ලංකාවේ ඩෙංගු රෝගය ගැන අලුතෙන් කිව යුතු දෙයක් නැහැ. නමුත් ගර්භණී මවකට ඩෙංගු වැළඳුනොත් එය සාමාන්‍ය කෙනෙකුට වඩා බරපතල ලෙස සැලකිය යුතු වෙනව. ඊට හේතුව සංකූලතා ඇති වීමට අවදානම ගර්භණී මවකට තරමක් වැඩි වීමයි. ගර්භණී සමයේ ඩෙංගු රෝගය හඳුනා ගන්නා ආකාරය සහ ඒ අවස්ථාවේ කල යුතු දේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.
ගර්භණී මවකට උණ ඇති වුවහොත් එදිනම වෛද්‍යවරයෙකු හමුවෙන්න
හෙට නොවෙයි. උණ පහව යනවදැයි බලා සිටීමෙනුත් නොවෙයි. ගර්භණී මවකට උණ ඇති වුවහොත් එදිනම වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍ය වෙනව.
සෞඛ්‍ය උපදෙස් අනුව උණ සහිත ගර්භණී මවක් නිරීක්ෂණය සඳහා රෝහල් ගතවීම නිර්දේශ කරනව. රුධිර පරීක්ෂාව සාමාන්‍ය වුවත්, උණ තිබූ දින ගණන කුමක් වුවත් මෙය වෙනස් වෙන්නෙ නැහැ. සමහර අවස්ථාවලදී විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ සමීපව නිරීක්ෂණය කිරීමටත් අවශ්‍ය විය හැකියි. නමුත් තීරණය වෙන්නෙ ඔබව වෛද්‍ය වරයෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
ගර්භණී මවකට ඩෙංගු වැළඳුනු විට රෝගය දරුණු අතට හැරීමට ඇති ඉඩකඩ අනිත් අයට වඩා වැඩියි. ඒ වගේම ඩෙංගු ඉක්මනින් වෙනස් වෙන රෝගයක්. උදෑසන හොඳින් සිටින කෙනෙකුට සවස් වෙන විට ක්‍රියාකාරී ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. කලින් පැමිණ නිසි ලෙස නිරීක්ෂණය වෙන මවුවරුන් සාමාන්‍යයෙන් සුවය ලබා නිවසට යනව. ඩෙංගු නිසා ඇති වෙන අවදානම බොහෝවිට ඇතිවෙන්නෙ ප්‍රමාද වීමෙන් මිස රෝගය සුව කල නොහැකි වීමෙන් නොවෙයි.
මේ ලක්ෂණ ඇති වුවහොත් වහාම රෝහලට යා යුතුයි
උදරයේ දැඩි වේදනාව
නැවත නැවත වමනය යාම, විජලන තත්වයක් වීම
ඕනෑම ලේ ගැලීමක් — නාසයෙන්, විදුරුමස්වලින්, කළු පැහැති මළපහ හෝ යෝනි මාර්ගයෙන් ලේ යාම
ක්ලාන්ත ගතිය, කැරකිල්ල, අසාමාන්‍ය නිදිමත හෝ නොසන්සුන් බව
අත් පා සීතල වී තෙත් ගතියක් දැනීම
පැය 4 – 6ක් මුත්‍රා පිට නොවීම
දරුවාගේ දැඟලීම අඩු වීම
මෙවැනි අවදානම් ලක්ෂණ ඇතිනම්, සායන වේලාව තෙක් බලා නොසිට වහාම රෝහල් ගත වෙන්න.
උණ පහව යාම සැම විටම සුවීමේ ලක්ෂණයක් නොවෙයි
මෙය ඩෙංගු රෝගය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. සාමාන්‍ය උණකදී උණ පහව යාම හොඳ ලකුණක්. නමුත් ඩෙංගු වලදී එය එසේ නොවන්න පුළුවන්. උණ පහව ගිය පසු එළඹෙන දින කිහිපය තමයි වඩාත්ම අවදානම් කාලය වෙන්නෙ. එම කාලයේදී කුඩා රුධිර නාලවලින් තරලය කාන්දු වීම ආරම්භ වෙන්න පුළුවන්. ඒ නිසා උණ නැති වූ පමණින්, තරමක සුවයක් දැනෙන පමණින්, රෝහලෙන් පිටව යාමට හෝ නිරීක්ෂණ නැවැත්වීමට උත්සාහ කරන්න එපා. ඔබේ වෛද්‍ය කණ්ඩායම එම කාලය තුලත් ඔබව පරීක්ෂා කරන්නෙ විශේෂ හේතුවක් ඇතිවයි.
පැරසිටමෝල් පමණයි — වෙනත් වේදනා නාශක කිසිසේත්ම එපා
ඩෙංගු උණට සහ ඇඟපත රුදාවට ගත හැකි එකම ඖෂධය පැරසිටමෝල්. Ibuprofen, diclofenac, mefenamic acid, aspirin වැනි ඖෂධ කිසිසේත්ම ගන්න එපා. ඒව ලේ ගැලීමේ අවදානම වැඩි කරනව. මේ ඖෂධ ඕනෑම ෆාමසියකින් පහසුවෙන් මිලදී ගන්න පුළුවන් නිසා එම වැරැද්ද සිදු නොවන්න සැලකිළිමත් වෙන්න. දැනටමත් එවැනි ඖෂධයක් ගෙන ඇති නම් එය වෛද්‍යවරයාට කියන්න. එය සැඟවිය යුතු දෙයක් නොවෙයි, ප්‍රතිකාරයට වැදගත් තොරතුරක්.
දියර වර්ග
දියර පානය කිරීම වැදගත් වුවත් ජලය පමණක් ප්‍රමාණවත් නැහැ. ලවණ සහ සීනි අඩංගු දියර වඩා සුදුසුයි — ජීවනී, තැඹිලි, පළතුරු යුෂ, සුප් සහ කැඳ වැනි දේ. රතු, කළු සහ දුඹුරු පැහැති ආහාර පාන වලින් වැලකී සිටීම වැදගත්. වමනයක් ගියහොත් එහි රුධිරය තිබේදැයි හඳුනා ගැනීම එවිට පහසු වෙනව.
ප්‍රතිකාරයේදී සිදු වෙන්නෙ මොකක්ද?
ඩෙංගු වෛරසය විනාශ කරන ඖෂධයක් දැනට නැහැ. ප්‍රතිකාර ලෙස සිදු කරන්නේ රෝගියා සමීපව නිරීක්ෂණය කර සහ නිවැරදි වේලාවට නිවැරදි ප්‍රමාණයට දියර ලබා දීමයි. එය නිවසේදී කල නොහැකි, රෝහලේදීම කල යුතු දෙයක්. නාඩි වේගය, රුධිර පීඩනය සහ මුත්‍රා ප්‍රමාණය නිතර පරීක්ෂා කිරීම, නැවත නැවත රුධිර පරීක්ෂා කිරීම සහ තරලය කාන්දු වී ඇතිදැයි බැලීමට ස්කෑන් පරීක්ෂා සිදු කිරීම බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Platelet ගණන ගැන කාර්ය මණ්ඩලයෙනුත් ඥාතීන්ගෙනුත් බොහෝ දේ අසන්න ලැබේවි. එම වාර්තාව දෙසම බලා සිටින්න එපා. Platelet අඩු වූ පමණින් රුධිර කොටස් පාරවිලයනයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. එය වෛද්‍ය කණ්ඩායම නිරීක්ෂණය කරන බොහෝ කරුණුවලින් එකක් පමණයි. ඔබේ තත්වය ගැන දැන ගැනීමට වෛද්‍යවරයාගෙන් විමසන්න.
දරුවාට ඇති බලපෑම
මවට නිසි ප්‍රතිකාර ලැබුනොත් බොහෝවිට දරුවාට ගැටළුවක් ඇතිවන්නෙ නැහැ. දරුවාට ඇති ප්‍රධානම අවදානම එන්නෙ මව බරපතල ලෙස රෝගාතුර වීමෙන්. කලින් ප්‍රතිකාර ලබා ගැනීම මෙතරම් වැදගත් වෙන්නෙ ඒ නිසයි. දරු ප්‍රසූතිය ආසන්නයේදී ඩෙංගු වැළඳුනොත් වෛරසය දරුවාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් අවස්ථා තිබෙනව. එලෙස උපදින දරුවන් සතියක් පමණ රෝහලේ නිරීක්ෂණය කරනව. අලුත උපන් දරුවන්ගේ ඩෙංගු බොහෝවිට සංකූලතා වලින් තොර වුවත් කලින් හඳුනා ගැනීම සඳහා සමීපව නිරීක්ෂණය කිරීම සිදු කරනව.
එම කාලයේදී සැත්කමකදී වගේම දරු ප්‍රසූතියකදීත් ලේ ගැලීමේ අවදානම වැඩි නිසා, හැකි සෑම විටම දරු ප්‍රසූතිය රෝගයේ අවදානම් කාලය පසු වෙන තෙක් කල් දමනව. ප්‍රසූත වේදනාව ඉබේම ආරම්භ වුවහොත් සමහර විට, එය කෙටි කාලයකට නතර කිරීමට ඖෂධ යොදා ගන්නත් පුළුවන්.
වළක්වා ගැනීම
ගර්භණී කාලය පුරාම මදුරුවන්ගෙන් ආරක්ෂා වීම ඉතාමත්ම වැදගත්. දිවා කාලයේත් මදුරු දැලක් භාවිතා කරන්න. ගර්භණී මවකට ආරක්ෂිත මදුරු ආලේපන ගැන වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්න. නිවස අවට ජලය රැඳෙන ස්ථාන ඉවත් කරන්න. නිවසේ කෙනෙකුට හෝ අසල්වැසියෙකුට පසුගිය සති දෙක තුල ඩෙංගු වැළඳී ඇති නම් එයත් වෛද්‍යවරයාට කියන්න. උණ රෝග තත්වයකට සිදු කරන පරීක්ෂණ එම තොරතුරු මත වෙනස් වෙනව.
ගර්භණී ඔබට උණ පිළිබඳ කිසියම් සැකයක් ඇති නම් පමා නොවී වෛද්‍ය උපදෙස් ලබා ගන්න...