Results for Tag: UTI (1)
ගර්භණී සමයේ මුත්‍රා ආසාදන. කලින් හඳුනාගෙන ආරක්ෂිතව ප්‍රතිකාර ගන්න
මුත්‍රා ආසාදන (Urinary Tract Infection – UTI) ගර්භණී සමයේ බහුලවම දක්නට ලැබෙන ආසාදන තත්වයක්. බොහෝ මුත්‍රා ආසාදන සංකූල නොවන අතර නිවැරදි ප්‍රතිජීවක ඖෂධයෙන් ඉක්මනින් සුව කර ගන්න පුළුවන්. නමුත් ගර්භණී සමයේදී ඊට වැඩි අවධානයක් දිය යුතු වෙනවා. ප්‍රතිකාර නොකළහොත් ආසාදනය වකුගඩු දක්වා ඉහළට ගමන් කරන්න පුළුවන් අතර නොමේරූ දරු උපත් සහ බර අඩු දරුවන් බිහිවීමේ අවදානමත් වැඩි කරන්න පුළුවන්. ගර්භණී සමයේ මුත්‍රා ආසාදන හඳුනා ගන්නා ආකාරය සහ ඊට ඇති ප්‍රතිකාර පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ. ගර්භණී සමයේ මුත්‍රා ආසාදන බහුල ඇයි? ගර්භණී සමයේ මුත්‍රා පද්ධතියේ වෙනස්කම් කිහිපයක් සිදු වෙනව: ගර්භණී හෝමෝනවල බලපෑමෙන් මුත්‍රා වාහිනී ලිහිල් වී මුත්‍රා ගලා යාම මන්දගාමී වෙනව වැඩෙන ගර්භාෂය මුත්‍රාශයට තද කරන නිසා මුත්‍රාශය සම්පූර්ණයෙන් හිස් වෙන්නෙ නැහැ මුත්‍රාශයේ රැඳී පවතින මුත්‍රාවල විෂබීජ වර්ධනය වීමට ඉඩ ලැබෙනව කලින් මුත්‍රා ආසාදන ඇති වී තිබූ කාන්තාවන්ට සහ දියවැඩියාව ඇති අයට මේ අවදානම තරමක් වැඩියි. මුත්‍රාශ ආසාදනයක රෝග ලක්ෂණ මේ ලක්ෂණ දක්නට ලැබුනොත් පමා නොවී වෛද්‍යවරයෙකු හමුවෙන්න: මුත්‍රා පිට කරන විට දැවිල්ල හෝ වේදනාව සාමාන්‍ය ගර්භණී තත්වයට වඩා නිතර නිතර, හදිසියෙන් මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම යටි බඩේ වේදනාව හෝ අපහසුතාව මුත්‍රා අව පැහැ වීම, දුගඳක් ඇතිවීම හෝ මුත්‍රාවල රුධිරය දක්නට ලැබීම වකුගඩු ආසාදනයක අවදානම් ලක්ෂණ — ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි විෂබීජ වකුගඩු දක්වා ගමන් කළහොත් තත්වය බරපතල වෙනව. සමහර අවස්ථාවලදී රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනව. මේ ලක්ෂණ ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න: උණ හෝ සිරුර සීතල වී වෙව්ලීම කොන්දේ වේදනාව ඔක්කාරය හෝ වමනය දැඩි ලෙස අසනීප බවක් දැනීම ගර්භණී මවකගේ වකුගඩු ආසාදනයක් හදිසි තත්වයක්/ අවදානම් තත්වයක් ලෙසයි සලකන්නෙ. එය ඉබේ සුව වෙන තුරු බලා නෙසිට ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. රෝග ලක්ෂණ නොමැති ආසාදන සමහර විට කිසිම රෝග ලක්ෂණයක් නොමැතිව මුත්‍රාවල විෂබීජ තිබෙන්න පුළුවන් (asymptomatic bacteriuria). ගර්භණී සමයේදී මෙයත් වකුගඩු ආසාදනයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් නිසා සමහර අවස්ථාවලදී මුත්‍රා පරීක්ෂාවක් නිර්දේශ කරනව. ඔබට වැදගත්ම දේ තමයි නියමිත සායන පරීක්ෂාවලට පැමිණීම, මුත්‍රා පරීක්ෂාවක් නිර්දේශ කළහොත් එය සිදු කර ගැනීම සහ විෂබීජ ඇති බව හඳුනා ගතහොත් ලබා ලෙන ප්‍රතිකාරය සම්පූර්ණ කිරීම. හඳුනා ගැනීම සහ ප්‍රතිකාර හඳුනා ගැනීම ඉතා සරල මුත්‍රා පරීක්ෂාවකින් සිදු කල හැකියි. ඉන් පසු බොහෝවිට culture පරීක්ෂාවකට යවා ආසාදනයට හේතු වූ විෂබීජය කුමක්ද, කුමන ප්‍රතිජීවක ඖෂධය වඩාත්ම සාර්ථකද කියල නිශ්චිතව හඳුනා ගන්නව. ප්‍රතිකාර ලෙස ගර්භණී සමයේ ආරක්ෂිතිව දිය හැකි ප්‍රතිජීවක ඖෂධයක් යොදා ගන්නව. මෙහිදී වැදගත් කරුණු කිහිපයක් තිබෙනව: ප්‍රතිජීවක ඖෂධය තෝරන්නෙ ගර්භණී සමයේ කුමන කාලයද කියන කරුණ අනුවයි. සමහර ඖෂධ සමහර කාලවලදී භාවිතා කරන්නෙ නැති නිසා, ඕනෑම වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබන විට ඔබ ගර්භණී බව කියන්න. ඔබට නියම කල ඖෂධ පමණක් ලබා ගන්න. දින එක දෙකකින් සුවයක් දැනුනත් ඖෂධ සම්පූර්ණයෙන්ම අවසන් කරන්න. ප්‍රතිකාර අතරමග නැවැත්වූ විට ආසාදනය නැවත ඇති වෙන්න පුළුවන්. ජලය හොඳින් පානය කරන්න. ඖෂධ අවසන් වෙන විටත් රෝග ලක්ෂණ සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති නම් හෝ නැවත ඇති වුවහොත් නැවත මුත්‍රා පරීක්ෂාවක් සඳහා පැමිණෙන්න. මුත්‍රා ආසාදන වළක්වා ගන්නෙ කොහොමද? සරල පුරුදු කිහිපයකින් මේ අවදානම අඩු කර ගන්න පුළුවන්: දවස පුරා දියර හොඳින් පානය කරන්න මුත්‍රා රඳවා ගෙන සිටින්න එපා — අවශ්‍යතාව දැනුනු වහාම මුත්‍රා පිට කරන්න්. මුත්‍රා පිට කරන විට මුත්‍රාශය සම්පූර්ණයෙන් හිස් කරන්න මුත්‍රා කල පසු ඉදිරියේ සිට පසුපසට පිස දමන්න; ලිංගික එක්වීමෙන් පසු මුත්‍රා පිට කරන්න යෝනි ප්‍රදේශය අවට සුවඳ සබන් වර්ග භාවිතයෙන් වළකින්න ගර්භණී සමයේ මුත්‍රා ආසාදන සුලබයි. නමුත් ඒවා පහසුවෙන් හඳුනා ගෙන, ආරක්ෂිතව ප්‍රතිකාර කරන්න පුළුවන්. වැදගත් වන්නේ කලින් ක්‍රියා කිරීමයි. යම් සැකයක් තිබේ නම් සරල මුත්‍රා පරීක්ෂාවකින් ඉක්මන් මේ බව සොයා බලන්න පුළුවන්. පමා නොවී වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න...