Results for Tag: fertility, (2)
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?
මොනවද මේ ෆෝලික් ඇසිඩ් කියන්නෙ? ෆෝලික් ඇසිඩ් ගැනීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වෙනවද? ෆෝලික් ඇසිඩ් කොපමණ ප්‍රමාණයක් ගන්න අවශ්‍යද? ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කල යුතු වෙන්නෙ කුමන කාලයක සිටද? මේ වගේ ගැටළු රැසක් අප වෙබ් අඩවිය වෙත නිතරම යොමු වන නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරනව. ෆෝලික් ඇසිඩ් (Folic acid/ Vitamin B9) කියල කියන්නෙ අපේ ආහාර මගින් ලබා ගත යුතු විටමිනයක්. ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවක් සාමාන්‍යයෙන් දිනකට අඩුම වශයෙන් ෆෝලික් ඇසිඩ් මයික්‍රො ග්‍රෑම් 400ක පමණ ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනව. කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග, දොඩම්, කජු, බෝංචි කඩල වැනි ඇට වර්ග සහ කුකුළු මස් වැනි ආහාර වල සාමාන්‍යයෙන් ෆෝලික් අම්ලය අඩංගු වන නමුත් අප එදිනෙදා ආහාරයට ගන්නා සාමාන්‍ය ආහාර වේලක මෙතරම් විශාල ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ නැහැ. ඒ නිසා ගැබ් ගැනීමට අපේක්ෂා වෙන් සිටින සෑම කාන්තාවකටම ෆෝලික් අම්ලය ආහාර වලට අමතරව ලබා ගැනීමට නිර්දේශ කරනව. ෆෝලික් අම්ලය අපේ සිරුරේ බොහෝ ක්‍රියාකාරිත්වයන්ට වැදගත් විටමිනයක්. අප ශරීරයේ බොහෝ සෛල වල වර්ධනය සහ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට ෆෝලික් ඇසිඩ් වැදගත් වෙනව. මේ අතර රතු රුධිරාණු නිෂ්පාදනය වැදගත් කර්තව්‍යයක්. සිරුරේ ෆෝලික් අම්ල ප්‍රමාණය අඩු වුවහොත් නිරක්තිය වැනි සංකූලතා පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් සිදුවන කාලයේ සිරුරේ ෆෝලික් අම්ල ඌණතාවය පැවතුණ හොත්, එය දරුගැබට බලපානව. ඒ නිසා දරුවාට ස්නායු පද්ධතිය ආශ්‍රිත දරුණු සංකූලතා ඇතිවෙන්න පුළුවන්.  Anencephaly සහ Neural tube defects කියන්නෙ මෙවැනි දරුණු සංකූලතවයන් දෙකක්. Anencephaly ලෙස හඳුන්වන්නෙ හිස්කබල සහ මොලය වර්ධනය නොවන දරුවන්. එවැනි දරුවෙකුට ජීවත් වීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ස්නායු පද්ධතියේ කොටස් හිසේ පිටුපසින් සහ කොඳු ඇට පෙල ආශ්‍රිත පෙදෙසෙන් පිටතට පැමිණිය හැකි තත්වයන් (Neural tube defects) මේ නිසා ඇතිවෙන තවත් සංකූලතාවයක්. මෙම සංකූලතාවයන් ඇතිවීම නියමිත මාත්‍රාවෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම මගින් වලක්වා ගන්න පුළුවන්.  ඒ සඳහා ගැබ් ගැනීමට අපේක්ෂාවෙන් සිටින සෑම කාන්තාවක්ම දිනපතා ෆෝලික් අම්ලය අමතරව ගැනීම කල යුතුයි. කාන්තාවක් ගැබ් ගැනීමට පෙර සිටම ෆෝලික් අම්ලය ලබා ගැනීම ආරම්භ කල යුතුයි. එයට හේතුව වෙන්නෙ දරුවා පිළිසිඳ ගන්නා අවස්ථාවේ සිටම නිරෝගී වර්ධනයට ෆෝලික් ඇසිඩ් වැදගත් වන නිසයි. අප නිර්දේශ කරන්නෙ ගැබ් ගැනීමට අපේක්ෂා කරන සියළුම කාන්තාවන් ඊට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1 ක පෙත්තක් බැගින් දිනකට වරක් ලබා ගන්නා ලෙසයි. මෙය ලබා ගැනීමට විශේෂ වේලාවක් නැහැ. ඔබට පහසු පරිදි උදේ හෝ රාත්‍රි කාලයේ හෝ ලබා ගත හැකියි. දැනට වෛද්‍ය නිර්දේශයකින් තොරව වුවත් ඔබට ඖෂධ හලකින් ෆෝලික් ඇසිඩ් පෙති මිලදී ගැනීමට පුළුවන්.  සමහර කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1ක් ප්‍රමාණවත් නැහැ. වෛද්‍ය වරුන් මිලිග්‍රෑම් 5ක ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගැනීමට නිර්දේශ කරන විශේෂ අවස්තා ලෙස අධික තරබාරු කාන්තාවන්, දියවැඩියා රෝගයෙන් පෙලෙන කාන්තාවන්, අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවන්, කලින් වැනි සංකූලතා ඇති දරුවකු බිහි කල කාන්තාවන්, හැඳින්විය හැකියි.ෆෝලික් ඇසිඩ් මදසරු බවට ලබා දෙන ප්‍රතිකාරයක් නොවෙයි. මෙම ඖෂධය ලබා දෙන්නෙ ඉහත සඳහන් කල සංකූලතාවයන් සහිත දරුවන් බිහි වීම වළක්වා ගැනීමටයි. ඔබට ගැබ් ගැනීමට ප්‍රමාදබව හැඟේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ සහ සුදුසු පරිදි ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව. ෆෝලික් ඇසිඩ් කියන්නෙ අතුරු ආබාධ ඉතාමත් අඩු ඖෂධයක්. ඒ නිසා කිසිම ගැට‍ළුවක් නොමැතිව බොහෝ දෙනෙකුට මෙය ලබා ගත හැකියි. නමුත් කිසියම් හේතුවක් නිසා ඔබට ෆෝලික් ඇසිඩ් පෙති ගැනීමට අපහසු නම් ඒ පිළිබඳ ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කරන්න. එවිට ඔබට වෙනස් ෆෝලික් ඇසිඩ් වර්ගයක් වන L Methylfolate පෙති ලබා ගත හැකියි. එයට මිලෙන් වැඩි වුවත්, සාමාන්‍ය ෆෝලික් අම්ලයට වඩා වේගයෙන් සිරුරට උරා ගන්නා අතර අතුරු ආබාධ අඩුයි.  ..
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු
කාන්තාවකට දරු ඵල අහිමි වෙන ප්‍රධාන හේතුවක් තමයි ඩිම්බ කෝෂ වලින් නිසි ලෙස මසකට වරක් ඩිම්බ පිට නොවීම. මෙලෙස මසකට වරක් ඩිම්බයක් පිටවීමට නම් ඔසප් චක්‍රයේ මුල සිට සති දෙකක පමණ කාලයක් තුල ඩිම්බයක් නිසි ප්‍රමාණය මේරීම සහ එය පිටවීමට අවශ්‍ය පරිදි සිරුරේ හෝමෝන ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂවල ඩිම්බයක් මේරීම සිදුවන ආකාරය සහ එය නිසි ලෙස සිදු නොවීමට බලපාන කරුණු ගැන මේ ලිපිය වෙන් වෙන්නෙ.ගැහැනු දරුවෙකු උපදින විටම ඩිම්බ කෝෂවල ඩිම්බ ලෙස මේරීමට හැකි ප්‍රාථමික සෛල සෑදී අවසන්. මල්වර වීමේ සිට ආර්ථවහරනය දක්වා කාලය තුල සාමාන්‍යයෙන් මසකට එක ඩිම්බයක් පිටවීම සිදුවන අතර මෙලෙස ජීවිත කාලය තුල ඩිම්බ 400 කට ආසන්න සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පිටවෙනව. ඩිම්බයක් මේරීම ආරම්භ වෙන්නෙ ඔසප් චක්‍රය ආරම්භ වීමත් සමගයි. මෙයට කාන්තාවගේ පිටියුටරි ග්‍රන්ථියෙන් පිටවෙන FSH (Follicle stimulating hormone) නමැති හෝමෝනය අවශ්‍ය වෙනව. පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝනය පිටවීම තීරණය වන්නේ මොළයේ හයිපොතැලමස කොටසින් නිපදවන GNRH නැමති තවත් හෝමෝනයක බලපෑමට අනුවයි. ඩිම්බ මේරීම සිදු නොවන හේතුඩිම්බ කෝෂ වල ප්‍රමාණවත් ලෙස ඩිම්බ නොමැති වීම. මෙවැනි තත්වයක් ඇති දැයි රුධිරයේ AMH හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන් සහ ස්කෑන් පරීක්ෂාවේ දී Antral follicle count සොයා බැලීමෙන් අනුමාන කරන්න පුළුවන්. අධික තරබාරු බව. BMI අගය මගින් මේ ගැන සොයා බලන්න පුළුවන්. සිරුරේ බර අඩු කර ගැනීම මගින් නැවත හෝමෝන ක්‍රියාවලිය යතා තත්වයට පත් කිරීමට හැකියාව තිබෙනව. අධික ලෙස කෙට්ටු වීම. සිරුරේ හෝමෝන නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රමාණයට මේද ස්තරයක් තිබීම වැදගත් වෙනව. එසේ නොමැති නම් ඔබේ බර වැඩි කර ගැනීම අවශ්‍යයි. ප්‍රමාණයට වඩා ව්‍යායාම කිරීම නිසාත් සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වී ඩිම්බ මේරීම අඩපණ වෙන්න පුළුවන්. Hyperprolactinemia: ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටම ඉහල යාම ඩිම්බ මේරීමට බලපාන තත්වයක්. Hyperthyroidism and Hypothyroidism: තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයත් ඩිම්බ මේරීමට බලපානව. තයිරොයිඩ් හෝමෝන මට්ටම වැඩි වීම මෙන්ම අඩු වීමත් ගැබ් ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්. PCOS: පොලිසිස්ටික් රෝග තත්වය නිසාත් ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු නොවෙන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර වෙනම ලිපියක් සඳහන් වෙනව. ඊට අමතරව ඩිම්බ මේරීම සිදු නොවෙන්න තවත් විවිධ හේතු බලපානව. සමහර විට කිසිම හඳුනා ගත හැකි හේතුවක් නොමැතිවත් ඩිම්බ මේරීම සිදු නොවන අවස්තා තිබෙනව. කෙසේ වෙතත් ඉහත බොහෝ රෝග තත්වයන් ඇති කාන්තාවන්ට ඖෂධ ප්‍රතිකාර ලබා දී ඩිම්බ මේරීම උත්තේජනය කරන්න හැකියාව තිබෙනව. ඒ නිසා එවැනි තත්වයක් පිළිබඳ සැකයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුව උපදෙස් ලබා ගන්න. ..