Results for Tag: Laparoscopy (2)
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය  පිළිබඳව මෙයට පෙර පල කල ලිපි මගින් දැනටමත් ඔබ දැනුවත්ව ඇති බව අපි විශ්වාස කරන්නෙමු. මෙවර ලිපියෙන් අප ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ  එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම පිළිබඳවය. මෙම රෝග තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතුව ගර්භාෂයේ පමණක් පිහිටන එන්ඩොමෙට්‍රියම් සෛල ගර්භාෂයෙන් පිට විවිධ ස්ථාන වල එනම් ගර්භාෂයේ පිටත බිත්තිය මත, ශ්‍රෝණි කුහරයේ බිත්ති මත, පැලෝපීය නාල හෝ ඩිම්බ කෝෂ මත ඇතිවීමයි. ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙම රෝග තත්ත්වය නිර්ණනය කරගත හැකි වුවත් ලැපරොස්කොපි පරීක්ෂණය මගින් නිවැරදිවම මෙම තත්ත්වය හඳුනා ගත හැකිය. ඒ අනුව එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය නිසා ඇති වන වේදනාව සඳහා වේදනා නාශක මගින් තාවකාලික සහනයක් ලබා ගත හැකි වුවත් දරුඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවකට නම් වේදනා නාශක වලින් සාර්ථක විසඳුමක් ලබා ගත නොහැකිය. එනිසා එවැනි රෝගී කාන්තාවකට ශල්‍යකර්ම මගින් යහපත් තත්ත්වයක් ඇති කර ගැනීමට හැකියාව ඇත. ලැපරොස්කොපි ශල්‍යකර්මය දරුණු ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඇත්නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එන්ඩොමෙට්‍රියම් සෛල ඉවත් කල හැකියි. මෙය  එන්ඩෝමේට්‍රොසිස් රෝගයට නිශ්චිත ප්‍රතිකාරය වන අතර, එහිදී ශ්‍රෝණි කුහරය තුල ඇති එන්ඩොමෙට්‍රියම් සෛල ඉවත් කිරීම හා පිළිස්සීම සිදුකෙරේ. මෙමගින් වේදනාව අඩු වන අතර නැවතත් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල යෙදෙන්න හැකියාව ලැබේ. එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති විට පැලෝපීය නාල අවහිර වීමත් පටක එකිනෙකට ඇලීමත් නිසා ඩිම්බයට පැලෝපීය නාලය කරා ගමන් කිරීමට නොහැකිවේ. එ නිසා දරු පිළිසිඳ ගැනීම පමා වීමට විසඳුමක් ලෙස මෙම අවහිරතා ඉවත් කර ඩිම්බයක් පැලෝපීය නාලය වෙත පැමිණීමට හැකි පරිදි සකස් කිරීමට ලැපරොස්කොපි ශල්‍යකර්මයක දී හැකියාව ඇත. මදසරු බවට ප්‍රතිකාර ලෙස එන්ඩොමෙට්‍රියොසිස් සෛල ඉවත් කරන ලැපරොස්කොපි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු ඇතැම් විට හෝමෝන ප්‍රතිකාර මාස කිහිපයක් ලබා ගැනීමට සිදුවේ. හෝමෝන ප්‍රතිකාර මගින් මාස 3-9 දක්වා කාලයක් ඔසප් නැවතීමට ප්‍රතිකාර කරනු ලබයි. මෙහිදී බලාපොරොත්තු වනුයේ ගර්භාෂයෙන් පිටත වර්ධනය වන එන්ඩොමෙට්‍රියෝසිස් සෛල වර්ධනය නතර කිරීමයි. එසේ වර්ධනය නතර කිරීමෙන් ඒවා විනාශ වේ. ප්‍රතිකාර පටන් ගත් පසු අඛණ්ඩව මාස 09ක් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍යය. ඒ සඳහා සාමාන්‍ය උපත් පාලන පෙති, ප්‍රොජෙස්ටරෝන් මෙන්ම GnRH analogues නැමැති හෝර්මෝන ඉන්ජෙක්ෂන් යොදා ගනියි. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී අතුරු ආබාධ අවමය. සාර්ථක සැත්කමකින් පසුව වසර 2- 3ක් යනතුරු නැවත රෝගය මතුනොවේ, ඔසප් වීමේදී සහ ලිංගික සම්බන්ධතවෙදී වන වේදනාව සඳහා විසඳුමක් ලැබෙන අතරම දරුඵල අපේක්ෂිත කාන්තාවන්ට, ගැබ් ගැනීමේ සම්භාවිතාව ද වැඩිවේ. මෙම එන්ඩොමෙට්‍රියෝසිස් සෛල නැවත වර්ධනය වීමේ අවදානමක් ඇති නිසා, ප්‍රතිකාර කිරීමෙන් පසු  ඉතා ඉක්මනින් පිළිසිඳ ගැනීමකට සූදානම් විය යුතුය. ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමඉහත ප්‍රතිකාර ක්‍රම මගින් සහනයක් නොලැබිය හැකි පරිදි රෝගය ඉතා දරුණු නම් ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් සම්පූර්ණ සුවය ලබා දිය හැකිය. මෙම ක්‍රමය සුදුසු වන්නේ නැවත දරුපළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරන කාන්තාවන්ටයි.   සටහන -  දිශාන්ති වෙදගේ..
ඩිම්බ කෝෂ වල ගෙඩි සඳහා සිදු කරන ලැපරොස්කොපි ශල්‍ය කර්ම. Laparoscopic surgery for ovarian cysts
ලැපරොස්කොපි සැත්කම් පිළිබඳව බොහෝ කරුණු මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කර තිබෙනව.  මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්න ඩිම්බ කෝෂවල ගෙඩි ඉවත් කරන සැත්කම් ගැන ඔබ දැනුවත් කිරීමයි. දැනට කාන්තා රෝග වලට සිදු කරන සැත්කම් වලින් බොහොමයක්ම ලැපරොස්කොපි ක්‍රමයට ඉතාමත් ආරක්ෂිව සිදුකරන්න පුළුවන්. එහිදී සිරුරට සිදු වන හානිය සහ අතුරු ආබාධ අඩු නිසා සැත්කමෙන් පසු ඉතා ඉක්මණින් පූර්ණ සුවය ලැබෙනව.බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි ඩිම්බ කෝෂ වල ගෙඩි ඇතිවීම. මෙලෙස හඳුනා ගනු ලබන ගෙඩි වලින් බහුතරයක්ම කිසිම ප්‍රතිකාරයකින් තොරව ඉබේම හැකිලී යනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකදී ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇති බව හඳුනා ගත් පමණින් එයට සැත්කමක් සිදු කිරීම හෝ හැකිලීමට ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය නැහැ. නමුත් ඩිම්බ කෝෂ වල ඇති වෙන සමහර ගෙඩි මෙලෙස ඉබේ හැකිලී යන්නෙ නැහැ. ඒවා ක්‍රමයෙන් විශාල වීමට, සංකූලතා ඇති වීමට හෝ පිළිකා බවට පත්වීමට අවදානමක් ඇතිදැයි ඔබේ වෛද්‍ය වරයාට නිගමනය කරන්න පුළුවන්. එවැනි අවදානමක් ඇති විට ඊට සැත්කමක් සිදු කිරීම අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂ වල පිළිකා සඳහා කරන සංකීර්ණ සැත්කම් හැර අනිකුත් සියළුම සැත්කම් දැන් ලැපරොස්කොපි ක්‍රමයට සිදුකරන්න පුළුවන්. එවැනි සැත්කමකදී සිරුරට සිදුවෙන හානිය අවමයි. ඒ වගේම ඩිම්බ කෝෂයේ සාමාන්‍ය සෛල ඉවත් කිරීමකින් තොරව ගෙඩිය පමණක් ඉවත් කල හැකි  නිසා නැවත දරු පිළිසිඳ ගැනීමට බාධාවක් ඇති වෙන්නෙ නැහැ. ඒ වගේම සැත්කම සිදු කරන දිනයේම හෝ පසු දින රෝහලෙන් බැහැර වීමටත් දින කිහිපයක් ඇතුලත සාමාන්‍ය වැඩකටයුතු නැවත ආරම්භ කිරීමටත් හැකියාව ලැබෙනව. ලැපරොස්කොපි සැත්කමකදී උදරයේ සෙන්ටිමීටරයකට වඩා කුඩා කැපුම් තුනක් පමණක් සිදු කර උදරය ඇතුලත සජීවී වීඩියෝ දර්ශණ ලබා ගන්නා අතර ඒ ආධාරයෙන් ඉතා සියුම් ශල්‍ය උපකරණ භාවිතා කරමින් සැත්කම සිදු කරන්නෙ. ඩිම්බ කෝෂ වල ඇති වෙන ඉතා විශාල ගෙඩියක් වුවත් මෙම ක්‍රමයට ආරක්ෂිතව සිරුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය තාක්ෂණය දැන් තිබෙනව. මේ පිළිබඳ වැඩි විස්තර පහත ලින්ක් වලින් බලා ගන්න පුළුවන්.ඩිම්බ කෝෂ වල ගෙඩි1. ලිපිය - ඩිම්බ කෝෂ වල ඇති වෙන ගෙඩි2. රූපවාහිනී වැඩසටහන3. ගුවන් විදුලි වැඩසටහනලැපරොස්කොපි සැත්කම්1. ලිපිය - විවෘත සැත්කම් වෙනුවට විශාල කැපුම් නැති ලැපරොස්කොපි සැත්කම් 2. රූපවාහිනී වැඩසටහන..