ගර්භණී සමයේ උණ, ඇඟපත රුදාව වැනි රෝග තත්වන්ගෙන් පෙලෙන මවකට තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම දරු ගැබට හානිකරද යන වග. මේ ගැන බොහෝ දෙනෙකු අපෙන් විමසන නිසා ඊට විද්‍යාත්මක පිළිතුරක් ලබා දීමට මෙම ලිපියෙන් බලා පොරොත්තු වෙනව. පැරසිටමෝල් කියන්නෙ බටහිර වෛද්‍ය ක්‍රමය තුල වසර 70කට වඩා කාලයක් භාවිතා කර ඇති ඖෂධයක්. මෙම ඖෂධය උණ සහ වේදනාව සමනය කිරීම සඳහා නිතරම භාවිතා කරනව. දශක ගණනාවක් තිස්සේ ලොව පුරා මිලියන ගනණක් මව් වරුන් සහ දරුවන් ලබා ගෙන තිබෙන අතර එය දරුගැබට හෝ දරුවාට හානියකින් තොරව ලබා ගත හැකි ආරක්ෂිත ඖෂධයක් බව තහවුරු වී තිබෙනව.අද වනවිට තිබෙන ඖෂධ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ දත්ත අනුව ගර්භණී සමයේ නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ඖෂධය ලබා ගැනීම කිසිසේත්ම අහිතකර නැහැ. මෑතකදී සමහර පර්යේෂණ වාර්තා පැරසිටමෝල භාවිතය සහ ඔටිසම් තත්වය අතර සම්බන්ධයක් පිළිබඳ සැක කර ඇති නමුත් එයට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි එම සමීක්ෂණ වලින් ඉදිරිපත් කර නැහැ. පැරසිටමෝල් ඖෂධයට වඩා එය ගැනීමට හේතු වන විෂබීජ ආසාදන සහ අධික උණ තත්වයන් ඔටිසම් රෝගයට හේතු විය හැකි බවට අනුමාන කල හැකියි. ඒ නිසා ලොව පුරා මේ පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන්නේ මේ වන විටත් පැරසිටමෝල් ගර්භණී මව් වරුන්ට ලබා ගත හැකි ඉතාමත් ආරක්ෂිත ඖෂධයක් බවයි. ඒ නිසා ඔබට ගර්භණී කාල සීමාව තුල කිසියම් රෝග තත්වයකට පැරසිටමෝල් ලබා ගැනීමට ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කල හොත් එය ලබා ගැනීමට කිසිසේත්ම බිය විය යුතු නැහැ. දැනට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු ගත හැකි නිගමනයන් පහත පරිදියි. 1. ගර්භණී මවකට ඇතිවන උණ සහ වේදනාවන් සමනය සඳහා පලමු තේරීම ලෙස පැරසිටමෝල් භාවිතා කල හැකියි.2. පැරිසිටමෝල් භාවිතා කරන විට නිර්දේශිත අවම මාත්‍රාවෙන් භාවිතා කරන්න.3. පැරසිටමෝල් සමග වෙනත් ඖෂධ මිශ්‍ර කර ඇති සංයොජන භාවිතය වෛද්‍ය නිර්දේශ මත පමණක් සිදු කරන්න.4. නිර්දේශිත උපරිම මාත්‍රාවට වඩා පැරසිටමෝල් ලබා ගැනීම සුදුසු නැහැ. පැරසිටමෝල් ගර්භණී ඔබට කිසිදු පැකිලීමකින් තොරව ලබා ගත හැකි ඖෂධයක් බව වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර තිබෙන නිසා, මේ පිළිබඳ පැතිරෙන කට කතා සහ මිත්‍යා විශ්වාස වලට බිය නොවී ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන මාත්‍රාවෙන් ඖෂධය ලබා ගන්න. මෙවැනි මිත්‍යා විශ්වාසයන් නිසා ගර්භණී ඔබ උණ සහ වේදනාවන් ගෙන් පීඩාවට පත්වීමට අවශ්‍ය නැහැ. සුදුසු පරිදි ඖෂධ ලබා ගැනීම මගින්, අධික උණ වැනි තත්වයන් නිසා දරු ගැබට විය හැකි හානි වලක්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනව. මේ පිළිබඳව ඔබට තව දුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඔබේ විශේෂඥ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. ..