මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

Best health & wellness website Best health & wellness website

මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

ගැබිනි මවක් සැම විටම තම කුස තුල සිටින දරුවා නිරෝගී ව තබා ගැනීමට උත්සාහ කරනව. නමුත් සමහර විට දරුවාගේ වර්ධනය අඩු බව ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව පැවසුව හොත් එවැනි අවස්ථාවක කුමක් කල යුතුද? දරුවාගේ වර්ධනය අඩු වෙන්නේ ඇයි? මෙම ලිපියෙන් ඔබට කරුණු ගෙන එන්නෙ ගර්භාෂය තුල වැඩෙන දරුවෙකුගේ වර්ධනය අඩාල වෙන අවස්ථා ගැන.

දරුවෙකුගේ වර්ධනය බලන්න ක්‍රම කිහිපයක් තිබෙනව. බොහෝ කාලයක් තිස්සේ මෙය සිදු කලේ මවගේ කුසේ ප්‍රමාණය මැන බැලීම මගින්. ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා ටේප් පටියක් ආධාරයෙන් මවු කුසේ වර්ධනය ප්‍රමාණවත් දැයි මැන බලනව. මෙම දළ මිනුම් ක්‍රමයක්. මෙමගින් නිවැරදිව ප්‍රමාණයෙන් කුඩා දරුවන් හඳුනා ගන්න අපහසුයි. නමුත් ස්කෑන් පරීක්ෂණ සඳහා පහසුකම් නොමැති අවස්ථාවක මෙම ක්‍රමය විකල්පයක් ලෙස භාවිතා කරනව.

දැන් ඇති ස්කෑන් යන්ත්‍ර ආධාරයෙන් ඉතාමත් ආසන්න මට්ටමකට වැඩෙන දරුවාගේ බර අනුමාන කල හැකියි. එම බර ගර්භණී සමයේ අදාළ සති ගණනට ගැලපෙනවාදැයි විශේෂිත වගුවක් හෝ ප්‍රස්තාරයක් මගින් සොයා ගත හැකියි. මෙලෙස දරුවාගේ වර්ධනය ප්‍රමානවත්දැයි කියා ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා ගැනීමට පහසුකම් දැන් සෑම මූලික රෝහලකම පාහේ තිබෙනව.

ස්කෑන් පරීක්ෂණයේ දී දරුවා ගර්භයේ වයසට වඩා කුඩා යැයි සොයා ගත හොත් එයට හේතුව කුමක් විය හැකිද? මේ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් පවතිනව.

  1.  දරුවා ලැබීමට අනුමාන කර ඇති දින නිවැරදි නොවීම. ගර්භණී මවකට දරුවා ලැබෙන අනුමාන දිනය ලබා දෙන්නේ අවසාන වරට ඔසප් වීම සිදු වූ දිනයේ සිට සති 40ක ගණනය කිරීමෙන්. ඔසප්වූ දිනය නිවැරදි නැති නම් හෝ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් මෙම දිනය වැරදි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මුල් මාස 3 ඇතුළත කරන ස්කෑන් පරීක්ෂණයකින් තමයි දරුවා ලැබෙන දිනය ගණනය කල හැකි වෙන්නේ.
  2.  සහජයෙන් ම කුඩා දරුවෙක් වීම. සෑම දරුවා ම එකම ප්‍රමාණයට වර්ධනය වෙන්නෙ නැහැ. වැඩිහිටියන් ගේ උස/ බර එකිනෙකාට වෙනස් වගේම මව්කුස තුල වැඩෙන දරුවනුත් එකිනෙකාට වෙනස්. සමහර දරුවන් ප්‍රමාණයෙන් කුඩා නමුත් නිරෝගීයි. එවැනි දරුවන්ට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
  3. දරුවාට නිසි පෝෂණයක් නො ලැබීම නිසා කුඩා වීම‍. මවගෙන් දරුවාට ආහාර සහ ඔක්සිජන් ලැබෙන්නේ වැදෑමහ හරහා. වැදෑමහ නිසි ලෙස වර්ධනය නොවන අවස්ථාවක දරුවාට නිසි පෝෂණයක් ලැබෙන්නෙ නැහැ. එවැනි දරුවන්ගේ බර අඩු වෙනව.
  4. දරුවාට රෝගී තත්වයක් තිබීම. මෙය එතරම් සුලබ නැහැ. රෝගී තත්වයකින් පෙලෙන දරුවන් සාමාන්‍ය දරුවෙකුට වඩා කුඩා වෙනව. ජානමය රෝග තත්ව, මවට ඇතිවූ දරුණු ආසාදන වැනි හේතු නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක අදාළ තත්වය අනුව ප්‍රතිකාර අවශ්‍ය වෙනව
කුඩා දරුවෙකු ඇති වීම සඳහා අවදානම් සාධකයන් වන්නේ
  1.  මවගේ වයස අවුරුදු 40ට වැඩි වීම.
  2. මවට අධික රුධිර පීඩනය වැනි රෝගී තත්වයක් ඇතිවීම.
  3. දුම් පානය (මව දුම් පානය කිරීම හෝ අක්‍රිය දුම් පානයට ගොදුරු වීම).
  4. මවගේ බර අඩු වීම (මන්ද පෝෂණය).
  5. මව අධික ලෙස ව්‍යායාම වල යෙදීම.
  6. කලින් ගර්භණී වූ අවස්ථාවක අධික රුධිර පීඩනය තිබීම/ දරුවාගේ බර අඩු වීම.

සෑම සායන වාරයක දීම මවගේ උදරය පරීක්ෂා කර බලනව. එවැනි අවස්ථාවක දරුවා කුඩා යැයි හැඟී ගිය හොත් එවැනි මවුවරුන් විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කරනු ලබනව. එහි දී ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ වර්ධනය ප්‍රමාණවත් දැයි සොය බැලිය හැකියි. ඉන් පසුව සුදුසු පරිදි විශේෂඥ වෛද්‍ය සායනයේ වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කරනව. සාමාන්‍යයෙන් මෙවැනි දරුවන්ගේ වර්ධනය සති දෙකකට වරක් ස්කෑන් පරීක්ෂණයක් මගින් මැන බැලීම සිදු කරනව. එහි දී අවදානම් තත්වයන් හඳුනා ගතහොත් කලින් දරුවා බිහි කිරීමට නිර්දේශ කරනව. නැතිනම් විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ දරුවාගේ වර්ධනය නිසි ප්‍රමාණයකට පැමිණෙන තෙක් සිටිය හැකියි. සමහර දරුවන් සඳහා වරින් වර Doppler සහ CTG පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි.

ඉතාමත් කුඩා අවදානම් සහිත දරුවන් බිහි කිරීමට සිසේරියන් සැත්කමක් අවශ්‍ය නමුත් බොහෝ කුඩා දරුවන්ට සාමාන්‍ය ආකාරයට බිහි වීමේ හැකියාව තිබෙනව. මව් කුස තුල පෝෂණය අඩු කම නිසා කුඩා වන දරුවන් ඉපදීමෙන් පසුව නියමිත බර ලඟා කර ගන්නව. එම දරුවන්ට නිසි ලෙස මවු කිරි දීම වැදගත්.

උපත් බර අඩු දරුවන්ට මුල් මාස කිහිපය තුල සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි නිසා ඔවුන් හොඳින් රැක බලා ගත යුතුයි. වැඩිහිටි කාලයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ වැනි සංකූලතා ඇති වීමේ හැකියාව මෙම දරුවන්ට සාමාන්‍ය බර ඇති දරුවන්ට වඩා වැඩියි.

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
causes-abortion
ගබ්සාවීමට හේතු (Causes for abortion)

iui-failure
IUI ප්‍රතිකාරය අසාර්ථක වෙන හේතු (Reasons for IUI failure)

tube-test
පැලෝපීය නාල වල අවහිරතා ඇති දැයි සොයා බලන ලැපරොස්කොපි පරීක්ෂාව

late-miscarriage
පලමු ත්‍රෛමාසිකයෙන් පසු සිදු වෙන ගබ්සාවන්.

laparoscopy-endometriosis
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම

laparoscopic-ovarian-cystectomy
ඩිම්බ කෝෂ වල ගෙඩි සඳහා සිදු කරන ලැපරොස්කොපි ශල්‍ය කර්ම. Laparoscopic surgery for ovarian cysts

air-travel-in-pregnancy
ගර්භණී සමයේ ගුවන් ගමන් සුදුසුද? Air travel in pregnancy

vaginal-candidiasis
සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට හේතු වෙන Vaginal Candidiasis රෝග තත්වය

exercise-pregnancy
ගැබිනි මවකට ව්‍යායාම සුදුසුද? (Exercise in Pregnancy)

POPULAR POSTS
caesarean-section
සිසේරියන් සැත්කම ගැන හරියටම දැන ගන්න.(Caesarean Section)

pregnancy-sex
ගර්භණී සමයේ ලිංගික එක්වීම අවදානම්ද?

emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම තුනක් (Emergency contraception)

vaginismus-sexual-pain
ලිංගික එක්වීම වේදනාකාරී වන වැජිනිස්මස් රෝග තත්වය

Normal-vaginal-delivery
ගර්භණී ඔබ සාමාන්‍ය දරු උපතකට සූදානම් වන විට අවශ්‍ය උපදෙස්

baby-gender
දුවෙක්ද? පුතෙක්ද? කොහොමද හරියටම දැන ගන්නේ?

subfertility
මද සරු බවට හේතු සහ ප්‍රතිකාර (Subfertility)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.