Results for Tag: pregnancy, (3)
Covid 19   එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු
Covid 19 ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගැනීම සුදුසුයද යන්න දරු ඵල අපේක්ෂාවෙන් සිටින් කාන්තාවන් බොහෝදෙනෙක් මේ දිනවල අසන ගැටළුවක්. දැනට භාවිතය සඳහා නිර්දේශිත එන්නත් වර්ග කිහිපයක්ම තිබෙන අතර ඉන් කිසිවක් මේලිපිය ලියන අවස්තාව වෙන තෙක් ගර්භණී මවුවරු යොදා ගෙන සායනික පරීක්ෂණ සිදු කර නැහැ. නමුත් සමහර රටවල දැනටමත් කොරෝනා වෛරසය ආසාදනය වීමට අධි අවදානමක් ඇති ගර්භණී මව්වරුන් 90000කට අධික පිරිසකට මෙම එන්නත් ලබා දී ඇති අතර එන්නත් වල ආරක්ෂිත බව එමගින් තහවුරු වී තිබෙනව. මීට සමාන එන්නත් දැනටමත් ගර්භනී මවුවරුන්ට ලබා දෙන නිසා මේ එන්නත මගින් මවට හෝ දරුවාට අහිතකර බලපෑමක් වීමට ඇති අවදානම ඉතා අඩුයි. එම නිසා දැන් කොවිඩ් එන්නත ගර්භණී මවු වරුන්ට සඳහා භාවිතා කිරීමට නිර්දේශ කරනව. ඒ වගේම ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන් එන්නත ලබා ගැනීමට පෙර ගර්භණී දැයි පරීක්ෂා කිරීම අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරුන්ගේ විද්‍යායතනය 2021.05.06 දින ගර්භණී මව්වරුන් සියළුම දෙනා එන්නත් කිරීම නිර්දේශ කරනු ලැබූ අතර එමගින් ඉදිරියේදී ගර්භණී සමයේ කොවිඩ් ආසාදනය නිසා ඇතිවිය හැකි සංකූලතා සහ මාතෘ මරණ වලක්වා ගැනීමට හැකියාව ලැබේවි. දරු ඵල අපේක්ෂාවෙන් සිටින බොහෝ කාන්තාවන් මෙම එන්නට ලබා ගැනීමට පෙර අපෙන් විමසන්නෙ ඉදිරියේදී ගැබ් ගැනීමක් ඇති වුව හොත් එන්නත මගින් එයට කිසියම් බලපෑමක් ඇතිවිය හැකිද යන ගැටළුවයි. මෙම එන්නත නිසා ගබ්සා වීමක් හෝ කලලයට හානි වීමක් සිදු වෙන බවට කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා දරු ඵල අපේක්ෂාවෙන් සිටින ඔබට කිසිම ගැටළුවකින් තොර මෙම එන්නත ලබා ගන්න පුළුවන්. ඒ වගේම එන්නත ලබා ගන්නා අවස්තාව වන විටත් ඔබ නොදැනුවත්ව ගැබ් ගෙන සිටි අවස්තාවක වුවත් එන්නත නිසා කලලයට හානියක් වෙන්නෙ නැහැ. දරුඵල ප්‍රමාද වීමට ප්‍රතිකාර ලෙස ඩිම්බ මෝරන ඖෂධ ලබා ගැනීම හෝ IUI/ IVF වැනි ප්‍රතිකාර සිදු කිරීම එන්නත් කරනය නිසා ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. ඔබ Covid 19 එන්නත ලබා ගන්නා අතර තුර, ඔබ කලින් සැලසුම් කර ඇති පරිදි කිසිදු ගැටළුවකින් තොරව මෙම ප්‍රතිකාර සිදු කරන්න පුළුවන්. ..
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?
මොනවද මේ ෆෝලික් ඇසිඩ් කියන්නෙ? ෆෝලික් ඇසිඩ් ගැනීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වෙනවද? ෆෝලික් ඇසිඩ් කොපමණ ප්‍රමාණයක් ගන්න අවශ්‍යද? ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කල යුතු වෙන්නෙ කුමන කාලයක සිටද? මේ වගේ ගැටළු රැසක් අප වෙබ් අඩවිය වෙත නිතරම යොමු වන නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරනව. ෆෝලික් ඇසිඩ් (Folic acid/ Vitamin B9) කියල කියන්නෙ අපේ ආහාර මගින් ලබා ගත යුතු විටමිනයක්. ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවක් සාමාන්‍යයෙන් දිනකට අඩුම වශයෙන් ෆෝලික් ඇසිඩ් මයික්‍රො ග්‍රෑම් 400ක පමණ ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනව. කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග, දොඩම්, කජු, බෝංචි කඩල වැනි ඇට වර්ග සහ කුකුළු මස් වැනි ආහාර වල සාමාන්‍යයෙන් ෆෝලික් අම්ලය අඩංගු වන නමුත් අප එදිනෙදා ආහාරයට ගන්නා සාමාන්‍ය ආහාර වේලක මෙතරම් විශාල ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ නැහැ. ඒ නිසා ගැබ් ගැනීමට අපේක්ෂා වෙන් සිටින සෑම කාන්තාවකටම ෆෝලික් අම්ලය ආහාර වලට අමතරව ලබා ගැනීමට නිර්දේශ කරනව. ෆෝලික් අම්ලය අපේ සිරුරේ බොහෝ ක්‍රියාකාරිත්වයන්ට වැදගත් විටමිනයක්. අප ශරීරයේ බොහෝ සෛල වල වර්ධනය සහ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට ෆෝලික් ඇසිඩ් වැදගත් වෙනව. මේ අතර රතු රුධිරාණු නිෂ්පාදනය වැදගත් කර්තව්‍යයක්. සිරුරේ ෆෝලික් අම්ල ප්‍රමාණය අඩු වුවහොත් නිරක්තිය වැනි සංකූලතා පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් සිදුවන කාලයේ සිරුරේ ෆෝලික් අම්ල ඌණතාවය පැවතුණ හොත්, එය දරුගැබට බලපානව. ඒ නිසා දරුවාට ස්නායු පද්ධතිය ආශ්‍රිත දරුණු සංකූලතා ඇතිවෙන්න පුළුවන්.  Anencephaly සහ Neural tube defects කියන්නෙ මෙවැනි දරුණු සංකූලතවයන් දෙකක්. Anencephaly ලෙස හඳුන්වන්නෙ හිස්කබල සහ මොලය වර්ධනය නොවන දරුවන්. එවැනි දරුවෙකුට ජීවත් වීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ස්නායු පද්ධතියේ කොටස් හිසේ පිටුපසින් සහ කොඳු ඇට පෙල ආශ්‍රිත පෙදෙසෙන් පිටතට පැමිණිය හැකි තත්වයන් (Neural tube defects) මේ නිසා ඇතිවෙන තවත් සංකූලතාවයක්. මෙම සංකූලතාවයන් ඇතිවීම නියමිත මාත්‍රාවෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම මගින් වලක්වා ගන්න පුළුවන්.  ඒ සඳහා ගැබ් ගැනීමට අපේක්ෂාවෙන් සිටින සෑම කාන්තාවක්ම දිනපතා ෆෝලික් අම්ලය අමතරව ගැනීම කල යුතුයි. කාන්තාවක් ගැබ් ගැනීමට පෙර සිටම ෆෝලික් අම්ලය ලබා ගැනීම ආරම්භ කල යුතුයි. එයට හේතුව වෙන්නෙ දරුවා පිළිසිඳ ගන්නා අවස්ථාවේ සිටම නිරෝගී වර්ධනයට ෆෝලික් ඇසිඩ් වැදගත් වන නිසයි. අප නිර්දේශ කරන්නෙ ගැබ් ගැනීමට අපේක්ෂා කරන සියළුම කාන්තාවන් ඊට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1 ක පෙත්තක් බැගින් දිනකට වරක් ලබා ගන්නා ලෙසයි. මෙය ලබා ගැනීමට විශේෂ වේලාවක් නැහැ. ඔබට පහසු පරිදි උදේ හෝ රාත්‍රි කාලයේ හෝ ලබා ගත හැකියි. දැනට වෛද්‍ය නිර්දේශයකින් තොරව වුවත් ඔබට ඖෂධ හලකින් ෆෝලික් ඇසිඩ් පෙති මිලදී ගැනීමට පුළුවන්.  සමහර කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1ක් ප්‍රමාණවත් නැහැ. වෛද්‍ය වරුන් මිලිග්‍රෑම් 5ක ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගැනීමට නිර්දේශ කරන විශේෂ අවස්තා ලෙස අධික තරබාරු කාන්තාවන්, දියවැඩියා රෝගයෙන් පෙලෙන කාන්තාවන්, අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවන්, කලින් වැනි සංකූලතා ඇති දරුවකු බිහි කල කාන්තාවන්, හැඳින්විය හැකියි.ෆෝලික් ඇසිඩ් මදසරු බවට ලබා දෙන ප්‍රතිකාරයක් නොවෙයි. මෙම ඖෂධය ලබා දෙන්නෙ ඉහත සඳහන් කල සංකූලතාවයන් සහිත දරුවන් බිහි වීම වළක්වා ගැනීමටයි. ඔබට ගැබ් ගැනීමට ප්‍රමාදබව හැඟේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ සහ සුදුසු පරිදි ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව. ෆෝලික් ඇසිඩ් කියන්නෙ අතුරු ආබාධ ඉතාමත් අඩු ඖෂධයක්. ඒ නිසා කිසිම ගැට‍ළුවක් නොමැතිව බොහෝ දෙනෙකුට මෙය ලබා ගත හැකියි. නමුත් කිසියම් හේතුවක් නිසා ඔබට ෆෝලික් ඇසිඩ් පෙති ගැනීමට අපහසු නම් ඒ පිළිබඳ ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කරන්න. එවිට ඔබට වෙනස් ෆෝලික් ඇසිඩ් වර්ගයක් වන L Methylfolate පෙති ලබා ගත හැකියි. එයට මිලෙන් වැඩි වුවත්, සාමාන්‍ය ෆෝලික් අම්ලයට වඩා වේගයෙන් සිරුරට උරා ගන්නා අතර අතුරු ආබාධ අඩුයි.  ..
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?
ගර්භණී මවකට සුදයාම හෝ යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම බහුලව දක්නට ලැබෙන තත්වයක්. බොහෝවිට මීට හේතු වෙන්නෙ ගර්භණී සමයේ ස්වභාවිකව සිදුවන වෙනස්කම් වුවත් කලාතුරකින් මෙය දරුගැබට පවා හානිකර තත්වයන් නිසා විය හැකියි. ගර්භණී කාලයේ ගර්භාෂයට වගේම ගැබ්ගෙල හා යෝනි මාර්ගය ආශ්‍රිතව රුධිර සැපයුම වැඩි වෙනව. ඊට අමතරව සිරුරේ හෝමෝන වෙනස්කම් රැසක් සිදුවෙනව. මෙහි බලපෑමක් ලෙස යෝනි මාර්ගයෙන් ස්වභාවිකව පිටවෙන ස්‍රාව ප්‍රමාණය ගර්භණී කාලයේ වැඩි වීමක් සිදුවෙනව. මෙය සාමාන්‍ය තත්වයක්. මෙම ස්‍රාවය දිගටම පැවතීම නිසා යෝනි මාර්ගයට විෂබීජ ආසාදන තත්වයන් ඇතිවීමේ අවදානම අඩු වෙනව. පිටවෙන ස්‍රාවය අවර්ණ සහ දුගඳක් නොමැති ස්‍රාවයක් නම් එය සාමාන්‍ය ලෙස සලකන අතර කිසි විටක එය අඩු කිරීමට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නමුත් සමහර විට යෝනි මාර්ගයේ විෂබීජ ආසාදන තත්වයක් නිසා පිටවෙන ස්‍රාවය වෙනස් වෙන්න පුළුවන්. යෝනි මාර්ගයේ කැසීමක් සමග සුදු පැහැති ඝනකම් ස්‍රාවයක් පිටවේ නම් එයට හේතුව candida albicans දිලීර ආසාදන තත්වය විය හැකියි‍‍. මෙයට ප්‍රතිකාර ලෙස යෝනි මාර්ගයෙන් ඇතුළු කරන දිලීර නාශක ඖෂධ වෛද්‍යවරුන් නියම කරනව. බීමට ගන්නා බොහොමයක දිලීර නාශක ඖෂධ ගර්භණී මවුවරුන්ට සුදුසු නැති නිසා යෝනි මාර්ගය හරහා ලබා දෙන ඖෂධ අසාර්ථක වන විට පමණක් විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත එම ඖෂධ නියම කිරීම සිදු කරනව. පිටවෙන ස්‍රාවය අවපැහැති වීම සහ ඒ සමග දුගඳක් ඇතිවීම බැක්ටීරියා ආසාදන තත්වයක රෝග ලක්ෂණයක් විය හැකියි. එවිට වෛද්‍ය උපදෙස් මත සුදුසු ප්‍රතිජීවක ඖෂධයක් ලබා ගත යුතුයි. දරුගැබ ආරක්ෂා කරන වෝටර් බෑග් එක කැඩීම සමහර ගර්භණී මවුවරුන්ට ඇතිවෙන සංකූලතාවයක්. එවැනි අවස්තාවක වෝටර් බෑග් එක තුල ඇති භ්‍රෑණ තරලය යෝනි මාර්ගය හරහා පිටතට පැමිනෙන්න පුළුවන්. මෙය අවදානම් තත්වයක්. ඒ සමග යෝනි මාර්ගය තුල ඇති විෂබීජ ගර්භාෂයට ඇතුළුවීමට හැකියාව තිබෙනව. ඊට අමතරව ගැබ් ගෙල විවෘත වුවහොත් පෙකණිවැල ඒ තුලන් පිටතට පැමිණීමට හෝ කලින් දරුවා බිහිවීම වැනි සංකූලතා ඇතිවෙන්න පුළුවන්. මෙවැනි තත්වයක් ඇතිවූ වහාම ගර්භණී මවක් ඉක්මණින් රෝහලකට පැමිණිය යුතුයි. එහිදී මවට සහ දරුවාට ඇතිවිය හැකි සංකූලතා අවම කිරීමට සුදුසු ප්‍රතිකාර සිදු කරනව. දරු ප්‍රසූතියට ආසන්න වෙනව විට ගැබ් ගෙලෙන් පිටවෙන ශ්ලේෂ්මල ස්‍රාව ප්‍රමාණය වැඩි වෙනව. ගැබ් ගෙල විවෘත වීම ආරම්භ වෙන විට මෙම ස්‍රාවය සමග රුධිරය සුළු ප්‍රමාණයක් පිටවෙන්න පුළුවන්. මෙය දරු ප්‍රසූතිය ආසන්න වීමේ ලක්ෂණයක්. ඒ නිසා මෙම ලක්ෂණ ඇති වෙන විට රෝහල් ගතවීමට සූදානම් විය යුතුයි. ..