තයිරොයිඩ් හෝමෝන ගර්භණී මවකට බලපාන හැටි Thyroid disease in pregnancy

තයිරොයිඩ් හෝමෝන ගර්භණී මවකට බලපාන හැටි Thyroid disease in pregnancy

අපේ ගෙල ඉදිරිපස ඇති කඩා තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන හෝමෝන සිරුරේ ක්‍රියාකාරිත්වයන් විශාල ප්‍රමාණයකට දායක වෙන අතර තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු වීම වගේම වැඩි වීමත් ශරීරයට හිතකර නැහැ. ඉන් ගැබිනි මවට මෙන්ම කුස තුල සිටින දරුවාටත් බලපෑම් ඇතිවෙන නිසා ගර්භණී කාලයේ තයිරොයිඩ් හෝමෝන මට්ටම ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනව.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම නිසා ඇතිවෙන හයිපොතයිරෝයිඩිසම් (Hypothyroidism) නම් රෝග තත්වය ඉතාමත් සුලබයි. මේ සඳහා ප්‍රතිකාර ලෙස තයිරොක්සින් නම් ඖෂධය භාවිතා කරනවා. මෙම තත්වය පවතින කාන්තාවන්ට ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙන නිසා ගැබ් ගැනීමට පෙර සිටම නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම ඉතා වැදගත්.

මව් කුස තුල වැඩෙන කලලයට සති 12 ක් පමණ වෙන තෙක් තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාත්මක නොවන නිසා දරුවාට තනිවම තයිරොයිඩ් හෝමෝන නිපදවීමට හැකියාව නැහැ. එබැවින් මවගේ රුධිරයෙන් ලබා ගන්නා තයිරොයිඩ් හෝමෝන මත තමයි දරු ගැබේ ක්‍රියාකාරිත්වය රඳා පවතින්නෙ. තයිරොක්සින් හෝමෝනය දරුවාගේ මොලය සහ බුද්ධිය වර්ධනය සඳහා ඉතා වැදගත් හෝමෝනයක් නිසා මේ කාල සීමාව තුල මවගේ රුධිරයේ තයිරොක්සින් හෝමෝන මට්ටම නිසි ප්‍රමාණයට පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි.

ගැබිනි මවක් මුලින් ම සිදු කරන රුධිර පරීක්ෂණ සමග TSH නම් පරීක්ෂණය කිරීමෙන් රුධිරයේ තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු හෝ වැඩි වීම ඇති දැයි හඳුනා ගන්න පුළුවන්. එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව සුදුසු පරිදි ඖෂධ ලබා ගෙන තයිරොයිඩ් හෝමෝන වෙනස් වීම නිසා දරු ගැබට ඇතිවිය හැකි හානි අවම කර ගන්න හැකියාව තිබෙනව. Hypothyroid රෝග තත්වය ඇති කාන්තාවන් ගැබ් ගත් වහාම TSH පරීක්ෂණය සිදු කර සුදුසු පරිදි ඖෂධ මාත්‍රාව වෙනස් කිරීම අවශ්‍ය වෙනව. නැවතත් වරින් වර මෙම පරීක්ෂණය සිදු කර හෝමෝන මට්ටම නිසා ප්‍රමාණයට පාලනය කර තබා ගැනීමට වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ භාවිතා කිරීම සුදුසුයි.

තයිරොයිඩ් හෝමෝන මට්ටම වැඩි වීම තවත් රෝග තත්වයක්. මෙය හයිපතයිරෝඩිසම් (hyperthyroidism) ලෙස හඳුන්වනව. මේ තත්වය සඳහා ගන්නා සමහර ඖෂධ ගර්භණී කාලයේ දී එතරම් සුදුසු නැති නිසා ගැබ ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුව ඖෂධ නිසි ලෙස නිර්දේශ කරවා ගැනීම අවශ්‍ය වෙනවා. Hyperthyroidism රෝග තත්වය සඳහා විවිධ හේතු බලපාන අතර එම හේතු අනුව ප්‍රතිකාර කරන ආකාරය සහ ඉන් ඇතිවෙන බලපෑම් වෙනස් වෙනව. මවගේ තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කරන ප්‍රතිදේහ ඇතිවීම නිසා මේ තත්වය කලාතුරකින් ඇති වෙන අතර එවැනි මවුවරුන්ගේ වැදෑමහ හරහා මෙම ප්‍රතිදේහ දරුවාට ගමන් කර දරු ගැබට බලපෑම් ඇති කරන්න පුළුවන්. මේ හේතු නිසා මෙම රෝග තත්වය ඇති කාන්තාවන් මුල සිටම විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා  ගැනීම වැදගත් වෙනව.

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


Latest topics

Featured Articles