බබා දැඟලීම අඩු වුනොත් මොකද කරන්නේ?

බබා දැඟලීම අඩු වුනොත් මොකද කරන්නේ?

මවු කුස තුල සිටින දරුවා නිරෝගී දැයි මවකට දැන ගැනීමට තිබෙන එකම ක්‍රමය තමයි බබා දඟලන එක. බොහෝ මව්වරු මේ ගැන අවධානයෙන් ඉන්නේ. හදිසියේ බබා දඟලන එක නැවතුනොත්, එහෙම නැති නම් බබා දඟලන වාර ගණන අඩු වුනොත් මොකද කරන්නෙ? ඒ ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ.

මවු කුස තුල දරුවා දැඟලීම ඉතාමත් කුඩා කාලයේ සිට පටන් ගන්නව. මුල්ම ස්කෑන් පරීක්ෂණය කරන අවස්ථාවේ පවා මෙය වෛද්‍ය වරයෙකුට දැක ගන්න පුළුවන්. නමුත් දරුවා ඉතා කුඩා නිසා මෙම චලන ගර්භාෂයේ බිත්තිය සහ උදර බිත්තිය හරහා මවට දැනෙන්නේ නැහැ. ක්‍රම ක්‍රමයෙන් දරුවා වැඩෙන විට මවට චලන දැනෙන්නට පටන් ගන්නව. මුලින්ම බබා දඟලන බව මවට දැනෙන්න පටන් ගනිද්දි දරු ගැබට සති 20ක් පමණ වෙනව. නමුත් දෙවන තුන් වන දරුවා බලාපොරොත්තු වෙන මවු වරුන්ට මීට වඩා කලින් වුවත් චලන දැනෙන්න පටන් ගන්නව. මෙයට හේතුව මුලින්ම දරුවාගේ චලනය කුමක් වගේ ද යන අවබෝධය ලැබෙන්න කාලයක් ගත වෙන නිසා.

සෑම දරුවෙක් ම එක වගේ නැහැ. ඒ නිසාම එක එක දරුවා චලනය වෙන ආකාරයත් වෙනස්. නමුත් කාලයත් සමග මවට ඇගේ දරුවා චලනය වෙන සාමාන්‍ය රටාව හඳුනා ගන්න පුළුවන්. දරුවා නිරෝගී ව සිටී නම් මෙම රටාව දිගටම පවතිනව.

යම් අවස්ථාවක දරුවා පුරුදු පරිදි චලනය වෙන්නේ නැහැ කියල දැනුනොත් මොකද කරන්නේ? මෙයට හේතු මොනවාද? බොහෝ විට බබා දැඟලීම අඩුවෙන්නේ දරුවා මව්කුස තුල නිදා සිටින විට. සමහර දරුවන් වැඩි වෙලාවක් නිදා ගන්න අවස්ථා තිබෙනව. නමුත් කලාතුරකින් දරුවාගේ යම් කිසි අසනීප තත්වයක් නිසාත් දැඟලීම අඩු වෙන්න පුළුවන්. මවු කුස තුල දරුවා මිය යන අවස්ථාවක මුලින්ම ඇතිවෙන ලක්ෂණය තමයි මවට චලන නො දැනීම. මේ නිසා තමයි ගර්භණී මවු වරුන්ට බබා දඟලන එක ගැන අවධානයෙන් සිටින ලෙස අවවාද කරන්නේ. සමහර විට මෙය ගණන් කර වගුවක සටහන් කරන ලෙසත් ඔබේ වෛද්‍ය වරයා අවවාද කරාවි. මෙලෙස සටහන් කිරීමේදී හෝ ඔබේ අත්දැකීමට අනුව බබාගේ දැඟලීම අඩු නම් ඉක්මනින් රෝහලකට ගොස් වෛද්‍ය වරයෙකු හමු විය යුතුයි.

මෙහි දී දරුවාගේ හෘද ස්පන්දනය CTG පරීක්ෂණයක් මගින් පරීක්ෂා කර බැලීම සිදුකරනව. එම පරීක්ෂණය සාමාන්‍ය නම් බොහෝ දුරට දරුවා නිරෝගී යැයි කියන්න පුළුවන්. ඒ නිසා නැවත ඔබට බබාගේ දැඟලීම දැනෙන විට රෝහලෙන් බැහැර යාමට හැකියාව තිබෙනව. සමහර අවස්ථාවල ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය වෙනව. එමගින් දරුවා චලනය වෙන ආකාරය වෛද්‍ය වරයාට දැක ගන්න පුළුවන්. ඊට අමතරව දරුවාගේ වර්ධනය සහ පෙකණිවැල තුලින් සිදු වන රුධිර ගමනාගමනය පිළිබඳ වත් මෙහි දී පරීක්ෂා කර බලන්න පුළුවන්. මෙම පරීක්ෂණ වල යම් අසාමාන්‍යතාවක් හඳුනා ගත හොත් කලින් දරුවා බිහි කිරීමට නිර්දේශ කරන්න පුළුවන්.

දරු ප්‍රසූතියට ආසන්න වෙන විට ගර්භාෂය වරින් වර තද වීමට ලක් වෙනව. මෙය සිදු වෙන්නේ ගර්භාෂයේ මාංශ පේශී සංකෝචනය වීම නිසා. ඒ වගේ අවස්ථාවක බබා දැඟලුවත් එය මවට නො දැනෙන්න ඉඩ තිබෙනව. ඒ වගේම දරුවා වැඩි වේලාවක් නිදා සිටී නම් ඒ කාලයේ චලනයන් මවට දැනෙන්නේ ඉතා අඩුවෙන්. මේ වගේ බොහෝ අවස්ථාවල දරුවාගේ චලන අඩුවෙන් දැනෙන්නේ රෝග තත්වයක් නිසා නොවෙයි. ඒ නිසා පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.

නමුත් ඔබට යම් සැකයක් ඇති නම් ඉක්මනින් නාරිවේද වෛද්‍ය වරයා හමු වෙන්න එසේ නැතිනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න.

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


Latest topics

Featured Articles