පාලනයකින් තොරව මුත්‍රා පිටවීම

පාලනයකින් තොරව මුත්‍රා පිටවීම

පාලනයකින් තොරව මුත්‍රා පිටවීම මැදිවියේ කාන්තාවන් අතර සුලබ ප්‍රශ්නයකි. උදරයේ වායු පීඩනය වැඩි වෙන අවස්ථාවල (කැස්ස/ කිවිසුම් යාම/ බරක් ඉස්සීම) ඇති වන මුත්‍රා පිටවීම හා මුත්‍රා පිටවීමට අශ්‍යතාවයක් ඇති වන මොහොතක එය පාලනය කර ගැනීමට නො හැකි වීම ලෙස මෙම රෝගය කොටස් 2ට බෙදිය හැක. මෙම තත්වය නිසා කාන්තාවන් මහත් අපහසුතාවයට පත් විය හැකි අතර ඒ නිසාම එම තත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හමුවීමට පවා කාන්තාවන් මැලි වීමට පිළිවන්. නමුත් මෙම තත්වය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇත.

මුත්‍රා පාලනයකින් තොරව පිටවීම යනු කුමක් ද?

අප හට මුත්‍රා පිට කිරීමට වුවමනා වූ විට ඒ සඳහා පහසු හා සුදුසු ස්ථානයක් ලැබෙන තුරු මුත්‍රාශය තුල රඳවා තබා ගැනීමේ හැකියාව ඇත. මුත්‍රා පිටවීමට නුසුදුසු හා අකමැති මොහොතක අපගේ පාලනයකින් තොරව මුත්‍රා පිටවීම මෙම තත්වය ලෙස හැඳින්විය හැක.

මුත්‍රාශය සහ මුත්‍රා ගැන තොරතුරු බිඳක්

වකුගඩු වලින් මුත්‍රා නොනවත්වා නිපදවේ. මෙම මුත්‍රා දිගටම මුත්‍රා නාල තුලින් මූත්‍රාශය වෙත එකතුවේ. ඔබේ මුත්‍රා නිපදවන ප්‍රමාණය ඔබ පානය කරන දියර ප්‍රමාණය ආහාරයට ගන්නා ආහාර සහ නිපදවන දහදිය ප්‍රමාණය මත තීරණය වේ.

මූත්‍රාශය සෑදී ඇත්තේ මාංශ පේශි වලිනි. එය මුත්‍රා ගබඩා කරන අවයවයකි. මූත්‍රාශය මුත්‍රා මාර්ගයට විවෘත වන අතර එම විවරය වෑල්වයක් මගින් සැම විටම වැසී ඇත. මෙම වෑල්වය ශ්‍රෝණි මස්පිඩුවලින් සෑදී ඇත.

මූත්‍රාශය තුළ මුත්‍රා යම් ප්‍රමාණයක් පිරුණු විට ඔබ හට එම දැනීම ලැබේ. ඔබ මුත්‍රා කිරීමට වැසිකිළියට ගිය විට ඔබේ මූත්‍රාශය සංකෝචනය වන අතර ශ්‍රෝණියේ ඇති මස්පිඩු ලිහිල් වී මුත්‍රා මාර්ගය විවෘත වේ.  මෙම ක්‍රියාවලිය නිසා ඔබට මුත්‍රා පිට කළ හැක. ඔබගේ මොළයෙන් එන ස්නායු හරහා මෙම පේශි ලිහිල් වීම සහ මුත්‍රා සංකෝචනය වන අවස්ථාව පාලනය වේ.

පාලනයකින් තොරව මුත්‍රා පිටවීම කෙතරම් සුලභද?

මෙම තත්ත්වය සුලභ රෝගී තත්ත්වයකි. එය විශේෂයෙන්ම බලපානුයේ කාන්තාවන්ටය. මෙය  ඕනෑම වයසකදී ඇතිවිය හැකිමුත් වඩාත් සුලභව දක්නට ලැබෙන්නේ මැදිවියේ සහ මහලූවියේ කාන්තාවන්ටය. එනම් වයස්ගත වීමත් සමග එහි ප‍්‍රවණතාවය වැඩිවේ. මෙම තත්ත්වය සෑම කාන්තාවන් 100 ගෙන් 04 ට දැකිය හැක. අවුරුදු 40 ට වැඩි කාන්තාවන් 05 ගෙන් එක් අයෙකුට මෙය ප්‍රශ්නයක් විය හැක. මෙම ප්‍රමාණය මීටත් වඩා වැඩි විය හැක. අවාසනාවට කරුණ නම් කාන්තාවන් මෙම තත්ත්වය වෛද්‍යවරුන්ට පැවසීමට මැලවීමයි. ලැජ්ජාව එයට ප්‍රධාන කරුණයි. නමුත් මෙය ප්‍රතිකාර මගින් සුව කළ හැක.

පාලනයකින් තොරව මුත්‍රා පිටවීමට හේතු මොනවාද?

පාලනයකින් තොරව මුත්‍රා පිටවීම හේතු 02 ක් නිසා සිදු වන බව මුලින් පැවසුවා ඔබට මතක ඇති.

1 උදරයේ වායු පීඩනය වැඩි වන අවස්ථාවල දී (කැස්ස, කිවිසුම් යාම, බරක් ඉස්සීම) ඇති වන මුත්‍රා පිටවීම.

පාලනයකින් තොරව මුත්‍රා පිටවන හේතුවලින් සුලභවම දකින්නට ඇත්තේ මෙම තත්ත්වයයි.

මෙම තත්ත්වය ඇතිවන්නේ මූත්‍රාශය මුත්‍රා මාර්ගය වසා ගෙන සිටින ශ්‍රෝණි මාංශ පේශි දුර්වල වූ අවස්ථාවේදීය.

මෙම තත්ත්වය තුළ ඔබ සිනාසෙන විට කැස්සක් හෝ කිවිසුම් යන විට හෝ ඔබ ව්‍යායාමවල යෙදී සිටින අවස්තාවේදී පාලනයකින් තොරව මුත්‍රා පිටවිය හැක. මෙම අවස්ථාවල දී උදරයේ හෝ මූත්‍රාශයේ ඇති වන හදිසි තෙරපුම මෙම මුත්‍රා පාලනයකින් තොරව පිටවීමට හේතු වේ. මුත්‍රා පිටවන ප්‍රමාණය සුළු හෝ විශාල ප්‍රමාණයක් ලෙස වෙනස් විය හැක. ශ්‍රෝණි පතුලේ ඇති මාංශ පේශි දුර්වල වීමට කරුණු කිහිපයක් බලපෑ හැක.

1.දරු ප්‍රසූතිය තුළ දී එම පේශිවලට සිදු වන හානිය.

2. වයසට යාමත් සමග මෙම පේශි දුර්වල වීම.

3. තරබාරු කම.

මෙම තත්ත්වය විවිධ ශල්‍යකර්ම මගින් සුව කළ හැක.

2  මුත්‍රා බර පැමිණි විට එය පාලනය කර ගැනීමට නො හැකි නිසා ඇති වන මුත්‍රා පිටවීම.

මෙම තත්ත්වය තුළද මූත්‍රාශය තුළ මුත්‍රා පිරෙන විට ස්නායු අක්‍රමවත් සහ පාලනයකින් තොරව ක‍්‍රියාකිරීම නිසා මූත්‍රාශය සංකෝචනය වී තද මුත්‍රා බරක් ඇතිවීම සහ ඇතැම් විට මුත්‍රා පාලනයකින් තොරව පිටවීම සිදුවේ. එහිදී ඔබ වැසිකිළියට යාමට පෙර මුත්‍රා පිටවීම සිදුවේ. මෙම තත්ත්වය නිසා ඔබ ගෙදරින් පිට ගමන් යාමට පවා මැලි වීමට ඉඩ ඇත.

මෙම තත්ත්වයද වයස්ගත වීමත් සමග වැඩි විය හැකි අතර එම තත්ත්වයට නිශ්චිත හේතුවක් බොහෝ දුරට හමු නොවේ. වයස්ගත වීමත් සමග ස්නායු පද්ධතියේ සිදු වන දුර්වලතාවන් මෙයට හේතුවේ යැයි සිතිය හැක. මුත්‍රා ආසාදන තත්ත්වයන්හිදී මෙම මුත්‍රා පාලනයකින් තොරව පිටවීම දැකිය හැක. මෙම තත්ත්වය පාලනය කිරීමට විවිධ බෙහෙත් වර්ග ඇත. සමහර කාන්තාවන් සඳහා ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ 02 ම තිබිය හැක. එවිට මෙම තත්ත්ව 02 සඳහා ම ප්‍රතිකාර කළ යුතුය.

පාලනයකින් තොරව මුත්‍රා පිටවීම නැති කර ගැනීමට කළ හැකි දේ කුමක් ද?

මෙම ඉතා අපහසුකාරී රෝග තත්ත්වය සුවකරගැනීමට හෝ පාලනය කර ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර මගින් පිළිවන. ප්‍රතිකාර ක්‍රමය රෝගී තත්ත්වය මත වෙනස් වේ. එම නිසා එම තත්ත්වය හරියාකාරව දැන ගැනීමට ඔබේ වෛද්‍යවරයා යම් ඉතිහාසයක් ඔබෙන් ඇසීම සිදු කරයි.

ඔබට ඇති මුත්‍රා ප්‍රශ්නය

  • කහින විට හෝ කිවිසුම් යන විට මුත්‍රා පිටවීම
  • මුත්‍රා බර ඇතිවූ විට එය පාලනය කර ගත නොහැකිවීම.
  • ඔබ වැසිකිළියට යන වාර ප්‍රමාණය
  • ඔබට මුත්‍රා යන ප්‍රමාණය
  • පාලනයකින් තොරව මුත්‍රා පිටවීම දිනකට කී වරක්ද
  • ඔබට සිටින දරුවන් ප්‍රමාණය සහ ඔවුන් ප‍්‍රසූතියේදී ඇතිවූ ආබාධ

ඔබ හට යම් පරීක්ෂණ කිරීමට ඔහු විසින් පැවසිය හැක.

  1. මුත්‍රා පරීක්ෂණයක් (විෂබීජ දැන ගැනීමට)
  2. ස්කෑන් පරීක්ෂණයක්
  3. යෝනි හා උදර පරීක්ෂණයක්
  4.  මුත්‍රා මාර්ගය සම්බන්ධයෙන් ඇති විශේෂ පරීක්ෂණ (Urodynamic)

ප්‍රතිකාර

ඔබට ඇති රෝගී තත්ත්වය මත කිරීමට හැකි ප්‍රතිකාර ක්‍රමය වෙනස් වේ. එම නිසා එම තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීම ප්‍රථමයෙන් කළ යුතුය.

මෙම තත්ත්වය යම් තරමක් හෝ අඩු කිරීමට ඔබට කළ හැකි දෑ

  1.  අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කරනවා නම් එය අඩු කිරීම
  2. සාමාන්‍යයෙන් අප දිනකට වතුර වීදුරු 06 ක් 08 ක් පමණ බීමට ගත යුතුය. ඔබ බොන දේවල් වෙනස් කිරීම. තේ,කෝපි,චොකලට් පානයන් සහ කෝලා පානයන් ඔබේ මූත්‍රාශය සංකෝචනය වැඩි කර පාලනයකින් තොරව මුත්‍රා යාම වැඩි කරයි.
  3. ඔබ දියර පානය කරන වේලාව වෙනස් කිරීම. රාත්‍රි කාලයේ වැඩිපුර දියර පානය කිරීම, ගමනක් යන විට එසේ කිරීම සීමා කළ යුතුය.
  4. ශරීරයේ බර අඩුකරගැනීම. යම් ප්‍රමාණයක් හෝ ශරීරයේ බර අඩු කර ගැනීමෙන් මුත්‍රා පිටවීම බොහෝ දුරට අඩුකරගත හැක.
  5. දිනකට 04-05 වතාවක්වත් මුත්‍රා කිරීමට පුරුදුවීම.
  6. මලබද්ධය වළක්වා ගැනීමට සමබර ආහාර වේලක් ගැනීම. මලබද්ධය සමග මුත්‍රා පාලනයකින් තොරව පිටවීම ද එම මාංශ පේශි දුර්වලවීම ද වැඩිය.

වෛද්‍ය ප්‍රතිකාර

  1. Stress Incontinence

    මෙම රෝග තත්ත්වය සඳහා ඖෂධ නොමැති අතර ශල්‍යකර්මයකින් මෙය නිට්ටාවට සුව කළ හැක. මෙය ඉතා සරල විනාඩි 30 ක පමණ සැත්කමක් වන අතර ඔබට රෝහලේ දින 02 ක් ගත කිරීමට සිදුවේ.

  2. Urine Incontinence

    මෙම තත්ත්වය ඖෂධ මගින් පාලනය කර ගත හැක. මෙම තත්ත්වය පමණක් ඇති විට සැත්කම් කිරීම හානිදායක විය හැක. මෙහි දී ඖෂධ දිගු කාලයක් ගැනීමට සිදුවේ.

    තවද ශ්‍රෝණි ප්‍රදේශයේ මාංශ පේශිවලට ව්‍යායාම කිරීම මෙම ඉහත තත්ත්වය තවදුරටත් වැඩි වීම වළක්වා ගත හැක.

 
Dr. Chandana Jayasundara
MBBS (Sri Lanka), MD (Obs and Gyn), MRCOG (UK), Fellowship in Gyn Laparoscopy (India)

Consultant Obstetrician and Gynaecologist Nawaloka Hospital Negombo, Hemas Hospital Wattala


SHARE THIS WITH FRIENDS ON