ගර්භාෂයේ පිළිකා හඳුනා ගන්නේ කොහොමද? (Endometrial Cancer)

ගර්භාෂය යනු පෙයාස් ගෙඩියක හැඩය ඇති අවයවයක්. මෙය සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් මාංශ පේශි වලින්. ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ආවරණය කරන endometrium නමැති සෛල ස්තරයක් තියනවා. මෙම සෛල ස්තරයෙන් හට ගන්නා පිළිකා තමයි සාමාන්‍යයෙන් ගර්භාෂයේ පිළිකා යනුවෙන් හඳුන්වනු ලබන්නේ. කාන්තාවන්ට ඇතිවෙන පිළිකා අතරින් ගර්භාෂයේ පිළිකා ප්‍රධාන තැනක් ගන්නවා.

සාමාන්‍යයෙන් තරුණ කාන්තාවන් අතර මෙම පිළිකාව එතරම් සුලබ නැහැ. නමුත් ආර්ථවහරණයෙන් පසු කාන්තාවකට ගර්භාශයේ පිළිකා සෑදීමේ අවදානම වැඩි වෙනව. මේ නිසා ආර්ථවහරණයෙන් පසු ඇතිවෙන කිසියම් හෝ රුධිර වහනයක් මෙම පිළිකාවක ලක්ෂණයක් විය හැකි බැවින් එය සුලු කොට තැකිය යුතු රෝග ලක්ෂණයක් නොවෙයි. ස්ථුලතාවය, හෝමෝන ප්‍රතිකාර ලබාගැනීම වැනි හේතූන් මෙම පිළිකාව ඇතිවීමට අවදානම් සාධක ලෙස හඳුන්වනවා.

මෙහි ප්‍රධානතම රෝගී ලක්ෂණය වන්නේ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස රුධිර වහනයයි. යම්කිසි කාන්තාවකට අසාමාන්‍ය‍ ලෙස රුධිර වහනයක් තිබේ නම් සාමාන්‍යයෙන් වෛද්‍යවරු පිළිකාවක් ඇත් දැයි පරීක්ෂා කිරීමට පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන් කාන්තාවකගේ වයස අවුරුදු 50කට වැඩි නම්, එසේත් නැත්නම් කාන්තාවක් ආර්ථවහරනයට පත්වී ඇත්නම් යෝනි මාර්ගයෙන් සිදු වන රුධිර වහනයක් කිසිසේත්ම සාමාන්‍ය නැහැ. එවැනි අවස්ථාවක ඉක්මනින් ම පරීක්ෂණ සඳහා යොමු වීම වැදගත්.

මෙම පිළිකාව හඳුනා ගැනීමට මූලික පරීක්ෂණ කිහිපයක් තිබෙනවා.

1. ස්කෑන් පරීක්ෂාව

ස්කෑන් පරීක්ෂාවක් මගින් ගර්භාෂයේ ඇතුළත ඇති endometrium නමැති ඉතා තුනී බිත්තිය ඉතා පැහැදිලිව දැක ගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් ස්කෑන් පරීක්ෂාවක් යෝනි මාර්ගය තුලින් සිදු කරන අතර එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඝනකම නිර්ණය කිරීමට හැකියාව ලැබෙන අතර එහි යම්කිසි අසාමාන්‍යතාවක් ඇත් දැයි වෛද්‍යවරයාට පරීක්ෂා කිරීමේ හැකියාව ලැබෙනවා. එමගින් එහි පිළිකාවක ලක්ෂණ තිබෙනවා ද නැතිනම් එහි පිළිකාවකට අවදානම් තත්වයක් තිබෙනවා ද කියා අනුමාන කිරීමට හැකියි.

2. Endometrial Biopsy

ගර්භාෂයේ ඇතුළත බිත්තියේ කුඩා සාම්පලයක් ගෙන පරීක්ෂණාගාරයට යැවීම තුලින් මේ පිළිබඳ ව සැක හැර දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා.  මෙම පරීක්ෂණය endometrial biopsy යනුවෙන් හැදින්වෙනවා. මෙම පරීක්ෂණය සිහි නැති කිරීමෙන් හෝ වේදනා නාශකයකින් තොරව සායනයකදි සිදු කල හැකි සරල පරීක්ෂණයකි. නමුත් කලකට ඉහත දී මෙම පරීක්ෂණය සිදු කලේ ශල්‍යාගාරයක් තුල සිහි නැති කිරීමෙන් පසුවයි. එම පරීක්ෂණය D&C යනුවෙන් හඳුන්වනු ලැබේ. දැනට endometrial biopsy යනුවෙන් හඳුන්වන පරීක්ෂණය සඳහා නිර්වින්දනයක් හෝ වේදනා නාශක ඖෂධයක් අවශ්‍ය වන්නේ නැහැ.

3. Hysteroscopy පරීක්ෂාව

Hysteroscopy පරීක්ෂාවේ දී ගර්භාෂය ඇතුළත කුඩා කැමරාවක් මගින් නිරීක්ෂණය කර පිළිකාවක් ඇත් දැයි ඉතාමත් ම නිවැරදිව දැන ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම පරීක්ෂණයත් මිලි මීටර 4ක පමණ ප්‍රමාණයේ ඉතා කුඩා උපකරණයක් භාවිතා කර නිර්වින්දනයකින් තොරව සිදු කල හැකියි.

ඉහත පරීක්ෂණ මගින් ගර්භාෂයේ පිළිකාවක් තිබේ දැයි ඉතාමත් ම නිවැරදිව හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මූලික අවස්ථාවක ගර්භාෂයේ පිළිකාවක් හඳුනා ගත හොත් එය බොහෝ විට සුව කල හැකියි. මේ නිසා ප්‍රතිකාර වලට යොමු වීම ඉතාමත් ම වැදගත්. ගර්භාෂයේ ඇතිවෙන පිළිකා සඳහා සිදු කරන ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ම තිබෙනවා. ප්‍රධාන වශයෙන් ම සිදු කරන ක්‍රමය තමයි ශල්‍යකර්මයක් මගින් ගර්භාෂය, ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාලයන් ඉවත් කිරීම. මෙම ශල්‍යකර්මය සිදු කල හැකි ආකාර කිහිපයක් ම තිබෙනවා. මින් ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය ශල්‍යකර්මයයි. ශල්‍යකර්මයේ දී ගර්භාෂය ඩිම්බ කෝෂ හා පැලෝපීය නාල ඉවත් කිරීම සිදුකරනව. ඊට අමතරව සමහර අවස්ථා වලදී උදර කුහරය තුල ඇති සහ ශ්‍රෝණි කුහරය තුල ඇති වසා ගැටිති ඉවත් කිරීමකුත් සිදු කිරීමට පුළුවන්. මෙම ශල්‍යකර්මය සාමාන්‍ය‍යෙන් සිදු කරන්නේ විවෘත ශල්‍යකර්මයක් ලෙසයි. නමුත් මෙම ශල්‍යකර්මය laparoscopy හෙවත් කුඩා කැමරාවක් ආධාරයෙන් බලා ඉතාමත් කුඩා කැපුම් කිහිපයක් උදරයේ ඇති කරමින් සිදු කිරීමේ හැකියාව දැන් තිබෙනවා. එහි දී ශල්‍යකර්මයෙන් පසු නැවතත් ප්‍රකෘති තත්වයට පත්වීම ඉතාමත් ම වේගවත්.  එමෙන්ම වේදනාවත් අවමයි. Laparoscopy ක්‍රමයට මෙම ශල්‍යකර්මය කිරීමේ පහසුකම දැනට ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඒවගේම නවතම තාක්ෂණය යොදා ගනිමින් robotic hysterectomy නමැති ශල්‍යකර්ම ක්‍රමය දැන් ලෝකයේ හඳුන්වා දී තිබෙන නමුත් මේ විට ශ්‍රී ලංකාවේ ඒ සඳහා පහසුකම් නැහැ.

ශල්‍යකර්මයෙන් පසු සාමාන්‍යයෙන් බොහෝ රෝගීන් සම්පුර්ණයෙන් සුවය ලබනවා. නමුත් සමහර රෝගීන්ට ශල්‍යකර්මය තුල දී ඉවත් කිරීමට නො හැකි වසා ගැටිති තුල තිබෙන පිළිකා සෛල ඉවත් කිරීම සඳහා විකිරණ ප්‍රතිකාර නිර්දේශ කිරීමක් සිදුකරනව. සාමාන්‍යයෙන් ගර්භාශයේ ප්‍රතිකාර සඳහා පිළිකා නාශක ඖෂධ භාවිතා කරන්නේ නැහැ. නමුත් සමහර රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වන්නට පුළුවන්. ඒවගේම හෝමෝන ප්‍රතිකාර ක්‍රමත් යොදා ගන්නා අවස්ථා තිබෙනවා. එහි දී progesterone නමැති හෝමෝනය ඉතාමත් ම අධික මාත්‍රාවකින් මෙම ප්‍රතිකාර සඳහා යෙදා ගන්නවා.

මූලික අවස්ථාවේ දී හඳුනා ගන්නා ගර්භාෂයේ පිළිකාවන් බොහෝමයක් සම්පුර්ණයෙන් සුව කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ප්‍රමාද වී හඳුනා ගන්නා ගර්භාෂයේ පිළිකා සම්පුර්ණයෙන් සුව කල නො හැකියි. කෙසේ වෙතත් ප්‍රතිකාර මගින් ජීවිත කාලය දීර්ඝ කිරීමත්, ඇතිවෙන රෝග ලක්ෂණ අවම කිරීමටත් හැකියාව තිබෙන නිසා ඔබට පිළිකාවක් ඇත්නම්  ප්‍රතිකාර සඳහා විශේෂිතවු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඉතා ඉක්මනින් යොමු වීම  ඉතාමත් ම වැදගත්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)