Results for Tag: හෝමෝන (2)
හෝමෝන ලූපය (LNG-IUS) — උපත් පාලනයටත් අධික රුධිර වහනයටත් එකම විසඳුමක්
ගර්භාෂය තුල තැන්පත් කරන හෝමෝන අඩංගු ලූපය ගැන අපේ කලින් ලිපිවලදීත් සඳහන් වී තිබෙනව. වෛද්‍ය භාෂාවෙන් LNG-IUS (levonorgestrel intrauterine system) ලෙස හඳුන්වන මෙය T අකුරේ හැඩය ඇති කුඩා උපකරණයක්. මෙයින් ප්‍රධාන කරුණුු දෙකක් සඳහා ඉතා සාර්ථකව භාවිතා කරනව. මෙය පවතින වඩාත්ම සාර්ථක උපත් පාලන ක්‍රමවලින් එකක් වගේම ඔසප් වීම සමග ඇති වෙන අධික රුධිර වහනයට ඇති හොඳම ප්‍රතිකාරවලින් එකක්. මේ ලිපියේ අරමුණ වෙන්නෙ හෝමෝන ලූපය ක්‍රියා කරන ආකාරය සහ එයින් ලැබෙන ප්‍රයෝජන පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි. ක්‍රියා කරන්නෙ කොහොමද? ලූපයෙන් progestogen හෝමෝනය ඉතා කුඩා ප්‍රමාණයක් ගර්භාෂය ඇතුලත මුදා හරිනව. එමගින් ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය තුනී වෙන අතර ගැබ් ගෙලේ ස්‍රාවය ඝන වී ශුක්‍රාණු ඇතුළු වීම වළක්වනව. හෝමෝනය ක්‍රියා කරන්නෙ ගර්භාෂය තුලම නිසා සිරුරේ අනිත් කොටස්වලට යන හෝමෝන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. පෙති සහ එන්නත් වලට වඩා හෝමෝන අතුරු ආබාධ අඩු වෙන්නෙ ඒ නිසයි. කොපමණ කාලයක් තබා ගන්න පුළුවන්ද? ලංකාවේ නිර්දේශය වෙන්නෙ කුමන හේතුවකට තැන්පත් කලත් වසර 5කින් මාරු කිරීමයි. උපත් පාලනයට පමණක් භාවිතා කරන විට වසර 8ක් දක්වා භාවිතා කල හැකි බව නවතම පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනව. නමුත් අධික රුධිර වහනයට ප්‍රතිකාරයක් ලෙස තැන්පත් කර ඇති නම් වසර 5කින් පසු ඖෂධ මාත්‍රාව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා උපදෙස් දෙන මාරු කිරීමේ දිනය සටහන් කර තබා ගෙන එය අනුගමනය කරන්න. උපත් පාලන ක්‍රමයක් ලෙස හෝමෝන ලූපය 99%කටත් වඩා සාර්ථකයි. එහි මුළු කාලය තුල ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ කාන්තාවන් 100කින් 1කටත් අඩු ගණනකට. දිනපතා මතක තබා ගත යුතු කිසිවක් නොමැති නිසා ප්‍රායෝගික භාවිතයේදී මෙතරම් සාර්ථක වෙනව. ලූපය ඉවත් කල විගස සරුභාවය නැවත ලැබෙනව. මවු කිරි දෙන කාලයේ ආරක්ෂිත වගේම oestrogen හෝමෝනය ගත නොහැකි කාන්තාවන්ටත් සුදුසුයි. අධික රුධිර වහනයට ප්‍රතිකාරයක් ලෙස බොහෝ කාන්තාවන්ගේ රෝග ලක්ෂණ සමනය කර ජීවිත වෙනස් කරන්න මෙයට හැකියාව තිබෙනව. ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය තුනී කිරීමෙන් ඔසප් වීම සමග පිටවෙන රුධිර ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වෙනව. බොහෝ කාන්තාවන්ට ඔසප් වීම ඉතා සුළු ප්‍රමාණයෙන් වෙන අතර සමහර අයට සම්පූර්ණයෙන් නතර වෙනව. එය හානියක් නොවෙයි, ප්‍රතිකාරයේම ප්‍රතිඵලයක්. අධික රුධිර වහනයට මුලින්ම ඖෂධ ප්‍රතිකාර උත්සාහ කර, ඊළඟ පියවර ලෙස තමයි හෝමෝන ලූපය තැන්පත් කරන්නෙ. බොහෝ කාන්තාවන්ට ඒ නිසා ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම වැනි සැත්කමක් අවශ්‍ය නැති වෙනව. ඊට අමතරව ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය ඝන වීමට (endometrial hyperplasia), ආර්ථවහරනයෙන් පසු HRT ප්‍රතිකාරයේදී ගර්භාෂය ආරක්ෂා කිරීමට සහ endometriosis, adenomyosis වැනි රෝග තත්වයන් ආශ්‍රිත වේදනාවලටත් හෝමෝන ලූපය යොදා ගන්නව. ලූපය තැන්පත් කරන්නෙ කොහොමද? සායනයේදීම විනාඩි කිහිපයකින් සිදු කරන ක්‍රියාවලියක්. සිහි නැති කිරීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. Pap smear පරීක්ෂාවකදී මෙන් speculum උපකරණයක් යොදා ගැබ් ගෙල හරහා ලූපය ගර්භාෂය තුලට ඇතුළු කරනව. බොහෝ කාන්තාවන්ට මෙහිදී අපහසුතාවක් දැනෙනව. ඔසප් කැක්කුමක් වැනි වේදනාවක් කෙටි වේලාවකට ඇති වී පහව යනව. කලින් සරල වේදනා නාශකයක් ගැනීම ප්‍රයෝජනවත්. වේදනාව ගැන බියක් ඇති නම් වේදනාව අඩු කල හැකි ක්‍රම ගැන වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්න. මුල් මාස කිහිපය තුල බලාපොරොත්තු විය යුතු දේ මුල් මාස 3 – 6 කාලය තුල අක්‍රමවත් ලේ ගැලීම් සහ සුළු රුධිර වහනයක් (spotting) බලාපොරොත්තු විය හැකියි. එය සාමාන්‍ය තත්වයක්, අවදානම් තත්වයක සලකුණක් නොවෙයි. නමුත් ලූපය ක්‍රියා කිරීමට කාලය ලැබෙන්න කලින් එය ඉවත් කර ගැනීමට කාන්තාවන් පෙළඹෙන ප්‍රධානම හේතුවත් මෙයයි. මේ මාස කිහිපය ඉවසීමෙන් ගත කළහොත් ඉන් පසු රුධිර වහනය කලින්ට වඩා බෙහෙවින් සැහැල්ලු රටාවකට පත් වෙනව. හිසරදය, පියයුරු තද ගතිය, කුරුලෑ සහ මානසික වෙනස්කම් වැනි අතුරු ආබාධත් සමහර අයට ඇති වෙන්න පුළුවන්. නමුත් එමගින් ඇතිවන අතුරු ආබාධ, මුළු සිරුරටම හෝමෝන ලබා දෙන ප්‍රතිකාර ක්‍රමවලට වඩා අඩුයි. ඉන් පසුව සැලකිලිමත් විය යුතු දේ ලූපයේ සිහින් නූල් දෙකක් යෝනි මාර්ගයේ ඉහළ කොටසට පැමිණෙනව. ඒව දැනීමෙන් ලූපය නියම ස්ථානයේ තිබෙන බව පරීක්ෂා කර ගන්න පුළුවන්. නූල් දැනෙන්නෙ නැති නම්, දිගටම පවතින වේදනාවක්, අසාමාන්‍ය ස්‍රාවයක්, උණ හෝ ලිංගික එක්වීමෙන් පසු ලේ යාමක් ඇති නම් වෛද්‍යවරයෙකු හමුවෙන්න. ප්‍රතිකාර නොකල ශ්‍රෝණි ආසාදන තත්වයක්, හේතුව හඳුනා නොගත් යෝනි ලේ ගැලීමක් හෝ ගර්භාෂයේ සමහර හැඩ වෙනස්කම් ඇති කාන්තාවන්ට හෝමෝන ලූපය සුදුසු නොවෙන්න පුළුවන්. තැන්පත් කිරීමට පෙර වෛද්‍යවරයා ඔබේ රෝග ඉතිහාසය හොඳින් සොයා බලනව. ඔසප් වීම සමග අධික රුධිර වහනයෙන් පීඩා විඳින, නැතිනම් දිගු කාලීන විශ්වාසදායක උපත් පාලන ක්‍රමයක් සොයන ඔබට හෝමෝන ලූපය සුදුසුදැයි වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න...
ඩිම්බ කෝෂවල ගෙඩි නොවන PCOS රෝග තත්වය ගැන දැන ගන්න
දරු ඵල අපේක්ෂා කරන වයසේ කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන හෝමෝන ආශ්‍රිත රෝග තත්වයක් තමයි PCOS (Polycystic Ovary Syndrome/ Polyendocrine Metabolic Ovarian Syndrome) කියන්නෙ. නමුත් මේ තත්වය ගැන වැරදි අවබෝධයක් බොහෝ දෙනෙක් අතර තිබෙනව. PCOS කියන නමේ තිබෙන "cyst" කියන වචනය නිසා ඩිම්බ කෝෂවල ගෙඩි ඇති වී ඇතිදැයි කියල බොහෝ කාන්තාවන් බියට පත් වෙනව. PCOS කියන්නෙ ඇත්තටම මොකක්ද, එය හඳුනා ගන්නෙ කොහොමද සහ ඊට ඇති ප්‍රතිකාර මොනවද කියන කරුණු පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ. PCOS කියන්නෙ මොකක්ද? PCOS තත්වයේදී සිදු වෙන්නෙ ඩිම්බ කෝෂවලින් නිසි ලෙස මසකට වරක් ඩිම්බයක් පිට නොවීම සහ පිරිමි ගති ලක්ෂණ ඇති කරන androgen හෝමෝන සාමාන්‍යයට වඩා තරමක් වැඩියෙන් සිරුරේ නිපදවීමයි. ස්කෑන් පරීක්ෂාවේදී ඩිම්බ කෝෂ තුල දක්නට ලැබෙන කුඩා බුබුලු වැනි අවකාශ, ගෙඩි නොවෙයි. ඩිම්බ ලෙස මේරීමට සූදානම් වෙන සාමාන්‍ය ෆොලිකල් (follicles) තමයි මේ විදියට පෙනෙන්නෙ. එවැනි follicle සාමාන්‍යය ප්‍රමාණයට වඩා වැඩි ගණනක් දක්නට ලැබීම පමණයි මෙහිදී අසාමාන්‍ය වෙන්නෙ. ඒව හානිකර නැහැ, ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට අවශ්‍ය වෙන්නෙත් නැහැ. රෝග ලක්ෂණ PCOS එක් එක් කාන්තාවට බලපාන්නෙ විවිධ ආකාරයට. මේ ලක්ෂණ සියල්ලම හෝ එකක් දෙකක් පමණක් ඔබට තිබෙන්න පුළුවන්: ඔසප් වීම අක්‍රමවත් වීම හෝ ඔසප්වීම සිදු නොවීම. මෙය සුලභම රෝග ලක්ෂණයයි. ඩිම්බ මෝචනය අක්‍රමවත් වීම නිසා දරු ඵල පමා වීම මුහුණේ, පපුවේ හෝ උදරයේ අනවශ්‍ය රෝම වර්ධනය නව යොවුන් වයස ඉක්මවා ගියත් දිගටම කුරුලෑ ඇතිවීම හිසකෙස් තුනී වීම/ අඩුවීම සිරුරේ බර වැඩි වීම හෝ බර අඩු කර ගැනීම අපහසු වීම බෙල්ල සහ කිහිලි වැනි ස්ථානවල සම කළු පැහැ වීම PCOS හඳුනා ගන්නෙ කොහොමද? ඉහත රෝග ලක්ෂණ වලට සමාන ලක්ෂණ ඇති කරන වෙනත් රෝග තත්වයන් බැහැර කිරීමෙන් පසුව, පහත කරුණු තුනෙන් දෙකක් තිබේ නම් PCOS ලෙස හඳුනා ගන්නව: ඩිම්බ මෝචනය අක්‍රමවත් වීම — බොහෝවිට ඔසප් වීම අක්‍රමවත් වීමෙන් හඳුනා ගන්න පුළුවන් Androgen හෝමෝන මට්ටම වැඩි වීම — රුධිර පරීක්ෂාවකින් හෝ අනවශ්‍ය රෝම වර්ධනය වැනි පැහැදිලි ලක්ෂණවලින් ස්කෑන් පරීක්ෂාවේදී ඩිම්බ කෝෂවල කුඩා ෆොලිකල් වැඩි ගණනක් දක්නට ලැබීම වැඩිහිටි කාන්තාවන්ට ස්කෑන් පරීක්ෂාව වෙනුවට රුධිරයේ AMH හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම දැන් යොදා ගන්න පුළුවන්. නව යොවුන් වයසේ දැරියන්ට ස්කෑන් පෙනුම යොදා ගැනීම එතරම් නිවැරදි නැහැ. ඒ වයසේදී සාමාන්‍ය ඩිම්බ කෝෂ වලත් එලෙස ෆොලිකල් වැඩිපුර තිබෙන්න පුළුවන්. ඊට අමතරව සමාන ලක්ෂණ ඇති කරන වෙනත් තත්වයන් හඳුනා ගැනීමට තයිරොයිඩ් හෝමෝන සහ ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටමත් පරීක්ෂා කර බලනව. වැදගත්ම ප්‍රතිකාරය — ජීවන රටාව සහ සිරුරේ බර පැහැදිලිවම කිව යුතු කරුණක් තමයි සිරුරේ බර වැඩි නම් එය නිසි මට්ටමට අඩු කර ගැනීම තරම් සාර්ථක ඖෂධයක් PCOS සඳහා නොමැති බව. කිලෝග්‍රෑම් කිහිපයක් අඩු කර ගැනීමෙන් පවා බොහෝ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය සහ ඩිම්බ මෝචනය නැවත ක්‍රමවත් වීමට හැකියාව තිබෙනව. PCOS ඇති කාන්තාවන්ට සිරුරේ බර අඩු කර ගැනීම තරමක් අපහසුයි. එය රෝග තත්වයේම ලක්ෂණයක් මිස ඔබේ අඩුපාඩුවක් නොවෙයි. නමුත් ඔබට කල හැකි වැදගත්ම දෙයත් එයමයි. මේ සඳහා විශේෂ ආහාර වේලක් අවශ්‍ය නැහැ. සීනි සහ පිටි සහිත ආහාර අඩු කර, එළවළු සහ කෙඳි සහිත ආහාර වැඩි කර, දිගටම පවත්වා ගන්න පුළුවන් ආහාර රටාවක් අනුගමනය කිරීම තමයි වැදගත්. නිතිපතා ව්‍යායාම කිරීමෙන් සිරුරේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වෙනව — බර අඩු වුනත් නැතත් එහි ප්‍රයෝජනය හෝමෝන සමතුලිත වීමෙන් ඔබට ලැබෙනව. ඖෂධ ප්‍රතිකාර ඔසප් වීම ක්‍රමවත් කිරීමට සහ කුරුලෑ / රෝම වර්ධනයට පාලනය කිරීමට දෙන ඖෂධ. මේ සඳහා උපත් පාලන පෙති වර්ග මුලින් යොදා ගන්නව. එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ගණකම අධික වීම පාලනය කර කලාතුරකින් ඇතිවෙන පිළිකා අවදානම පාලනය කරන්න උපකාරී වෙනව. Metformin — සිරුරේ බර වැඩි සහ සීනි පාලනය දුර්වල කාන්තාවන්ට තෝරාගත් අවස්ථාවලදී යොදා ගන්නව. සෑම කාන්තාවකටම මෙය අවශ්‍ය වෙන්නෙ නැහැ. බර අඩු කරන ඖෂධයක් ලෙස Metformin නිර්දේශ කරන්නෙ නැහැ. දරු ඵල අපේක්ෂා කරන විට — ඩිම්බ මෝචනය උත්තේජනය කිරීමට Letrozole ඖෂධය තමයි මුලින්ම යොදා ගන්නෙ. Clomifene ඖෂධය තෝරාගත් අවස්ථාවලදීත්, හෝමෝන එන්නත් ප්‍රතිකාර දෙවන පියවර ලෙසත් භාවිතා කරනව. දිගු කාලීන සෞඛ්‍යය PCOS බලපාන්නෙ ඔසප් වීමට සහ සරුභාවයට පමණක් නොවෙයි. දිගු කාලීනව දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩි වීම සහ ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඝන වීම වැනි තත්වයන්ට ඇති අවදානම මේ නිසා වැඩි වෙනව. මානසික අවපීඩනය සහ කනස්සල්ලත් PCOS ඇති කාන්තාවන් අතර සුලබව දක්නට ලැබෙනව. ඒ ගැන කතා කිරීමට මැලි වෙන්න එපා. සතුටුදායක කරුණ තමයි ජීවන රටාව සකසා ගැනීමෙන් මේ අවදානම් බොහොමයක් අඩු කර ගන්න හැකියාව තිබීම. ඒ නිසා ඔබ දරු ඵල අපේක්ෂා නොකරන කාලයේදීත් රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම වරින් වර පරීක්ෂා කර බලා ගැනීම සුදුසුයි. වෛද්‍යවරයෙකු හමුවිය යුත්තෙ කවදාද? ඔසප් වීම් මාස තුනකට වඩා ප්‍රමාද නම් හෝ ඔසප් වීම නතර වී ඇති නම් වසරක් උත්සාහ කලත් දරු ඵල පමා නම් (වයස අවුරුදු 35ට වැඩි නම් මාස 6ක්) රෝම වර්ධනය වේගයෙන් වැඩි වේ නම් හෝ කටහඬ වෙනස් වේ නම් — ඒ සඳහා වෙනත් පරීක්ෂණ අවශ්‍ය වෙනව ඔසප් වීම සිදු වෙන විට අධික ලෙස රුධිර වහනයක් සිදුවේ නම් PCOS සුලබ, පාලනය කල හැකි රෝග තත්වයක්. බොහෝ කාන්තාවන්ට දරුවන් ලැබීමට එය බාධාවක් වෙන්නෙ නැහැ. ජීවන රටාව සහ නිසි බර පවත්වා ගැනීම ඖෂධ ප්‍රතිකාර වලට වඩා සාර්ථකයි. මෙවැනි තත්වයක් පිළිබඳ සැකයක් ඇති නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න...