia ලෙස හඳුන්වන දරුණු තත්වය දක්වා වර්ධනය වීමට සහ සංකූලතා ඇතිවීමට ඉඩ ඇති නිසා මෙය කිසිසේත්ම සුළු කොට තැකිය හැකි රෝගී තත්වයක් නෙමයි. ලංකාවෙ සෑම පූර්ව ප්‍රසව සායන වාරයක දීම අනිවාර්යයෙන් ගර්භණී මවගේ රුධිර පීඩනය පරීක්ෂා කර බලනව. එමගින් පමණයි මෙම තත්වය හඳුනා ගත හැකි වන්නේ. ගර්භණී මවකට ඇති වන අධික රුධිර පීඩනයෙහි ප්‍රධාන වර්ග 3ක් තිබෙනවා. 1. පෙර සිට පැවති රුධිර පීඩනය. ගැබ් ගැනීමට පෙර සිට මවට රුධිර පීඩනය තිබුණ නමුත් මෙය ගර්භණී සමයේ දී පලමු වරට හඳුනා ගන්නා අවස්ථාවක්. මෙම තත්වය ඇයගේ ජීවිත කාලය පුරාම ඉදිරියට පවතිනවා. සමහර විට දීර්ඝ කාලීන ඖෂධ භාවිතා කිරීමට සිදුවනව. 2. ගර්භණී සමයේ දී ඇතිවෙන රුධිර පීඩනය ප්‍රථම වරට ගර්භණී සමයේ දී අධික රුධිර පීඩනය ඇති වීම මෙලෙස හඳුන්වනවා. මෙම තත්වය දරු ප්‍රසූතියෙන් පසුව සාමාන්‍ය අතට හැරෙනවා. නමුත් ගර්භණී සමයේ දී රුධිර පීඩනය පාලනය කිරීමට ඖෂධ අවශ්‍ය වන්න පුළුවන්.  3. ගර්භණී සමයේ ඇතිවෙන දරණු රුධිර පීඩනය (ගර්භ විෂ රෝගය - preeclampsia) අධික රුධිර පීඩනය සමග මුත්‍රා වල ප්‍රෝටීන් අඩංගු වීම (proteinuria) මෙහි මූලික ලක්ෂණයි. මෙම රෝගී තත්වය සංකූලතා බොහොමයක් ඇති කරන්න හේතු වෙනව. එම නිසා නිතර රුධිර පීඩනය සහ මුත්‍රා පරීක්ෂා කරවා ගැනීම වැදගත්. ගර්භණී මවකට අධික රුධිර පීඩනය ඇති බව හඳුනා ගත් පසු වෛද්‍ය වරුන් විසින් මූලික රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරනව. එමෙන්ම දරුවාගේ වර්ධනය පිළිබඳ ව සොයා බලන්න ස්කෑන් පරීක්ෂණයකුත් සිදු කරනව. Pre eclampsia තත්වය ඇතිවීමට අවදානම් සාධක වන්නේ 1. පලමු ගර්භණී සමය හෝ පෙර දරු ප්‍රසූතියෙන් වසර දහයකට වඩා පසු ගැබ් ගැනීම 2. වයස අවුරුදු 40ට වැඩි වීම 3. ස්ථූලතාවය (ශරීර ස්කන්ධ දර්ශකය 35ට වැඩි වීම) 4. නිවුන් දරුවන් 5. දියවැඩියාව වැනි රෝගී තත්ව 6. කලින් ගර්භණී සමයේ අධික රුධිර පීඩනය අධික රුධිර පීඩනයට ඇති මවකගේ වැදෑමහ ගර්භාෂය තුල නිසි ලෙස වර්ධනය වන්නේ නැහැ. මෙයට හේතුව වන්නේ වැදෑමහ තුල ඇති රුධිර වාහිනි නිසි ලෙස විස්තාරනය නොවීම. එවිට වැදෑමහ තුලින් නිපදවෙන රසායනික නිසා මවගේ රුධිර වාහිනි හැකිළීමකට ලක් වෙනවා. එය රුධිර පීඩනය වැඩි වීමට හේතුවක්. ඊට අමතරව මෙම රසායනික ශරීරයේ විවිධ අවයවයන් බලපාව. එය වකුගඩු වලට බල පාන විට මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සිදුවනවා. අක්මාවට බලපාන විට රුධිරයේ අක්මාවෙන් නිපදවන එන්සයිම ප්‍රමාණය වැඩි වනවා. රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීමටත් මෙය හේතු වෙනව. මෙම තත්වය දරුණු වන විට මොළයටත් බලපෑම් ඇති කරනව. එමගින් හිසරදය, ඇස් පෙනීමේ අසාමාන්‍යතා වගේම Eclampsia ලෙස හඳුන්වන වලිප්පු තත්වය පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම රුධිර වාහිනි වලින් පිටත තරල එක් රැස් වීම නිසා ශරීරය ඉදිමීමක් දක්නට ලැබෙනව. බහුලව ම ඉදිමීම සිදු වන්නේ දෙපා, වලලුකර, අත් සහ මුහුණ ආශ්‍රිතව. රුධිර පීඩන සමග ඇස් පෙනීමේ වෙනසක්, අධික හිසරදයක් හෝ බඩේ දකුණු පස ඇති වන වේදනාවක් ඇති වීම දරුණු සංකූලතාවයක ලක්ෂණ විය හැකි නිසා එවැනි තත්වයක් ඇති වුවහොත් වහාම රෝහල් ගත වීම අත්‍යාවශ්‍යයි. රුධිර පීඩනය අඩු කරන ඖෂධ වර්ග බොහොමයක් තිබෙනවා. මින් කිහිපයක් පමණයි ගර්භණී මවකට පාවිච්චියට සුදුසු වන්නෙ. ඔබේ වෛද්‍ය වරයා සුදුසු ඖෂධයක් නිර්දේශ කල හොත් එය නිති පතා නියමිත කාලයට ගැනීම ඉතා වැදගත්. එමෙන්ම රුධිර පීඩනය සහ මුත්‍රා වරින් වර පරීක්ෂා කරවා ගත යුතුයි...
ගර්භණී මවකට පැපොල රෝගය වැලඳුන හොත් (Chickenpox in pregnancy)
පැපොල රෝගය කියන්නේ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. මෙම වෛරසය Varicella Zoster Virus ලෙස හඳුන්වනවා. බොහෝ විට මෙම රෝගයට ගොදුරු වන්නේ කුඩා දරුවන්. වරක් පැපොල රෝගය වැලඳුනොත් ශරීරයේ මෙම රෝගයට එරෙහි ප්‍රතිශක්තිය ඇති වන නිසා නැවත වරක් එය වැලඳෙන්නේ නැහැ. එම නිසා ඔබට කලින් පැපොල රෝගය වැලඳී ඇති නම් මේ ගැන බිය විය යුතු නැහැ. පැපොල රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්නේ ආශ්වාසය මගින්. රෝගය නිසා බිබිලි මතු වන්නට පෙර සිටම මෙය තවත් කෙනෙකුට බෝවිය හැකියි. පැපොල රෝග කාරක වෛරසය ශරීරයට ඇතුල්වී රෝගය ඇති වන්න සති දෙකක පමණ කාලයක් ගත වෙනව. මෙහි මූලික රෝග ලක්ෂණ වෙන්නේ උණ, ඇඟ පත රුදාව, සොටු දියර ගැලීම වැනි සාමාන්‍ය වෛරස ආසාදනයක දී ඇති වන ලක්ෂණ. වෛරසය තවදුරටත් ශරීරයේ පැතිරෙන විට සමේ බිබිලි ඇතිවෙනවා. මෙම බිබිලි කැඩී කුඩා තුවාල බවට පත් වෙන්නේ ඉන් අනතුරුව. සාමාන්‍යයෙන් මෙම රෝගය ඉබේම සුව වෙනව. නමුත් ගර්භණී මවකට පැපොල රෝගය ඇති වුවහොත් ඉන් සංකූලතා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. ගර්භණී සමයේ මුල් කාලයේ පැපොල රෝගය වැලඳෙන මව්වරුන්ගෙන් 0.5% කට පමණ දරු ගැබට මෙම රෝගය නිසා බලපෑම් ඇතිවෙනවා. මෙය Fetal Varicella Syndrome ලෙස හඳුන්වන අතර මෙම දරුවන්ගේ මොලය, ඇස්, මුත්‍රාශය සහ බඩවැල් ආශ්‍රිත අසාමාන්‍යතා ඇති වෙනව. එම නිසා මෙම දරුවන් අබාධිතව උපදින අතර ඔවුන්ගේ බුද්ධි මට්ටමත් අඩුයි. දරු ගැබට මාස තුනත් පහත් අතර කාලයේ පැපොල ආසාදනය ඇතිවුනොත් එමගින් දරුවාට බලපෑමේ හැකියාව 2% ක් පමණ වෙනව. සති 20ට පසුව දරුවාට ආසාදනය ඇති වුවත් එමගින් අංගවිකලතා ඇති වන්නේ නැති නමුත් දරුවා වෛරස ආසාදනයට ලක් වෙනව. දරු ප්‍රසූතියට ආසන්න කාලයේ දී පැපොල රෝගය වැලඳුනොත් දරුවා උපදින විටම රෝගය ඇති වෙන්න පුළුවන්. එමගින් දරුවාගේ පෙනහළුවලට ආසාදනය ඇතිවී දරුණු නියුමෝනියා තත්වයක් හට ගන්න හැකියාව තිබෙනව. ගර්භණී මවකට පැපොල රෝගය නිසා සංකූලතා ඇති වීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියි. වෛරසය පෙනහළු වලට බලපෑම නිසා දරුණු නියුමෝනියා තත්වයක් මවටත් ඇති වෙන්න පුළුවන්. එමෙන්ම වෛරසය මවගේ මොළයට සහ අක්මාවට හානි කරන්න ඉඩ තිබෙනව. එම නිසා පැපොල රෝගය ගර්භණී සමයේ ඇති වීම එතරම් හොඳ දෙයක් නොවෙයි. මෙයින් වැලකි සිටීම ඉතා වැදගත්. ඔබ ගර්භණී වීමට බලාපොරොත්තු වන පැපොල රෝගය කලින් වැළඳී නැති කාන්තාවක් නම් මෙම රෝගයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන මින් ආරක්ෂා විය හැකියි. මෙම එන්නත ලබා ගෙන මාස තුනක් යන තෙක් ගැබ් ගැනීම නිර්දේශ කරන්නේ නැහැ. ඔබ ගර්භණී කාලයේ දී වෙනත් පැපොල රෝගියෙකුට නිරාවරණය වීමෙන් වැළකීම වැදගත්. රෝගී පුද්ගලයෙකු සමග එකම කාමරයේ විනාඩි 15කට වැඩි කාලයක් ගත කිරීම, මුහුණට මුහුණ ලා විනාඩි 5කට වැඩි කාලයක් ගත කිරීම සහ සමීප සම්බන්ධතා මගින් රෝගය බෝ වීමේ අවදානම වැඩියි. එසේ අවදානමට ලක් වුව හොත් ඔබට රෝගය වැළඳීම වළක්වා ගැනීමට මිල අධික Varicella Zoster Immunoglobulin නැමති ප්‍රතිදේහය නික්ෂේපණය කල හැකියි. රෝගියාට නිරාවරණය වී පැය 72ත් දින 7ත් අතර කාලය තුල මෙම ප්‍රතිදේහය ගැනීමෙන් රෝගය ගර්භණී මවට සිදු විය හැකි හානිය අවම කර ගන්න පුළුවන්. යම් කිසි හේතුවක් නිසා ඔබට පැපොල රෝගය වැළඳුනොත් කලබල වෙන්න එපා. මෙය දරුවාට බලපෑමට ඇති ඉඩකඩ සියයට 2කට වඩා අඩුයි. ඔබට මෙමගින් සංකූලතා අවම කර ගැනීමයි වැදගත් වෙන්නේ. වෙනත් ගර්භණී මවුවරුන් ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වළකින්න. ප්‍රතිකාර ලෙස වේදනා නාශක ඖෂධ සහ ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි Acyclovir නැමති ඖෂධය ලබා ගැනීමෙන් රෝග ලක්ෂණ අවම කර ගත හැකියි. ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ අනිකුත් රෝග ලක්ෂණ මතු වන්නේ නම් සංකූලතා කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම සඳහා රෝහලක අනිත් මව් වරුන් ගෙන් වෙන් ව නැවතී සිටීම වැදගත්.  ..
ගර්භණී මවක් විසින් සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ
ඔබ දන්නා පරිදි ගර්භණී සමයේ සුළු රෝග ලක්ෂණ ඉතාමත් ම සුලබයි. ඒ නිසා ඇතැම් විට ඔබ මෙවැනි රෝග ලක්ෂණ අමතක කර සිටීමට පුරුදු වෙනවා. නමුත් සමහර අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ යම්කිසි දරුණු රෝගී තත්වයක ලක්ෂණයක් විය හැකියි. එම නිසා මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නෙ ඔබ සුලු කොට නො තැකිය යුතු රෝගී තත්වයන් හා රෝගී ලක්ෂණයන් කිහිපයක් ගැනයි. බඩේ වේදනාව ගර්භණී කාලයේ බඩේ මැද ප්‍රදේශයේ නාභිය ආසන්නයේ තද වේදනාවක් ඇති වුව හොත් හා ඒ සමගම වමනය ඇතිවුන හොත් එය සාමාන්‍ය නැහැ. තවද, නාභියට ඉහල දකුණු ප්‍රදේශයේ තදබල වේදනාවක් ඇති වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. මෙය preeclampsia හෙවත් ගර්භණී සමයේ අධික ලෙස වැඩි වන රුධිර පීඩනය නිසා ඇති වන සංකූලතාවයක් විය හැකියි. එමෙන්ම ගර්භණී සමයේ මුල් මාස තුන තුල ඇති වන යටිබඩෙහි වේදනාව සුළු කොට නො තැකිය යුතුයි. මෙය ගර්භාශයෙන් පිටත දරු ගැබ පිහිටීමේ ලක්ෂණයක් හෝ දරු ගැබට හානියක් වීමේ පෙර ලක්ෂණයක් වන්නට පුළුවන්. fibroid වැනි ගෙඩියක් සංකූලතාවයකට පත්වීමෙනුත් යටිබඩේ වේදනාවක් විය හැකියි. ගර්භණී සමයේ අවසාන කාලයේ දී මෙවැනි තත්වයක් ඇතිවීම දරුවා නියමිත කාලයට පෙර බිහි වීමේ අවදානම් තත්වයක් විය හැකියි. එසේම මෙවැනි අධික වේදනාවක් ඇතිවීම දරුවා බිහි කිරීමට පෙර වැදෑමහ බිත්තියෙන් ගැලවීම හෙවත් placental abruption නමැති ඉතාමත් අවදානම් තත්වයක් විය හැකියි. මේ නිසා යම් කිසි අවස්ථාවක උදරයේ අධික වේදනාවක් ඇති වේ නම් වෛද්‍ය උපදෙස් ලැබිය යුතුයි. උණ ඔබට ගර්භණී සමයේ උණ තත්වයක් ඇතිවුව හොත් එය ඉතාම ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. මන්ද යත් influenza රෝගී තත්වය ගර්භණී මාතාවන්ට මරු කැඳවන රෝගී තත්වයකි. පසුගිය වසරේ influenza රෝගය නිසා මාතෘ මරණ කිහිපයක් ම වාර්තා වී තිබුනි. එම නිසා ඔබට දවසේ පැය 24 කට වඩා උණ පවතී නම් රෝහල් ගත වීම පරීක්ෂා කරවා ගැනීම ඉතාමත් ම වැදගත්. රෝහලේ දී මේ පිළිබඳ පරික්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ හැකියාව තිබෙනවා. කිසිවිටකත් පැය 24 කට වඩා පවතින උණ රෝගී තත්වයකදි වෛද්‍ය උපදෙස් ලබා නො ගෙන නො සිටිය යුතුයි. ඇස් පෙනීමේ වෙනසක් ඇතිවීම ඔබගේ ඇස් පෙනීමේ වෙනසක් එනම් බොඳ වී යාමක් හෝ වරින් වර එළියක් පෙනී නොපෙනීයාමේ තත්වයක් වැනි අසාමාන්‍ය තාවයක් ඇතිවුව හොත් එය preeclampsia යනුවෙන් හඳුන්වන ගර්භණී සමයේ ඇති වන අධික රුධිර පීඩනයේ ලක්ෂණයක් විය හැකියි. එම නිසා එවැනි රෝගී තත්වයක් පවතී නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. එමෙන්ම තදබල හිසරදයක් පවතී නම් එයත් preeclampsia නැමති රෝගී තත්වයේ ලක්ෂණයක් විය හැකියි. එම නිසා වහාම වෛද්‍ය උපදෙස් ගන්න. යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම මුල් මාස තුන ඇතුළත යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් ඇතිවුව හොත් එය ගබ්සාවක හෝ ගර්භාෂයෙන් පිටත දරුවා පිහිටීම නිසා ඇති වන ectopic pregnancy රෝගී තත්වයේ ලක්ෂණයක් විය හැක. මේ නිසා වෛද්‍ය උපදෙස් මත scan පරීක්ෂණයක් සිදු කරවා ගැනීම වැදගත්. ඔබගේ සති 20 scan පරික්ෂාවෙන් පසු රුධිර වහනයක් ඇති වුවහොත් එය දරුවා නියමිත දිනට පෙර බිහි වීමට යන තත්වයක් හෝ වැදෑමහ ගැලවීයාම නිසා ඇති වන තත්වයක් විය හැකියි. වැදෑමහ පහලින් පිහිටා තිබීම placenta previa යනුවෙන් හඳුන්වන අතර එවැනි තත්වයක් නිසාත් වරින් වර රුධිර වහනයක් ඇති විය හැකි අතර එම රෝගී තත්වය scan පරික්ෂාවක් මගින් කලින් හඳුනා ගත හැකියි. යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීම ගර්භණී සමයේ අවසාන කාලයේ යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිට වන්නේ නම් මෙය දරු ගැබ ආරක්ෂා කරන පටල (water bag) බිදීයාම නිසා ඇතිවන්නක් විය හැකියි. මෙවැනි අවස්ථාවක ඊළඟ පැය කිහිපයේ දී හෝ දින කිහිපයක් ඇතුළත දරුවා බිහි වීමේ හැකියාව පවතී. එමෙන්ම ගර්භාෂයට විෂබීජ ආසාදනය වීමේ අවදානමක් ද පවතී. එවැනි අවස්ථාවක ඉක්මනින් රෝහල් ගත විය යුතුයි. මුත්‍රා දැවිල්ල ඔබ මුත්‍රා කරන අවස්ථාවක දැවිල්ලක් හෝ වේදනාවක් ඇති වන්නේ නම් මෙය මුත්‍රා ආසාදනයක රෝගී තත්වයක් විය හැකියි. ඒ සමගම උණ, යටිබඩ වේදනාව සහ ශරීරයට අපහසු බව හෝ කොන්දේ පැත්තක ඇති වන වේදනාව ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත්. වමනය දිගින් දිගටම පවතින වමනය තවත් රෝගී ලක්ෂණයකි. සාමාන්‍යයෙන් ඇති වන ඕක්කාරය සහ විටින් විට ඇති වන වමනය ගර්භණී සමයේ මුල් මාස කිහිපය තුල බහුලව දක්නට ලැබෙන ලක්ෂණයකි. නමුත් ඔබට දිගින් දිගටම වමනය යන්නේ නම් කිසිදු ආහාරයක් ලබා ගැනීමට මේ නිසා නො හැකි වන්නේ නම් මෙය රෝහල් ගත වී පරීක්ෂා කරවා ගත යුතු තත්වයකි. ගර්භණී සමයේ මුල් මාස කිහිපයෙන් පසුව වමනය ඇති වන්නේ නම් මෙය වකුගඩු සම්බන්ධ, අක්මාව සම්බන්ධ හෝ අධි රුධිර පීඩනය සම්බන්ධ රෝගී තත්වයක් විය හැකියි. මේ නිසා ගර්භණී සමයේ මුල් මාස 3න් පසුව ඔබට අධික වමනයක් ඇතිවුව හොත් රෝහල් ගත වීම ඉතාමත් ම වැදගත් වේ. කැසීම ඇඟ කැසීම එසේත් නොමැති නම් අත් හෝ පාද වල කැසීමක් ඇතිවීම ගර්භණී සමයේ සුලභ ලක්ෂණයක් නොවේ. නමුත් එවැනි අවස්ථාවක ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙවැනි සමේ කැසීමේ රෝග තත්වයක් ඇති කල හැකි අක්මාවට බලපාන දරුණු රෝගී තත්වයන් (obstetric cholestasis) පවතින බැවින් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඉහත කී රෝග ලක්ෂණයන්ට අමතරව ඔබට කිසියම් හෝ අපහසුතාවක් දැනෙන්නේ නම් හෝ ඔබ නිරෝගී තත්වයෙන් පසු නොවන බව හැඟෙන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ...
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)
ගර්භණී මවකගේ පෝෂණය ගැන හැමෝම සැලකිලිමත් වෙනවා. ගැබිනි කාන්තාවට සුදුසු ආහාර පාන ගැන විවිධ මත පවතින නිසා, ඒ ගැන දැනුවත් වීම වැදගත්. සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු වලට අමතරව ගැබිනි සමයේ දී ලබා දෙන විටමින වර්ග ගැනත් මේ ලිපියෙන් ඔබට තොරතුරු දැන ගන්න පුළුවන්. දරු ප්‍රසූතියකට සූදානම් වන මවක් එම අවස්ථාව වන විට හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටීමට ගර්භණී සමයේ පෝෂණය මෙන්ම ගැබ් ගැනීමට පෙර තිබූ පෝෂණ තත්වයත් බලපානව. එම නිසා දරු පිළිසිඳ ගැනීමකට බලාපොරොත්තු වන කාන්තාවන් තමන්ගේ පෝෂණය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. පෝෂණ තත්වය මැන බලන ප්‍රධාන දර්ශකයක් වන්නේ උසට සරිලන බරක් තිබීම. උස සහ බර අනුව BMI (Body mass index) අගය ගණනය කිරීමෙන් ඔබේ පෝෂණ තත්වය ගැන දැන ගන්න පුළුවන්. නිවැරදි පරාසයේ උස සහ බර තිබීම පමණක් සෑහෙන්නෙ නැහැ. මීට අමතරව, ගර්භණී මවකට සුදුසු සහ නුසුදුසු ආහාර ගැන සැලකිලි මත් වීමත් වැදගත්. ඔබ ගර්භණී නම් ඔබගේ ආහාර රටාව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට වෙනස් කර ගැනීමට මේ උපදෙස් පිළිපදින්න. 1. ප්‍රධාන ආහාරය ලෙස නිවුඩු බත් හෝ ඇට වර්ගයක් හැකි සෑම විටම තෝරා ගන්න. එසේ නැතිනම් බත්, පාන්, නූඩ්ල්ස් වැනි පිටි සහිත ආහාරයක් ගන්න. 2. පලතුරු හෝ එළවළු හැකි තරම් ආහාරයට එක් කර ගන්න. එමගින් මේද බහුල හා අධික කැලරි සහිත ආහාර ප්‍රමාණය අඩු කර ගත හැකියි.  3. ඔබ ගන්නා කැලරි ප්‍රමාණය හෝ මේද ප්‍රමාණය ගර්භණී සමයේ වැඩිකල යුතු නැහැ. වැඩි පුර සීනි සහිත සහ බැදපු ආහාර ගැනීම එතරම් සුදුසු නැහැ. පැණි බීම, පැණි රස අතුරුපස, කේක්, බිස්කට් සහ අධික තෙල් සහිත ආහාර වලින් වැළකීම වැදගත්. 4. පලා වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර එක් කර ගන්න. මස්, බිත්තර, මාළු, කරවල, වැනි ආහාර මෙන්ම පරිප්පු, බෝංචි, සෝයා වැනි ආහාර වලිනුත් අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය එක් කර ගන්න පුළුවන්. 5. නිවුඩු බත්, ඇට වර්ග, කොළ පැහැති එළවළු සහ පලා වර්ග වැනි තන්තු බහුල ආහාර නිතරම ගැනීම සුදුසුයි. 6. කිරි ආහාර මගින් කැල්සියම් ලබාගත හැකියි. 7. ඔබ ගන්නා ආහාර ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත්. ගර්භණී සමයේ දෙදෙනෙකුට සෑහෙන ලෙස ආහාර ගත යුතු නැහැ. මුල් මාස හය තුල බොහෝ කාන්තාවන්ට සාමාන්‍ය ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉන් පසුව වුවත් ගර්භණී බව නිසා වැඩිපුර අවශ්‍ය වන්නේ දිනකට කැලරි 200ක් තරම් සුළු ප්‍රමාණයක්. මෙම වැඩිපුර කැලරි ප්‍රමාණය සාමාන්‍යයෙන් පාන් පෙති දෙකකින් ලැබෙන කැලරි ප්‍රමාණයට සමානයි. 8. උදේ ආහාරය නොවරදවාම ලබාගන්න. 9. ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව උදය වරුවේ සහ හවස් වරුවේ අමතර සුළු ආහාර වේල් දෙකක් ගැනීම සුදුසුයි. නමුත් මෙමගින් දවස තුල ගන්නා සම්පූර්ණ කැලරි ප්‍රමාණය වැඩි නොවිය යුතුයි. ගර්භණී සමයේ බර ගැන. ඔබේ බර නියමිත අගයේ තිබේ දැයි ශරීර ස්කන්ධ දර්ශකය (BMI) මගින් දැන ගත හැකියි. එම අගය 18.5 අඩු නම් ඔබගේ බර ප්‍රමාණවත් නැහැ. 25ට වඩා වැඩි නම් ඔබගේ බර වැඩියි. බර වැඩි නම් ගර්භණී සමයේ සංකූලතා ඇති වීමට වැඩි අවදානමක් තිබෙනව. නමුත් මේ බර අඩු කර ගැනීමට සුදුසු කාලයක් නෙමෙයි. ආහාර අඩු කිරීම සහ අධික ව්‍යායාම කිරීම ගර්භණී මවකට සුදුසු නැහැ. ගර්භණී මවට විටමින් අපේ ශරීරයට අවශ්‍ය විටමින වර්ග ලැබෙන්නේ අපි ගන්නා ආහාර වලින්. විටමින් D පමණක් හිරු එළියෙන් ලැබෙනව. බොහෝ කාන්තාවන්ගේ ආහාර පුරුදු නිසා සමහර විටමිනයන් අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට ලැබෙන්නේ නැහැ. එම නිසා සමහර විටමින අමතරව ලබාගැනීමට සිදු වෙනව. මින් ප්‍රධානතම විටමිනය වන්නේ ෆෝලික් අම්ලයයි. ගර්භණී මවකට දිනකට අමතර ෆෝලික් ඇසිඩ් මයික්‍රො ග්‍රෑම් 400ක් පමණ අවශ්‍යයි. මෙය පෙත්තක් වශයෙන් ලබා ගත හැකියි. ෆෝලික් අම්ලය වැඩෙන දරුවාගේ කොඳු ඇට පෙල සම්බන්ධ ස්නායු පද්ධතිය සහ මොළයේ වර්ධනයට අත්‍යාවශ්‍ය විටමිනයක්. සාමාන්‍යයෙන් ගැබ් ගැනීමට පෙර සිට සති 13ක් දක්වා කාලය තුල මෙම විටමිනය දිනපතා ලබා ගැනීමෙන් මොළයේ සහ ස්නායු පද්ධතිය සම්බන්ධ අසාමාන්‍යතා ඇති දරුවන් බිහි වීම අඩු කර ගත හැකියි. අධික තරබාරු කම, දියවැඩියාව, අපස්මාරය සඳහා ඖෂධ භාවිතය, තැලසීමියා වැනි රෝග තත්ව සහ පවුලේ කෙනෙකුට හෝ දරුවෙකුට spina bifida නමැති තත්වය තිබීම වැනි අවදානම වැඩි අවස්ථා වන් වලදී ස්නායු පද්ධතිය සම්බන්ධ අසාමාන්‍ය තාවයන් ඇති වීමට වැඩි අවදානමක් තිබෙනව. එවිට ‍ ෆෝලික් අම්ලය වැඩි මාත්‍රාවකින් (5mg) නිර්දේශ කරනව. විටමින් D හිරු එළියෙන් ලැබෙන නිසා ලංකාව වැනි රට වල ඌනතා ඇතිවීම විරලයි. නමුත් අධික තරබාරු බව, බොහෝ විට ගොඩනැගිලි තුලම කාලය ගත කිරීම, කිරි ආහාර නො ගැනීම වැනි හේතු මත විටමින් D අමතරව ලබා ගැනීම නිර්දේශ කරනව. විටමින් K ලේ කැටි ගැසීම නිසි ලෙස පවත්වා ගැනීමට වැදගත් විටමිනයක්. මෙය අඩු වීමෙන් උපදින දරුවාගේ රුධිර වහනයට අවදානම වැඩි වෙනව. ඔබ අපස්මාරයට ඖෂධ ගන්නේ නම් හෝ අක්මාවේ රෝග තත්වයක් ඇත්නම් මෙම විටමිනය අමතරව ලබා ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන්. විටමින් A අතිරික්ත ලෙස ලබා ගැනීම වැඩෙන දරුවාට හානිකර වෙන්න පුළුවන්. එමෙන්ම අනිකුත් විටමින වර්ග අමතරව ලබාගැනීම සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ නැහැ. ලංකාවේ බොහෝ කාන්තාවන් යකඩ ඌනතාවයෙන් පෙලෙනව. එම නිසා යකඩ පෙති ලෙස ලබා ගැනීම නිර්දේශ කරනව. නමුත් රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම සාමාන්‍ය නම් මෙය ලබා ගැනීම අනිවාර්ය නැහැ. මුල් මාස තුනෙන් පසුව යකඩ පෙති ලබා ගැනීම වඩාත් සුදුසුයි...
ගර්භනී සමයේ දියවැඩියාව (Gestational Diabetes Mellitus)
කාන්තාවක් ගර්භනී භාවයට පත්වීමෙන් පසු ඇයගේ රුධිරයේ සීනි මට්ටම ග්ලුකෝස් මට්ටම ඉහල යාම ගර්භනී සමයේ දියවැඩියාව ලෙස හඳුන්වයි. මෙය වැඩිහිටි වයසේ අයට වැළඳෙන දියවැඩියා තත්වයට වඩා වෙනස් අවධානය යොමු කළයුතු විශේෂිත රෝගී තත්වයකි. මෙම දියවැඩියා තත්වය දරු ප්‍රසූතියෙන් සුළු කාලයකට පසු නැවත ප්‍රකෘති තත්වයට පත් වන බව හඳුනා ගත හැකිය. ගර්භනී සමයේ දියවැඩියාව සඳහා අවධානම් තත්වයක් ලෙස ශරීරයේ බර වැඩිවීම නැත්නම් ස්ථුල තාව හැඳිනවිය හැකියි, එමෙන්ම ඔබ මීට කලින් දරුවන් බිහි කළ මවක් නම් ඔවුන්ගේ බර කිලෝ ග්‍රෑම් 4ට වඩා වැඩි වූයේ නම් එහිදී ද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි වනු ඇත. එමෙන්ම ඔබ මීට පෙර ගර්භනී අවස්ථාවලදී  දියවැඩියාව  වැළඳුණු කාන්තාවක් නම් එහිදීද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානමට ලක් වනු ඇත. තවද ඔබේ පවුලේ මව පියා හෝ සහෝදර සහෝදරියක් දියවැඩියා රෝග තත්වයෙන් පෙලෙන්නේ නම් එවැනි අවස්තාවකදී ඔබට  ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම ඉහල මට්ටමක පවතී. විශේෂයෙන්ම  දකුණු ආසියාතික රට වල ජීවත් වන සියලු  ජනතාවට දියවැඩියාව වැළදීමේ අවදානම ලෝකයේ සෙසු රටවල ජීවත් වන පුද්ගලයන්ට වඩා ඉහල බව සිදු කර ඇති සමීක්ෂණ වලින්ද තහවුරු වී තිබෙනවා. ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත්දැයි දැන ගන්නේ කෙසේද? ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි පරීක්ෂා කර ගැනීමට කළ යුත්තේ ගැබ් ගෙන සති 12ක් ඉක්ම ගිය පසු  PPBS රුධිර පරීක්ෂණයක් සිදු කර ගැනීමයි. ඒ සඳහා ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට පමණ පසු මෙම රුධිර පරීක්ෂණය සිදු කළ යුතු වනවා. මෙමගින් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි කල් තියා හඳුනා ගත හැකි වන නමුත් මෙය 100% සාර්ථක පරීක්ෂණයක් නොවන බවද අප වටහා ගත යුතු වනවා. මෙම රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵලය  සාමාන්‍යය  වුවද ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම තිබෙන්නට පුළුවන්. එම නිසා ගැබ් ගෙන සති 24 ත් 28ත් අතර කාලයේ දී  නැවතත් තවත් රුධිර පරීක්ෂණයක් සිදු කර ගත යුතු වනවා. එම රුධිර පරීක්ෂණය ග්ලුකෝස් ටොලරන්ස් ටෙස්ට් (OGTT) යනුවෙන් හඳුන්වනු ලබනවා. එම පරීක්ෂණය මගින් ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැලඳී ඇත් දැයි නිවැරදිව තහවුරු කර ගත හැකි වනු ඇති. ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී මෙන් ඇතිවන සංකූලතා ඔබ මෙම රෝගී තත්ත්වයෙන් පෙලෙන්නේනම් එහිදී කුසය තුල වැඩෙන දරුවාට හෝ ඔබට අවදානමක් ඇතිවිය හැකියි. නමුත් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති බොහෝ කාන්තාවන් කිසිදු සංකූලතාවයක් ඇති නොවූ  ඉතාම නිරෝගී දරුවන් බිහි කරන අවස්ථා දකින්න පුළුවන්. එම නිසා ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී  තිබුනද ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීම සිදු නොකළ යුතුයි. ඔබ කළ යුත්තේ ඔබගේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීමයි. දියවැඩියාව ගර්භනී සමයේ වැලඳීමෙන් ඇතිවිය හැකි අවදානම් තත්වයන් කිහිපයක් හඳුනාගත හැකියි. ප්‍රසූතියේ දී වැඩි බර දරු උපතක් සිදුවීමට ඉඩ ඇති හෙයින් මව සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට  සිදුවීම හෝ අඬු භාවිතය මගින් දරු උපත සිදු කිරීමට වීම ඒ අතර වනවා. එමෙන්ම ඉතාමත් කලාතුරකින් දරුවාට අවදානම් සහගත තත්වයන් ඇතිවීමට ද ගර්භනී සමයේ දියවැඩියාව බලපා හැකියි, එහි දී මල දරු උපතක් සිදු විය හැකි වනවා. ගර්භනී සමයේ දියවැඩියාව පාලනය කරන්නේ කෙසේද ගර්භනී සමයේ දියවැඩියාව ඉතා හොඳින් පාලනය කිරීම වඩා වැදගත් වනවා. මෙහි දී ඔබ කළ යුතු වන්නේ ඔබගේ වෛද්‍ය වරයා ලබා දෙන නිර්දේශ නිවැරදිව අනුගමනය කිරීමයි. නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීමට  එහි දී ඔබගේ වෛද්‍යවරයා පලමුව නිර්දේශ කරනු ඇති. විශේෂයෙන්ම ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවක් සීනි අධික ආහාර ගැනීම නොකළ යුතු වනවා. එමෙන්ම පිටි සහිත ආහාර (උදාහරණ ලෙස පාන් බනිස් ආදී ආහාර) ආහාරයට ගැනීම එතරම් සුදුසු වන්නේ නැහැ. සමහරක් කාන්තාවන්ට හොඳින් ආහාර පාලනය කිරීමෙන් පමණක් මෙම ගර්භනී සමයේ දියවැඩියා තත්ත්වයෙන් මිදීමට හැකි වනවා. ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් නමුත් ඔබට යම්කිසි හේතුවක් නිසා ප්‍රතිකාර අවශ්‍ය වුවහොත්   ඒ සඳහා ආකාර දෙකකින් ප්‍රතිකාර කළ හැකි වනවා. බෙහෙත් පෙති අධාරයෙන් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීම ඉන් එක්  අවස්ථාවක්. එමගින් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීමට  අපොහොසත් වුවහොත් ඉන්සියුලින් නමැති හෝමෝනය නික්ෂේපනය කළ යුතු වනවා. මෙහි දී රුධිර ගත සීනි මට්ටම නියමිත ලෙස පාලනය කිරීම වඩා වැදගත් වනවා. ඒ සඳහා ඇතැම් අවස්ථාවල දිනකට තෙවරක් රුධිර ගත සීනි මට්ටම පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ අනුව ප්‍රතිකාර වෙනස් කිරීම සිදු කරනු ඇති.  අමතර පරීක්ෂණ ප්‍රතිකාරවලට අමතරව දරුවාගේ වර්ධනය පරීක්ෂා කිරීම සඳහා අමතර ස්කෑන් පරීක්ෂණද සිදු කළ යුතු වනවා. දරුවාගේ බර වැඩි වනවාද දරුවාට යම් සංකූලතාවයක් ඇතිවී තිබේද යන්න එමගින් හඳුනා ගත හැකි වනවා . දරු ප්‍රසූතිය සැලසුම් කිරීම ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම නිරෝගී කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම ට වඩා වෙනස් ආකාරයකින් සිදු වනව. ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකට ගැබ් ගෙන සති 38 ත් 40ත් අතර කාලය තුල ප්‍රසූතිය සිදු කිරීමට අනුමත කරනු ඇති. දිය  වැඩියා තත්වයේ දරුනු භාවය මත මෙම කාලය වෙස් කිරීමට සිදුවනු ඇති. ..