ගර්භාෂය තුල තැන්පත් කරන හෝමෝන අඩංගු ලූපය ගැන අපේ කලින් ලිපිවලදීත් සඳහන් වී තිබෙනව. වෛද්‍ය භාෂාවෙන් LNG-IUS (levonorgestrel intrauterine system) ලෙස හඳුන්වන මෙය T අකුරේ හැඩය ඇති කුඩා උපකරණයක්. මෙයින් ප්‍රධාන කරුණුු දෙකක් සඳහා ඉතා සාර්ථකව භාවිතා කරනව. මෙය පවතින වඩාත්ම සාර්ථක උපත් පාලන ක්‍රමවලින් එකක් වගේම ඔසප් වීම සමග ඇති වෙන අධික රුධිර වහනයට ඇති හොඳම ප්‍රතිකාරවලින් එකක්. මේ ලිපියේ අරමුණ වෙන්නෙ හෝමෝන ලූපය ක්‍රියා කරන ආකාරය සහ එයින් ලැබෙන ප්‍රයෝජන පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි.
ක්‍රියා කරන්නෙ කොහොමද?
ලූපයෙන් progestogen හෝමෝනය ඉතා කුඩා ප්‍රමාණයක් ගර්භාෂය ඇතුලත මුදා හරිනව. එමගින් ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය තුනී වෙන අතර ගැබ් ගෙලේ ස්‍රාවය ඝන වී ශුක්‍රාණු ඇතුළු වීම වළක්වනව. හෝමෝනය ක්‍රියා කරන්නෙ ගර්භාෂය තුලම නිසා සිරුරේ අනිත් කොටස්වලට යන හෝමෝන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. පෙති සහ එන්නත් වලට වඩා හෝමෝන අතුරු ආබාධ අඩු වෙන්නෙ ඒ නිසයි.
කොපමණ කාලයක් තබා ගන්න පුළුවන්ද?
ලංකාවේ නිර්දේශය වෙන්නෙ කුමන හේතුවකට තැන්පත් කලත් වසර 5කින් මාරු කිරීමයි. උපත් පාලනයට පමණක් භාවිතා කරන විට වසර 8ක් දක්වා භාවිතා කල හැකි බව නවතම පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනව. නමුත් අධික රුධිර වහනයට ප්‍රතිකාරයක් ලෙස තැන්පත් කර ඇති නම් වසර 5කින් පසු ඖෂධ මාත්‍රාව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා උපදෙස් දෙන මාරු කිරීමේ දිනය සටහන් කර තබා ගෙන එය අනුගමනය කරන්න.
උපත් පාලන ක්‍රමයක් ලෙස
හෝමෝන ලූපය 99%කටත් වඩා සාර්ථකයි. එහි මුළු කාලය තුල ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ කාන්තාවන් 100කින් 1කටත් අඩු ගණනකට. දිනපතා මතක තබා ගත යුතු කිසිවක් නොමැති නිසා ප්‍රායෝගික භාවිතයේදී මෙතරම් සාර්ථක වෙනව. ලූපය ඉවත් කල විගස සරුභාවය නැවත ලැබෙනව. මවු කිරි දෙන කාලයේ ආරක්ෂිත වගේම oestrogen හෝමෝනය ගත නොහැකි කාන්තාවන්ටත් සුදුසුයි.
අධික රුධිර වහනයට ප්‍රතිකාරයක් ලෙස
බොහෝ කාන්තාවන්ගේ රෝග ලක්ෂණ සමනය කර ජීවිත වෙනස් කරන්න මෙයට හැකියාව තිබෙනව. ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය තුනී කිරීමෙන් ඔසප් වීම සමග පිටවෙන රුධිර ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වෙනව. බොහෝ කාන්තාවන්ට ඔසප් වීම ඉතා සුළු ප්‍රමාණයෙන් වෙන අතර සමහර අයට සම්පූර්ණයෙන් නතර වෙනව. එය හානියක් නොවෙයි, ප්‍රතිකාරයේම ප්‍රතිඵලයක්.
අධික රුධිර වහනයට මුලින්ම ඖෂධ ප්‍රතිකාර උත්සාහ කර, ඊළඟ පියවර ලෙස තමයි හෝමෝන ලූපය තැන්පත් කරන්නෙ. බොහෝ කාන්තාවන්ට ඒ නිසා ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම වැනි සැත්කමක් අවශ්‍ය නැති වෙනව. ඊට අමතරව ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය ඝන වීමට (endometrial hyperplasia), ආර්ථවහරනයෙන් පසු HRT ප්‍රතිකාරයේදී ගර්භාෂය ආරක්ෂා කිරීමට සහ endometriosis, adenomyosis වැනි රෝග තත්වයන් ආශ්‍රිත වේදනාවලටත් හෝමෝන ලූපය යොදා ගන්නව.
ලූපය තැන්පත් කරන්නෙ කොහොමද?
සායනයේදීම විනාඩි කිහිපයකින් සිදු කරන ක්‍රියාවලියක්. සිහි නැති කිරීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. Pap smear පරීක්ෂාවකදී මෙන් speculum උපකරණයක් යොදා ගැබ් ගෙල හරහා ලූපය ගර්භාෂය තුලට ඇතුළු කරනව. බොහෝ කාන්තාවන්ට මෙහිදී අපහසුතාවක් දැනෙනව. ඔසප් කැක්කුමක් වැනි වේදනාවක් කෙටි වේලාවකට ඇති වී පහව යනව. කලින් සරල වේදනා නාශකයක් ගැනීම ප්‍රයෝජනවත්. වේදනාව ගැන බියක් ඇති නම් වේදනාව අඩු කල හැකි ක්‍රම ගැන වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්න.
මුල් මාස කිහිපය තුල බලාපොරොත්තු විය යුතු දේ
මුල් මාස 3 – 6 කාලය තුල අක්‍රමවත් ලේ ගැලීම් සහ සුළු රුධිර වහනයක් (spotting) බලාපොරොත්තු විය හැකියි. එය සාමාන්‍ය තත්වයක්, අවදානම් තත්වයක සලකුණක් නොවෙයි. නමුත් ලූපය ක්‍රියා කිරීමට කාලය ලැබෙන්න කලින් එය ඉවත් කර ගැනීමට කාන්තාවන් පෙළඹෙන ප්‍රධානම හේතුවත් මෙයයි. මේ මාස කිහිපය ඉවසීමෙන් ගත කළහොත් ඉන් පසු රුධිර වහනය කලින්ට වඩා බෙහෙවින් සැහැල්ලු රටාවකට පත් වෙනව. හිසරදය, පියයුරු තද ගතිය, කුරුලෑ සහ මානසික වෙනස්කම් වැනි අතුරු ආබාධත් සමහර අයට ඇති වෙන්න පුළුවන්. නමුත් එමගින් ඇතිවන අතුරු ආබාධ, මුළු සිරුරටම හෝමෝන ලබා දෙන ප්‍රතිකාර ක්‍රමවලට වඩා අඩුයි.
ඉන් පසුව සැලකිලිමත් විය යුතු දේ
ලූපයේ සිහින් නූල් දෙකක් යෝනි මාර්ගයේ ඉහළ කොටසට පැමිණෙනව. ඒව දැනීමෙන් ලූපය නියම ස්ථානයේ තිබෙන බව පරීක්ෂා කර ගන්න පුළුවන්. නූල් දැනෙන්නෙ නැති නම්, දිගටම පවතින වේදනාවක්, අසාමාන්‍ය ස්‍රාවයක්, උණ හෝ ලිංගික එක්වීමෙන් පසු ලේ යාමක් ඇති නම් වෛද්‍යවරයෙකු හමුවෙන්න.
ප්‍රතිකාර නොකල ශ්‍රෝණි ආසාදන තත්වයක්, හේතුව හඳුනා නොගත් යෝනි ලේ ගැලීමක් හෝ ගර්භාෂයේ සමහර හැඩ වෙනස්කම් ඇති කාන්තාවන්ට හෝමෝන ලූපය සුදුසු නොවෙන්න පුළුවන්. තැන්පත් කිරීමට පෙර වෛද්‍යවරයා ඔබේ රෝග ඉතිහාසය හොඳින් සොයා බලනව.
ඔසප් වීම සමග අධික රුධිර වහනයෙන් පීඩා විඳින, නැතිනම් දිගු කාලීන විශ්වාසදායක උපත් පාලන ක්‍රමයක් සොයන ඔබට හෝමෝන ලූපය සුදුසුදැයි වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න...